2022 මැයි 29 වන ඉරිදා

පැපොල වැනි වඳුරු වසූරිය උණ ලංකාවටත්?

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 280

‍වෛරසයක් මගින් පැතිර යන තවත් රෝගයක් හේතුවෙන් මේ වනවිට ලෝකය කැළඹී ගොසිනි. වඳුරු උණ ලෙසද හැඳින්වෙන එය වසූරිය, පැපොල වැනි රෝග සාදන වෛරස් පවුලේම සාමාජිකයකු වන වඳුරු වෛරසය මගින් පැතිර යන්නකි. බොහෝ දෙනා එහි රෝග ලක්ෂණ අනුව වඳුරු වසූරිය ලෙස එය හඳුන්වති.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවන් අනුව වඳුරු වෛරසයට ආවේණික නොවන සාමාජික රටවල් 12 කින්ද 2022 මැයි 13 සිට, වඳුරු වසූරිය රෝගය  වාර්තා වීමත් සමඟ දැන් ඒ ගැන දැඩි අවධානයක් යොමුව ඇත. දැන් මේ වනවිට  ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින්ද රෝගීන් හඳුනා ගැනීමත් සමඟ වෛරසය ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත. WHO කලාප තුනක් හරහා මේ වනවිට වසංගත රෝග පරීක්ෂණ සිදුවෙමින් පවතී.                                                                                 
වඳුරු වසූරිය යන නම ආරම්භ වූයේ 1958දී ඩෙන්මාර්ක රසායනාගාරයකදී වඳුරන් තුළ වෛරසය ඇති බව මුලින්ම සොයාගැනීමත් සමඟය. 

පළමු මිනිස් රෝගය 1970දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේදී දරුවකු තුළ හඳුනා ගන්නා ලදී. 1970 සිට අප්‍රිකානු රටවල් 10ක් පුරා වරින්වර පැතිර යාම් වාර්තා වී තිබේ. 2003 දී ඇමරිකා එක්සත් ජනපදයේ පැතිර යාමක් සිදු වූ අතර, මෙම රෝගය අප්‍රිකාවෙන් පිටත දක්නට ලැබුණු පළමු අවස්ථාව එය විය. 2017 හි, නයිජීරියාවේ විශාලතම පැතිර යාම සිදුවූ අතර, ඒ දළ වශයෙන් වසර 40 කට පමණ පසුවය.

දැනට පවතින සාක්‍ෂිවලින් පෙනී යන්නේ රෝග ලක්‍ෂණ ඇති වඳුරු වසූරිය රෝගයෙන් පෙළෙන අයකු සමඟ සමීප ශාරීරික සම්බන්ධතා පැවැත්වූ අය මෙයට ගොදුරු වී ඇති  බවයි. මේ රෝගය පිරිමින් (MSM) සමඟ ලිංගිකව එක්වන පිරිමින් අතර ප්‍රධාන වශයෙන්  පැතිර යන බවට තොරතුරු පවතින නමුත් තනිකරම ඒ බව හඳුනාගෙන නොමැත.   

ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙරටුගාමී සෞඛ්‍ය සේවා සපයන්නන් සහ පිරිසිදු කරන්නන් වැනි අවදානමට ලක්විය හැකි අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම සඳහා මේ වනවිට මාර්ගෝපදේශ සැපයීමට කටයුතු කරයි. WHO ඉදිරි දිනවලදී තවත් තාක්ෂණික නිර්දේශ ලබාදීමට නියමිතය.

