ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජා නැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු'' යන වැකිය රැගත් පෝස්ටරයක් මූණු පොත ඇතුළු මාධ්‍යවල ප්‍රචාරය වුණේ පසුගිය 5 වැනිදායි. ඒ වනවිට පාර්ලිමේන්තුව අසල මාර්ගය වසා දැවැන්ත පොලිස් බංකර ඉදිකර තිබුණි. ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව වැළැක්වීමටයි. එම කටයුත්ත ඇතුළු ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පාමින් තරුණයන් විසින් යට ඇඳුම් විරෝධය ආරම්භ කර තිබුණි. මුලින්ම කාන්තා යටඇඳුම් විරෝධයක් ලෙස පැවැත්වීමට තීරණය කළ එය පසුව කාන්තා - පිරිමි යට ඇඳුම් විරෝධතාවක් බවට පත්විය. එය පැවැත්වීමට නියමින මැයි 6දා උදෑසන පිටන්ම තම යටඇඳුම් රැගෙන විශාල පිරිසක් පාර්ලිමේන්තුව අසල පොල්දූව හන්දියට පැමිණියහ.
මැයි 6දාට යෙදුනු No Pants Day වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට විරෝධය පෑම එහි අරමුණ විය. No Pants Day හෙවත් යටට නොඅඳින දිනය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් ආරම්භ වූ බවට සැලකේ.
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වාරයක් අවසන් වූ පසුව එහි සතුට සැමරීම සඳහා මෙම දිනය වෙන් කිරීමට ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සිසුන් මුලින්ම කටයුතු කර තිබේ. පසුව මෙය ක්‍රමයෙන් අනෙක් යුරෝපීය රටවල විශ්වවිද්‍යාලවලද ප්‍රචලිත වූ අතර මේ වනවිට ලොව විවිධ අවස්ථාවලදී භාවිතයට ගැනීම සිදුවේ. පසුව මෙම දිනය විරෝධතාවන්ටද යොදාගැනීම ඇරඹුණි.
ආණ්ඩුවට විරෝධය පා 6 වැනිදා දිවයින පුරා පැවති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව මෙම විරෝධතාවයද පැවැත්විණි. එදින සිදුවුණේ ප්‍රසිද්ධියේ වැලක පවා වනන්නේ නැති සංස්කෘතියක් සහිත ලංකාවේ කාන්තා සහ පිරිමි යටඇඳුම් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අසල පොලීසියෙන් අලුතින් අටවා ඇති යකඩ වැටෙහි එල්ලීමයි. පාර්ලිමේන්තු පාර යයි සඳහන් නාම පුවරුවේ පවා යටඇඳුම් එල්ලා තිබුණි. මේ සංකේතාත්මක විරෝධතාව ලංකාවේ භාවිතයට ගනු ලැබුවේ ප්‍රථම වරටය. ඒ සඳහා මුල් වූයේ අරගලයේ නිරත තරුණ කොටස්ය. යටඇඳුම් පාර්ලිමේන්තු පාරේ එල්ලනු බලා සිටීම හැරෙන්නට පොලිස් නිලධාරින්ට කළ හැකි වෙනත් යමක් නොතිබුණි.
යට ඇඳුම පවා සුඛෝපභෝගී භාණ්ඩයක් කර ජනතාවගේ සාමාන්‍ය දිවිපෙවෙත් අහිමි කළ පාලකයාට විරෝධය පළකිරීමත් මෙහි එක් අරමුණක් ලෙස අරගලකරුවන් සඳහන් කර තිබුණි. මෙම විරෝධයට සහය පළ කරමින් කාන්තා පිරිමි යටඇඳුම් රාශියක් යකඩ බැරියර්වල එල්ලා තිබුණේ ගෝඨා ගෝ හෝම් ආදී වැකිද සහිතවය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පමණක් නොව ජාත්‍යන්තර පුවත් සේවාවල ද මේ විරෝධය ගැන පුවත් උනන්දුවකින් විකාශනය කෙරිණි. ලෝකය පුරා ඒ ගැන කතාවිය.
