රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව රැස්වූයේ මැයි 17දාය. නව ඇමැති මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ පූර්ණ බලය නව අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු ඇමැති මණ්ඩලයට පසුගිය 12 වැනිදා දැනුම් දී තිබිණි. ඇමැතිධුර ලැබුණත් නොලැබුණත් රට ගොඩනැංවීම සඳහා නව අගමැතිවරයාට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හිටපු ඇමැතිවරුන්ට දැනුම් දී ඇති බවද වාර්තා විය.
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා අමාත්‍යවරුන් 4 දෙනෙක් පසුගිය 14දා දිවුරුම් දුන්නේය. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතාද, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතාද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගමැතිවරයා හා ජනාධිපතිවරයාද ඇතුළුව නව රජයේ කැබිනට් මණ්ඩලය අමාත්‍යධුර 25කට සීමා වන බවට වාර්තා විය. නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයකට පැමිණ නොමැති අතර ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති අමාත්‍යංශ සඳහා පමණක් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට නියමිත බව පැවසේ. එම සංඛ්‍යාව 20ක් විය හැකි බවට ආරංචි පැතිර ගොස් තිබේ.
17 දින පාර්ලිමේන්තුව රුස්වීමට ප්‍රථම නව කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇතැයි විශ්වාස කළද එය 20දා දින දක්වා කල් ගියේය. තවමත් අමාත්‍ය මණ්ඩලය පත් කෙරෙන්නේ කඩින් කඩය. 17 වැනිදා පැවැත්වුණු නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු කාර්යය වූයේ නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කර ගැනීමය. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කළ අතර සමගි ජනබලවේගය රෝහිණී කවිරත්න මහත්මිය ඒ සඳහා නම් කළේය. රහස් ඡන්දයක් මගින් නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත් වූයේ අජිත් රාජපක්ෂ මහතාය.
පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් පියවර ගැනිණි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බවට ප්‍රකාශ කර තිබිණි. එහෙත්. නව කැබිනට් මණ්ඩලයට තම පක්ෂයෙන් කිසිදු සාමාජිකයකු ඉදිරිපත් නොකරන බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ පක්ෂ 11ත් කියා සිටියේ තමන්ද රනිල් වික්‍රමසිංහ යටතේ ඇමැතිකම් බාර නොගන්නා බවයි. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් ඉල්ලා තිබුණේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර නිර්පාක්ෂික ආණ්ඩුවකට සහය ලබාදෙන ලෙසටය. ගතවන දිනයක් පාසා මෙරට අනාගතය දැඩි අවදානම් තත්ත්වයකට මුහුණපාන බැවින් තම ඉල්ලීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එම ලිපියේ අගමැතිවරයා සඳහන් කර තිබිණි.
අමාත්‍යධුර බාර නොගන්නා නමුදු අගමැතිවරයා රටේ සුබසිද්ධිය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට බාධා නොකරන බවට ශ්‍රීලනිප ඇතුළු පක්ෂ 11ත් සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගයත් පවසා තිබිණි. එහිදී මහජන පක්ෂයේ ස්ථාවරයේ කිසියම් වෙනසක් තිබිණි. මහජන පක්ෂයේ ලේකම් අසංක නවරත්න ප්‍රකාශ කළේ තම පක්ෂයේ ස්ථාවරය වන්නේ ආණ්ඩුව තුළ සිටිමින් රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවයි.
ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ රට මෙතරම් අර්බුදයකට ලක් කළ ගෝඨාභය රාජපක්ෂ සමඟ ආණ්ඩු කිරීමට තමන් සූදානම් නොමැති බවටය. එය ජනතාවගේ මතය හා කැමැත්ත නොවන අතර ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතු බව යැයි ඔවුන් සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා කියා සිටියේ පක්ෂ භේද පසෙකලා රට වැටී ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා තමන් ඇමැතිධුර බාර නොගෙන රට ගොඩනැගීමේ ප්‍රයත්නයට සහය දක්වන බවයි. පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පත් කිරීමටත් පාර්ලිමේන්තුවේ ආංශික කමිටු 10ක් සහ මූල්‍ය කමිටු 5ක් වශයෙන් කමිටු 15ක් නිර්මාණය කරන බවත් ඒවායේ සභාපතිත්වය ඇමැතිධුර බාර නොගන්නා දේශපාලන පක්ෂවල සාමාජිකයන් හට පිරිනැමීමට සූදානම් යැයි අග්‍රමාත්‍යවරයා තමන්ට ප්‍රකාශ කළ බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය 20 වැනිදා තවත් අමාත්‍යවරුන් 9 දෙනකු පත්කිරීමට පියවර ගෙන තිබිණි. අමාත්‍යධුර බාර නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලින් ප්‍රකාශ කළද පසුව එම තීරණය වෙනස් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දුන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසද, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසද, සමගි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා ලෙසද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද, සමගි ජනබලවේගයේ ලෙස මනූෂ නානායක්කාර මහතා කම්කරු සහ විදේශ රුකියා අමාත්‍යවරයා ලෙසද, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු වූ නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යවරයා ලෙසද, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ දේශපාලන පක්ෂ 11 නියෝජනය කරන ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එදින දිවුරුම් දුන්හ..
කැබිනට්ටුවට මේ වන විට අමාත්‍යවරුන් 13 දෙනකු පත් කර තිබේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද අමාත්‍යධුර දැරීමට නියමිතය. පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නව කැබිනට්ටුවේ ඇමැතිවරුන් ඇමැති වැටුපක් ලබා නොගන්නා බවය. එමෙන්ම ඇමැතිවරුන්ට හිමි වරප්‍රසාද අවම කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ආණ්ඩුවට එක්වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් ආණ්ඩුවට එක්වීම ජාතික සමගි සන්ධානයේ ප්‍රතිපත්තිය නොවන අතර තම පක්ෂය ආණ්ඩුවට එක් නොවී ධනාත්මකව ප්‍රතිචාර ලබා දීමට තීරණය කර ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
රටේ ජනතාවට අවශ්‍ය පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කිරීම නොව ඔවුන් අත්විඳින දැඩි ආර්ථික පීඩාව අවසන් කිරීමට විසඳුම් ලබා දිය හැකි කැබිනට් මණ්ඩලයකි. එහෙයින් සමස්ත පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ අරමුණ විය යුත්තේ දේශපාලන මතිමතාන්තර අමතක කර රට ගොඩනැගීම සඳහා සහය වීමය. ජනතාව ඔවුන්ගේ හැසිරීම දෙස අවධානයෙන් බලා සිටිනු ඇත.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා