ඇය යන්නට ගියාය. ඉපදී දින දෙකක් පමණක් ජීවත් වූ බිළිඳිය කාටත් නොකියාම යන්නට ගියාය. ඇය ජීවිතය හැර යාමට මේ මුළු සමාජයම වගකිව යුතු යැයි විටෙක සිතේ. ඇයව රෝහල්ගත කොට ඉක්මනින් ප්‍රතිකාර ලබා දීමට කඩිනමින් වාහනයක් සොයා ගන්නට ඇගේ දෙමව්පියන්ට හැකියාවක් නොවීය. ත්‍රිරෝද රථ දෙක තුනක් තිබුණද ඒවායේ ඉන්ධන තිබුණේ නැත. ඉන්ධන නොමැතිකම හේතුවෙන් කඩිනමින් රෝහල්ගත කිරීමට නොහැකි වුණු බිළිඳිය දියතලාව රෝහලේදී අවසන් හුස්ම හෙළුවාය. කිසිම වරප්‍රසාදයක් නොලබාම මෙරට පාලකයන්ගේ සහ ඇතැම් මිනිසුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් මෙවැනි මල් කැකුළු වැනි දරුවන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම කොයි තරම් නම් අවාසනාවන්ත සිදුවීමක්ද?
ප්‍රියන්ත ඉඳුනිල් සොරගුණේ රදාකඳුර ප්‍රදේශයේ ගැමියෙකි. ඔහු රුකියාව ලෙසින් වඩු කර්මාන්තයේ නිරත වන්නෙකි. සිහින කන්දරාවක් සමඟ ප්‍රියන්ත සහ ඔහුගේ බිරිඳ වන කාංචනා උදයංගනී තම ආදරණීය දරු පැටියා මෙලොව බිහිවන තුරු දෑස් අයා බලා සිටියහ. ආර්ථික අපහසුතා එමටය. මේ කාලයේදී බොහෝ දෙනකු මුහුණපාන ආර්ථික අපහසුතාවලට මොවුහු ද මුහුණ දුන්හ. නමුත් ඒ සියල්ල පසෙකලා ඔවුහු තම දරුවා මෙලොව එළිය දකින තුරු බලා සිටියහ.
පුංචි මල් කැකුලක් මෙලොව දුටුවාය. ඒ හල්දුම්මුල්ල රෝහලේදීය. ඇය නිරෝගී දරුවෙකි. ඒ නිසාම මවට සහ දරුවාට නිවෙසට යාමට රෝහල විසින් අවසර ලබා දී තිබුණි. ඒ 20 වැනිදා සිකුරාදාය. හරියටම පසුදින රාත්‍රියේදී බිළිඳියගේ වෙනසක් මවටත් පියාටත් නිරීක්ෂණය විය. බිළිඳිය ගැහෙන්නට පටන්ගෙන තිබිණි. මව කුඩා බිළිඳියට ඉක්මනින් මව්කිරි ලබා දුන්නාය. නමුත් බිළිඳිය නිසි පරිදි කිරි උරා බිව්වේ නැත. ටික වෙලාවකින් බිළිඳිය කහ පැහැ ගැන්විණි. ඇයට යම් අපහසුතාවයක් ඇති බව කාංචනාට වැටහිණි. බිළිඳිය වහාම රෝහලට රැගෙන යාමට ඔවුහු තීරණය කළහ.
සිතූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි විය. පෙට්රල් හිඟය එයට බාධාවක් වී තිබිණි. මේ නිසාම මධ්‍යම රාත්‍රියේදී රෝහලට යාමට වාහනයක් සොයා ගැනීම එතරම් පහසු නොවීය. තම බිරිඳවත්, බිළිඳියවත් නිවෙස් තබා ප්‍රියන්ත වාහනයක් සොයාගැනීමට පාරට පැමිණියේය. දන්නා කියන හිතවතුන්ගේ නිවෙසට පැමිණියද ඒ හැම වාහනයකම රෝහලට යාමට තරම් ඉන්ධන තිබුණේ නැත. ප්‍රියන්ත අන්ත අසරණ තත්ත්වයට පත් විය. දින දෙකක් තිස්සේ මවගේ තුරුලේ ගුලී වී සිටි පුංචි බිළිඳියගේ මුහුණ විඩාබර ප්‍රියන්තට මැවි මැවී පෙනුණි. ඔහු තම උත්සාහය අතහැර දැමුවේ නැත. අවසානයේදී ඔහුට රෝහලට යාමට ත්‍රිරෝද රථයක පිහිට ලැබිණි. එයද බොහෝ වේලාවකට පසුවය.
අවසානයේ ප්‍රියන්ත තම බිරිඳත්, බිළිඳියත් ත්‍රිරෝද රථයට නංවා කඩිනමින් හල්දුම්මුල්ල රෝහලට රුගෙන ගියේය. රෝහලේදී බිළිඳිය පරීක්ෂා කර බැලූ රෝහල් වෛද්‍යවරුන් ඇයට මූලික ප්‍රතිකාර ලබා දී අනතුරුව දියතලාව මූලික රෝහලට රුගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබිණි. නැවතත් ත්‍රිරෝද රථයට නැගුණු ප්‍රියන්ත වහාම තම බිළිඳියත් බිරිඳත් සමඟ දියතලාව මූලික රෝහලට පැමිණියේය.
නමුත් ප්‍රියන්තගේ උත්සාහය සාර්ථක වූයේ නැත. දියතලාව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී බිළිඳියගේ අවසන් හුස්ම වා තලයට එකතු විය. රෝහලට රුගෙන එන විටත් බිළිඳිය අසාධ්‍ය තත්ත්වයේ පසු විය.
දුවව ඊට ටිකකට කලින් ඉස්පිරිතාලයට ගෙනාව නම් බේරාගන්න පුළුවන්කම තිබුණා කියලයි වෛද්‍යවරු කිව්වේ. දුවව ඉස්පිරිතාලේ ගේන්න වාහනයක් තිබුණේ නැහැ. වාහන තිබුණත් ඒවායේ පෙට්රල් තිබුණේ නැහැ. ප්‍රියන්ත හැඬූ කඳුළින් කීවේය.
පුංචි මල් කැකුළක් එලෙස අකාලයේ පරවූයේ ඉන්ධන හිඟයේ මාරාන්තික බව සලකුණු කරමිනි. මාස නවයක් පුරාවට කුස තුළ සිටියදී හරි පරිස්සමට රුකබලා ගත් ආදරණීය බිළිඳිය ඉන්ධන නොමැතිකම නිසාම මෙලොව හැර දා ගියාය.
දිශානි ජයමාලි කරුණාරත්න