සමහරු මේ විරෝධයට එක් වුණෙත් අමුඩයකින් සැරසීගෙනය. පොල්දූව වටරවුමේ ජංගි කෝටු කැබලිවල රඳවාගත් කාන්තාවන් සහ පිරිමින් විරෝධතා දක්වමින් ගෝටා ගෝ හෝම් කියමින් කෑගැසූහ. මෙහිදී විශේෂ සිද්ධියක් වුණේ සරමකින් සැරසී පැමිණ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී චින්තන ධර්මදාස ඒ අවස්ථාවේම සිය යටඇඳුම ගලවා වැටේ එල්ලීමයි. මේ ගැන ඔහු දක්වා සිටියේ මෙවන් අදහසකි:
''විරෝධය සැලසුම් කරද්දී ජංගිය ගැන ලැජ්ජාවෙන් ඇඹරුණු කාණ්ඩ කීපයක් හිටියා. එකක් ස්ත්‍රීවාදී සෙට් එක. ඊළඟට ජංගියත් එක්ක බැඳුනු ලිංගික අර්ථයෙන් හිත ඇතුලෙ සදාචාර කම්පනයකට පත්වුනු සාම්ප්‍රදායික වාමාංශික ඔළු සෙට් එක. තුන්වෙනුව රාජපක්ෂවාදියො අතලොස්ස. මේ තුන්ගොල්ල එකම තැනක හිටගෙන ජංගිය තමන්ගෙ ඔළුවෙ වනාගෙන හිටියා. මෙතනදී තේරුම් ගන්න ඕන රාජපක්ෂවාදය තියෙන්නෙ රාජපක්ෂලා ඇතුළෙ විතරක් නෙමෙයි. අන්තරේ ඇතුළු වාමාංශිකයො දරන්නෙත් රාජපක්ෂවාදයේ ලිංගික කුහකකමේ උරුමය.''
ඊට පසු දින මැයි 7දා තවත් අපූරු විරෝධතාවක් ගාලුමුවදොර ගෝටාගෝගමදී පැවැත්විණි. ඒ දුක්බර කතාවක් පවසන විරෝධයකි. බෙහෙත් නැතිව දුක් විඳින පියයුරු පිළිකා රෝගීන් වෙනුවෙන් අරගල භූමියේදී කළ විරෝධතාවේදී කාන්තාවෝ බ්‍රෙසියර් හෙවත් තනපට එල්ලා විරෝධය පෑහ. පියයුරු වෙනුවෙන් හදවත් විවර කරනු යන තේමාව යටතේ එය සංවිධානය කර තිබුණි. තනපට විරෝධයද ලොවපුරා කාන්තා අසාධාරණයට එරෙහිව යොදාගත් විරෝධතා ක්‍රමයකි. 1968 දී අමෙරිකාවේ පැවැත්වුණු මිස් අමෙරිකා තරගයේ දී වර්ගවාදයට පක්ෂව කටයුතු කිරීමට එරෙහිව කාන්තාවන් විශාලවශයෙන් වීදි බැස තනපට ගලවා ඒවා පුළුස්සමින් විරෝධය පෑහ.
කුඩ විප්ලවය
හොංකොං පාලනයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අනවශ්‍ය බලපෑම් හා ඇඟිලි ගැසීම්වලය එරෙහිව 2014 වසරේදී විරෝධතා රුල්ලක් ආරම්භ කෙරිණි. ඒ සඳහා මුලිකත්වය ගන්නේ හොංකොංහි විශ්ව විද්‍යාල සිසුන් පිරිසකි. පසුව එම විරෝධයට විපක්ෂයේ පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු මිලියනයකට අධික විශාල පිරිසක් එක්වූහ. “කුඩ විප්ලවය”, (Umbrella Revolution) නමින් මේ විරෝධතාව හැඳින්විණි.
විරෝධතාවලට හොංකොං පොලීසියෙන් බාධා එල්ල කරන්නේ ගම්මිරිස් සහිත අධික සැර දියරයක් විරෝධතාකරුවන්ට විදිමිනි. මේ පෙපර් ස්ප්‍රේවලින් ගැලවීමට මුහුණ වසා ගැනීම සඳහා විරෝධතාකරුවෝ නිතර කුඩයක් අත තබාගෙන සිටියහ. නැතහොත් කුඩයක් ඉහලාගෙන සිටියහ. කුඩ විරෝධතාවයට 2014 වසරේ ඔක්තෝබර් මාසය වන විට ලෝකය පුරා නගර 64ක විරෝධතාකරුවන්ගේ සහාය ලැබුණි. නමුත් දින 79ක් පුරා පැවති උද්ඝෝෂණය අවසන් වන්නේ කිසිදු ජයග්‍රහණයකින් තොරවයි.
ඒකාධිපතියකුට එරෙහි ෆේස්බුක් විප්ලවය
සර්ග් සාර්ගියාන්, 2008දී ආර්මේනියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ 52%ක ඡන්ද ලබාගනිමිනි. එම මැතිවරණයේ දී හමුදා මැදිහත්වීම් හරහා දූෂණ සිදු වූ බවට ඔහුට චෝදනා එල්ල විය. යළිත් 2013 දී පැවති ජනාධිපතිවරණයෙන් සාර්ගියාන් 59෴ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබුවද එම ඡන්දය දූෂිත බව බහුතරයකගේ විශ්වාසය විය. දෙවරක් ජනපති වූ ඔහුට ඉන්පසු ව්‍යවස්ථාව වෙනස් කර විධායක අගමැති වීමට අවශ්‍ය විය. ඒකාධිපතියකු ලෙස කටයුතු කරන ආර්මේනියානු පාලකයාට එරෙහිව ජනතාව මුලින් නැගී සිටියේ නැත. ඒ ඔහුට ඇති බිය නිසාය. මේ අතර සාර්ගියාන්ගේ දුර්දාන්ත ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටියේ එවකට ආර්මේනියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්ද වූ නිකොල් පශින්යන්ය. ඔහු අරඹන්නේ සමාජ මාධ්‍ය අරගලයකි. ෆේස් බුක් භාවිත කරමින් නිකොල් මෙසේ සඳහන් කළේය:
"ඔවුහු හොරකම් කළහ, ඔවුහු හොරකම් කරති, ඔවුහු අනාගතයේද හොරකම් කරන්නෝ ය.'' (They robbed, they rob and they will rob).
ජනාධිපතිගේ ඒකාධිපති වියරුවට එරෙහිව පාගමන් සංවිධානයට නිකොල් සමාජ මාධ්‍ය භාවිත කළේය. බොහෝ තරුණ තරුණියෝ ඔහු වටා එක්වූහ. ඔහු මහා පාගමනක් සංවිධානය කළේය. පාගමනට සහභාගී වූ ජනතාව ගීත ගයමින් එයට එක් වූහ. පාගමන යන මාර්ගයේ ගම්වල විවිධ පැළ වර්ල සිටුවමින් තම ගමන සිහිවටනයක් බවටද පත් කළහ. පාගමන ගැන පාලකයා නොසැලකු නිසා අරගලයට දින 17ක් ගෙවෙද්දී එනම් 2018 අප්‍රේල් 16 වැනි දින රටපුරා සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කෙරුණි. ජනතාව තම රථවාහන නවත්වා නළා ශබ්ද කරමින් වාහන එළි දල්වන ලෙස ජනයාගෙන් ඉල්ලා සිටියහ. රථ වාහන හදිසියේ කාර්මික දෝෂයකට ලක් වූ ලෙස හඟවා මහා මාර්ග මැද නැවතුණි. දෙවරක් ජනපති වූ සාර්ගියාන් බලය අතහැරීමට ඇති අකමැත්ත නිසා 2018 අප්‍රේල් 18 වැනි දින ආර්මේනියාවේ පළමු විධායක අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත්කර ගැනීමට කටයුතු කෙරිණි. අගමැති තෝරාගන්නා දින පාර්ලිමේන්තුව වටලා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම විරෝධතාකරුවන්ගේ අරමුණ විය. නමුත් පොලිසියේ බාධා කිරීම නිසා එය සාර්ථක නොවීය. ඉන්පසු දැවැන්ත ජනරුලි හා හර්තාල් ආරම්භ කෙරිණි. මේ අතර අගමැතිවරයාගේ මෙහෙයවීමෙන් නිකොල් අත්අඩංගුවට ගත්තේය.
ජනතාව නිකොල් සිරගත කිරීමට එරෙහිව ශබ්දයෙන් විරෝධය දැක්වීය. ආර්මේනියානු නීතියට අනුව රාත්‍රී 11න් පසු ශබ්ද නැඟීම තහනම් වුවත් ජනතාව ශබ්ද නඟමින් රුය පුරා විරෝධය දැක්වූහ. අගමැතිවරයාට ජනතා සහයෝගයක් නැතිවිය. ඔහුට පරාජය බාර ගැනීමට බල කෙරිණි. මේ අතර නිකොල් අත්අඩංගුවෙන් නිදහස් වුණේ පල්ලියේ මැදිහත්වීම මතයි. රටේම උද්ඝෝෂණ පැවති අතර පැය කිහිපයකට පසුව අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම භාර දුන්නේය. ඉන්පසු නව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව විසින් පත්කරගත්තේ මන්ත්‍රී නිකොල් පශින්යන්ය. නිකොල් අගමැති වූ වහාම තමන්ට ජනවරමක් අවශ්‍ය බව පවසමින් 2018 දෙසැම්බර් මස පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය. ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 101න් ආසන 80ක් පමණ ජයගත්තේ නිකොල්ගේ පක්ෂයයි.
කුසුම්සිරි විජයවර්ධන