2022 මැයි 22 වන ඉරිදා

ආණ්ඩුව සෙල්ලම් බත් උයද්දී අරගලය පුපුරා ගියේය

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 65

කාලයක් තිස්සේ මෙරට පැවති ආර්ථික අර්බුදය විසින් දේශපාලන අරගලයක් නිර්මාණය කළේය. එම දේශපාලන අරගලයට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වීමට ගිය ආණ්ඩුවේ බලධරයන් රටට අත්කර දුන්නේ විනාශයයි. නිදහසින් පසු ඉතිහාසයේ මෙබඳු සිදුවීමක් මතකයට නගා ගැනීම අපහසුය. ඇතැමුන් මෙය 1953 හර්තාලයට සමාන කරන්නට තැත් කළද මෙවර අරගලයේ ස්වභාවය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.

වත්මන් ආණ්ඩුව ජනතාවගේ මහමඟ අරගලයට පාර කපා දුන්නේ විහින්මය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර තනහම් කරන්නට පැය 24න් ගත් තීන්දුව නිසා මෙරට බහුතර ගොවි ජනයාගේ ජීවිකා වෘත්තියට එල්ල වූයේ මරු පහරකි. රටේ ගොවි අරගලයක් ආරම්භ කළේ රසායනික පොහොර තහනම නිසා පීඩාවට පත්  ගොවි ජනයා විසිනි. 

මෙකී තනහනම පැය 24න් ක්‍රියාත්මක නොකර පියවරෙන් පියවර ඒ සඳහා ක්‍රියාකරමු යැයි රජයට ලබාදුන් උපදෙස් ජනාධිපති කාර්යාලය පිළිගන්නේ නැත. ලංකාවේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු ජනාධිපති කාර්යාලයට පැමිණ වරක් ප්‍රකාශ කර තිබුණේ තමන් වෛද්‍යවරයකු වුවද තම ගමේ ඉඩම් සහ කුඹුරු කිහිපයක් ඇති බැවින් රසායනික පොහොර නොමැතිව ඒවා වගාකළ නොහැකි බවය. මෙය මෙරට සමස්ත ගොවි ජනයාගේම ප්‍රශ්නයක් බැවින් එය විසඳා දෙන ලෙස වෛද්‍ය විශේෂඥයා ඉල්ලීමක් කළේය. මෙම පැමිණිල්ල බාරගත් ජනාධිපති කාර්යාලයීය බලධරයන් වෛද්‍යවරයාගෙන් විමසා තිබුණේ &ඔබ පැමිණියේ පොහොර සමාගම් නියෝජනය කරන්නද?* යන ප්‍රශ්නයයි.

එලෙස ජනමතය නොතකා ගත් මෙබඳු උද්ධච්ච තීරණ විසින් පීඩාවට පත් ගොවි ජනතාව රජය සමඟ කෝන්තර ඇතිකර ගත්තේය. පොහොට්ටුව පක්ෂයේ ශක්තිමත් ගැමි ඡන්ද පදනම කඩාවැටීම ආරම්භ වූයේ හිතුවක්කාර රසායනික පොහොර තහනම නිසාය.

ඉන්පසුව ගත් සමහර තීරණ කෙලින්ම බලපෑවේ ජාතික ආර්ථිකයේ පරිහානියටය. මහ බංකුවේ විදෙස් සංචිත සිඳීයාම ආරම්භ වෙද්දී වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් පිළිගත් මූල්‍ය සහායකයන් වෙතින් අනුග්‍රහය ලබාගත යුතු බවට යෝජනා විය. එහෙත් ආණ්ඩුවේ බලධරයන් එම යෝජනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේ තමන් තත්ත්වය කළමනාකරණය කරගන්නා බව කියමිනි. ජනාධිපතිවරයාද ආණ්ඩුවද මේ උපදෙස්වලට රුවටුණ බව සත්‍යයකි.

කෙසේ වෙතත් ආණ්ඩුවටම මේ කාරණා සම්බන්ධයෙන් කීමට තිබෙන එකම නිදහසට කරුණ වන්නේ කොවිඩ් රෝග ව්‍යාප්තිය නිසා සංචාරක ව්‍යාපාරය මෙන්ම අපනයන ආදායමද අඩාල වූ බවය. විදේශ රුකියා ආදායමද අහිමි විය. එහි යම් සත්‍යයක් තිබේ. මසකට ඩොලර් මිලියන 1100/- 1200/- අතර පැවැති අපනයන ආදායම ඩොලර් මිලියන 600ට 700ට කඩා වැටුණි. ඇතැම් මාසවල කොවිඩ් හේතුවෙන් සංචාරක පැමිණීම දෙතුන් දහසකට සීමා විය. රට යහපත් කාලයේ එක් මසකට සංචාරකයන් ලක්ෂය ඉක්මවා පැමිණි රටකට මෙම තත්ත්වය නිසා තහනම් වූ ආදායම අති විශාලය. ඊට සමගාමීව කොවිඩ් ව්‍යසනයෙන් ජනතාව බේරාගන්නට සෞඛ්‍ය හා සුබසාධන කටයුතුවලට රුපියල් බිලියන සිය ගණන් වැයකෙරිණි. එහෙත් මෙය නිදහසට කරුණක් ලෙස දක්වා ආණ්ඩුවට ගැලවීමට හැකියාවක් නැත්තේ තවත් රටවල් රුසක් කොවිඩ් තනතුර සමඟ ආර්ථිකයද යම් මට්ටමකට වර්ධනය කරගත් නිසාය. අපට වඩා මහා ව්‍යසනයකට මුහුණ දුන් ඉන්දියාව මේ ගැන අපට දියහැකි ආසන්නතම උදාහරණයයි.

