ගෝල්ෆේස් අරගල භූමියට දැන් මාසයකුත් දින 20කට ආසන්න වී ඇත. තවමත් අරගල භූමියේ අරමුණ එලෙසමය. විවිධ පෞද්ගලික දේශපාලන අරමුණු සහිත පුද්ගලයන් එකිනෙකා එම ස්ථානයේ ගොඩගැසී සිටිය ද එම පෞද්ගලික දේශපාලන න්‍යායයන් එළියට ඒමට ඉඩ නොදී තවමත් අරගලය එක අරමුණක් කරා යමින් තිබේ.
මෙම අරගල භූමිය නිර්පාක්ෂික යැයි කීමට වඩා ලියුම්කරුගේ කියවීම අනුව මෙය සර්වපාක්ෂික අරගල භූමියකි. මෙම ස්ථානයේ සියලුම පක්ෂ සහ දේශපාලන මතවාද නියෝජනය කරන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටින බැවිනි. එබැවින් ලියුම්කරුට අනුව මෙය සර්වපාක්ෂික නිදහස් අරගල භූමියකි. එහෙත් එය අරගලකරුවන් තවම පිළිගන්නවාද නැද්ද යන්න අපි නොදනිමු.
මේ වනවිට ගෝල්ෆේස් අරගල භූමිය තුළින් සංවිධාන කිහිපයක් ඉදිරියට පැමිණෙමින් සිටී. එහෙත් ඒ සියලු සංවිධාන දරන්නේ එකම මතයකි. කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගල භූමිය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව අරගල භූමිය විසින් ප්‍රතික්ෂේප කළේ ආණ්ඩු පාර්ශ්වය සමගින් කතා කිරීමට කිසිම සූදානමක් නැති බව පවසමිනි. අරමුණු පැහැදිලි ලෙසම සඳහන් කර තිබියදී තවදුරටත් සාකච්ඡා අවශ්‍ය නැති බවත් අග්‍රාමාත්‍යවරයා කී පරිදි අරගල භූමිය පවත්වාගෙන යාමට සහාය අවශ්‍ය නොවන බවත් ගෝල්ෆේස් සියලු කණ්ඩායම්වල මතයයි. එහෙත් ඒ මතය හැමදෙනාම නොදරති. ඇතැම් අය දැනටමත් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය සමඟ සාකච්ඡා ආරම්භ කර අවසන්ය.
මේ සියල්ල ඉතාම රහසිගත ලෙස සිදුවන අතරතුර ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වුණු නිරාගමික චෝදනාවට පසුගිය වෙසක් පොහොය දින පිළිතුරක් ලබාදෙන්නට අරගලකරුවෝ කටයුතු කළහ. එනම් එදින උදෑසන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දහවල් දානයක්ද, රාත්‍රියේ පිරිත් දේශනයක්ද, ඊට පසුදින දානයක්, වෙසක් කලාපයක් සහ දන්සල් ද සංවිධානය විය. ඒ සියල්ල අරගල භූමියට ආදරය දක්වන පුරවැසියන් විසින් සූදානම් කළ වැඩසටහන් විය. විශේෂයෙන් වෙසක් කලාපය සඳහා වෙසක් කූඩු අරගල භූමියට පැමිණෙන අය විසින් ගෙනැවිත් තිබුණි. ඒ අනුව අරගල භූමියේ වෙසක් සැමරුවේ එලෙසිනි.
එහෙත් ඊට තවත් කණ්ඩායමක් එකඟ නොවීය. ඔවුන්ගේ අදහස වූයේ අරගල භූමිය යනු අරගල භූමියක් මිස ආගමික සැමරුම් ස්මරණය කරන ස්ථානයක් නොවන බවය. එවිට අරගලයේ අරමුණ පිටත යන බව ඇතැම් අයගේ අදහස විය. එහෙත් බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ මෙය ආගමික සහජීවනය පිළිබිඹු කරන අවස්ථාවක් බවය.
මේ අතර පසුගිය 18 වැනිදා තවත් උත්සවයක් පැවැත්විණි. 2009 මැයි 18 වැනිදා යුද්ධය නිම කිරීම සිහිපත් කරමින් සිදු කළ සැමරුම් උත්සවවලට සමාන සැමරුමක් එහිදී සංවිධානය විය. එහි මූලික අරමුණ වී තිබුණේ යුද්ධයෙන් මියගිය සියලු දෙනාම එක ලෙස සැමරීමකි. ඒ සඳහා සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝ සහභාගී වූහ.
ගෝඨාගෝගම දැන් ජාත්‍යන්තරය පවා ප්‍රසිද්ධ ගමකි. ජාත්‍යන්තර වශයෙන් පවා ඊට සමාන ගම් ඒ ඒ නගරවල ඉදිවෙමින් ඇත. ගූගල් පරීක්ෂා කර බැලුවද ගෝල්ෆේස් ළඟින්ම ඇත්තේ ගෝඨාගෝගමය. එකී ගම රෝහලක්, පුස්තකාලයක්, කලාගාරයක්, බාබර් සාප්පුවක්, නීති ආධාර ස්ථාන, රතු කුරුස සංවිධානයක් මෙන්ම වැසිකිළි පහසුකම්වලින් ද පරිපූර්ණය. මේ අතර පසුගියදා මේ ගමට තවත් පහසුකම් දෙකක් එක් විය. එකක් පාසලකි. අනෙක සිනමා ශාලාවකි. මේ දෙකම ඉදිවූයේ අරගල භූමියේ පිරිසගේ සිහිනයක් සැබෑ වීමක් ලෙසිනි. කෙසේ වෙතත් දැනටමත් මෙය බොහෝ දෙනාගෙන් පිරී ඉතිරී යන තැනක් බවට පත්ව තිබේ.
මේ අතර ගෝල්ෆේස් අරගලය නියෝජනය කරන තවත් කණ්ඩායමක් වන සර්ව පාක්ෂික අරගලකරුවෝ පසුගියදා ඔවුන්ගේ යෝජනා රුගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ එම්. සුමන්තිරන් සහ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් යන මහත්වරුන් හමු වූහ. සියලු දෙනාම එක් ප්‍රතිපත්ති රාමුවක් සඳහා කැමැති කරවා ගැනීම මෙම කණ්ඩායමේ මූලික අරමුණ වී තිබිණි. ඒ සඳහා යෝජනා 20ක් ද ඔවුන් විසින් සකසා තිබිණි. මේ අතර එම කණ්ඩායමේ නියෝජිත පිරිසක් පසුගියදා ජිනීවා බලා පිටත් වූහ. ඒ පසුගියදා දේශපාලන මැරයන් විසින් සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාය. ඒ සඳහා වූ පැමිණිල්ල මානව හිමිකම් සැසියේදී සභාගත කිරීමට නියමිතය.
මේ වනවිට අරගල භූමිය නිතර ජනතාවගෙන් පිරුණු තැනක් නොවුණද බොහෝ දෙනා එම ස්ථානයට නිතර යෑමට ඒමට පුරුදුව සිටිති. ඒ නිසාම අරගල භූමිය පාළු වී නැත. තවමත් අරගල භූමිය තරුණ්‍යයෙන් පෝෂණය වෙමින් ඇති අතර ඒ සඳහා සියලු ආගම්වල නායකයන්, නීතිඥවරුන් මෙන්ම අවට කම්කරුවන්ගේ සිට ආරක්ෂාව සපයනු ලබයි. ඒ නිසා අරගල භූමිය තුළ සැරිසරන ඕනෑම කෙනකුට අරගලය විවිධ මුහුණුවරකින් දැකගත හැක. ඇතැම් විට කානිවල් එකක් ලෙසය. නැත්නම් අරගලයක් ලෙසය. එය ජනතා අයිතියකි.
ගයාන් ගාල්ලගේ