මෙරට ආර්ථිකය අගාධයට යද්දී දූෂණය සහ වංචාව වැනි චෝදනා ආණ්ඩුවේ ප්‍රබලයන්ට එරෙහිව නැගෙන්නට විය. අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු බොහෝ සංවර්ධන ව්‍යාපෘති ඇතැම් මැති ඇමැතින්ගේ ධනෝපායන මාර්ග බවට පත්විය. සමහර වගකිවයුතු වැදගත් අමාත්‍ය ධුර පවා පැවරී තිබුණේ බරපතළ චෝදනා ලැබූ දූෂිත පුද්ගලයන්ටය. වරාය - මහාමාර්ග වැනි අමාත්‍යංශ ගැන කියන්නට දෙයක් නැත. සීනි බදු වංචාව, පොහොර වංචාව, සුදුලූනු වංචාව ගෑස් හා ඉන්ධන ටෙන්ඩර අධිවේගී මාර්ග ටෙන්ඩර පමණක් නොව වරායේ ආපන ශාලාවෙන් පවා ඇතැමුන් කරන ලද ගසාකෑම් ප්‍රසිද්ධ හොරකම් තත්ත්වයට පත්විය. මේ වංචාවලට වගකිවයුත්තන්ට අධිකරණවල පැවරී තිබූ නඩුද තාක්ෂණික හේතු මත ඉවත්කර ගැණින.

මේ සියල්ල ස්මාර්ට් ෆෝන් ඇති තරුණ සමාජය විසින් ග්‍රහණය කරගත්තේය. ඒ සමඟ සෙසු ප්‍රජාවද දැනුවත් කෙරිණි. තරුණ ප්‍රජාව රට තොට ගැන විමසිලිමත් වෙද්දී ආර්ථිකයට තව තවත් අගාධයටම ගියේය. ඉන්ධන, විදුලිය හා ගෑස් අර්බුදය උග්‍ර වී ජනතාව මහපාරට පැමිණෙන  වැඩ සැලැස්වීය. පැය 10-12 විදුලිය කැපෙන විට ගෑස් කිරිපිටි ඉන්ධන නොමැතිවීම අත්‍යවශ්‍ය බෙහෙත් ගිනි ගන්නට හෝ මිලදී ගන්නට නොහැකි වන විට ජනතාව කෝපයට පත්වීම සාධාරණ නොවේද? අනිත් අතට ඉන්ධන සහ ගෑස්වල මිල ගණන් ඉහළ ගියේ එකවර රුපියල් සිය දහස් ගණනකිනි. ජනතාවගේ ආදායම එක තැනම ලැග සිටියදී වියදම අහස උසට නැග්ගේය. ත්‍රිරෝද රථ හිමියන්ට ගමන් වාර නැති විය. කුලී වැඩ කරන්නට කුලියක් මලියක් කරගෙන ජීවත් වන්නට තිබුණ හැකියාවද අහිමි විය.

මේ සියලු හේතු සාධක විසින් තරුණ අරගලයක් නිර්මාණ්‍ය කළේය. මෙයට වසර 2 ½කට පෙර වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කරන්නට කැපවූ කලාකරුවන් තරුණයන් සහ සමාජ ක්‍රියාකාරීන් විද්වතුන් පමණක් නොව ආගමික නායකයන් පවා ආණ්ඩුවට එරෙහිව රොද බඳින්නට වූහ.එහෙත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මේ අර්බුදයේ ගැඹුර තේරුම් ගත්තේ නැත. තරුණයන් මාසයක් පමණ ගාලු මුවදොරට විත් සාධාරණ සහ යුක්තිසහගත ලෙස රජයට පලකළ විරෝධය ප්‍රචණ්ඩත්වයෙන් මර්දනය කළ හැකි යැයි මෝඩ උපදෙස් දුන් දේශපාලකයන්ට අද උන්හිටි තැන් පවා අහිමි වී තිබේ.

තරුණ තරුණියන් යහපත් අරමුණින් පටන්ගත් අරගලය පසුව විවිධ පාර්ශ්ව අතට පත්විය. සමහරුන් ඒ තුළ ආගම් විරෝධයක් මතුකළ අතර අවසානයේ තරුණ අරගලකරුවන්ගේ අරමුණට පටහැනි ප්‍රචණ්ඩත්වයක් සමහරුන් මුදා හරින්නට වූහ. දේපල හා පුද්ගල ජීවිත ගණනාවක් නැතිවීමට මෙම තත්ත්වය බලපෑවේය.

මෙම අර්බුදය විසඳීම සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍යමය. ඊට දැන් අවකාශ ලැබී තිබේ. පැවති ආණ්ඩුව ඉවත්ව ගොසිනි. දැන් රටට අලුත් පාලන තන්ත්‍රයක් මෙන්ම පාලන ක්‍රමයක්ද අවශ්‍යය. පටු අරමුණු නැති රට අගාධයෙන් ගොඩගත හැකි පාලනයක් කඩිනමින් පිහිටුවා රට ස්ථාවර කරනු දැකීම බහුතර සමාජයේ අපේක්ෂාවය. ඒ අතින් අරගලකරුවන් සහ දේශපාලන පක්ෂ දිගින් දිගටම කියන්නේ අගමැති පමණක් නොව ජනාධිපතිද ඉවත් වනතුරු අරගලය නොනවතින බවයි. වර්ජන තර්ජනද ක්‍රියාත්මකය. එමනිසා දැන් තීරණය ඇත්තේ රජයේ වගකිවයුත්තන් අතේය. ජනතාව තවත් අන්ත අසරණ නොකර ගන්නා තීන්දුවක් ගැනීමට කාලය එළඹ තිබේ.

 ප්‍රකාශ්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05