මැයි 21, 13:00 වනවිට, WHO කලාප තුනක් හරහා, වඳුරු වෛරසයට ආවේණික නොවන සාමාජික රටවල් 12කින්, රසායනාගාර තහවුරු කරන ලද රෝගීන් 92ක් සහ වඳුරු රෝග පිළිබඳ සැක සහිත සිද්ධීන් 28ක් WHO වෙත වාර්තා වී ඇත. ඒ ආශ්‍රිත මරණ කිසිවක් මෙතෙක් (ලිපිය ලියන මොහොත වනවිට) වාර්තා වී නොමැත.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ, ලොවපුරා රටවල පැතිර යමින් ඇති මෙම වෛරසය ශ්‍රී ලංකාවටද ඇතුළුවීමේ අවදානමක් ඇති බවයි. නමුත් එය පරීක්‍ෂා කිරීමට සහ රෝග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ හැකියාව ඇති අතර රෝගය සඳහා විශේෂිත ප්‍රති වෛරස් පවතින බවත් කෙසේ වුවද මෙරට වසූරිය සඳහා එන්නත ලබා දී ඇති බැවින් ඔවුන්ට අවම වශයෙන් අර්ධ ආරක්ෂාවක් ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

දැනට මෙම වෛරසයෙන් සෘජු බලපෑමක් මෙරටට නොමැති බව වසංගත රෝග අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය. මෙය පැපොල වැනි රෝග තත්ත්වයක් බවත් පැතිරීම මහා පරිමාණයෙන් සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.

වඳුරු වෛරස රෝගය ආවේණික රටවල් ලෙස WHO බෙනින්, කැමරෑන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ගැබොන්, ඝානා (සතුන් පමණක් හඳුනාගෙන ඇත), අයිවරි කෝස්ට්, ලයිබීරියාව, නයිජීරියාව, කොංගෝ ජනරජය, සියෙරා ලියොන්, සහ දකුණු සුඩානය මෙතෙක් හඳුනාගෙන තිබුණි.

වඳුරු වෛරස සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන (zoonosis) වෛරසයකි. අතීතයේ වසූරිය රෝගීන්ගේ දක්නට ලැබුණු රෝග ලක්ෂණවලට බෙහෙවින් සමාන වේ. එය Poxviridae පවුලේ orthopoxvirus කුලයට අයත් වඳුරු වෛරසය මගින් ඇති වේ. මේ වඳුරු වෛරසයේ ජාන අනුක්‍රමික පරම්පරා හෙවත් ක්ලේඩ් දෙකක් ඇත. බටහිර අප්‍රිකානු ක්ලේඩය සහ කොංගෝ ද්‍රෝණිය (මධ්‍යම අප්‍රිකානු) ආශ්‍රිත ක්ලේඩ යයි. අද වනවිට, PCR මගින් තහවුරු කරන ලද සියලුම සාම්පල බටහිර අප්‍රිකානු ක්ලේඩ් ආසාදනය වූ ඒවා  බවට හඳුනාගෙන ඇත. එසේම වර්තමාන ව්‍යාප්තියට හේතුවන වඳුරු වයිරසය 2018 සහ 2019 දී නයිජීරියාවේ සිට එක්සත් රාජධානිය, ඊශ්‍රායලය සහ සිංගප්පූරුව වෙත ගමන් කරන ලද රෝගීන්ට සමීපව ගැලපෙන බව පෙන්නුම් කර ඇත. 

රෝගය බෝවීමට හැකි අවස්ථා ලෙස මුහුණට මුහුණ සිදුවන නිරාවරණය (සුදුසු PPE නොමැති සෞඛ්‍ය සේවකයන් ඇතුළුව), ලිංගික සම්බන්ධතා ඇතුළුව සෘජු ශාරීරික සම්බන්ධතා දැක්වෙයි. තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳුම්, ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය සමඟ සමීප ස්පර්ශය පැවැත්වීමෙන් වඳුරු වයිරසය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වේ. වඳුරු වසූරිය වල පුර්ව ආසාදන කාලය සාමාන්‍යයෙන් දින 6 සිට 13 දක්වා වන නමුත් දින 5 සිට 21 දක්වාද විය හැක.

පහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඕනෑම වයසක ආසාදිත  පුද්ගලයෙක් තුළ දැකිය හැකිය. පැහැදිලි කළ නොහැකි උග්‍ර කුෂ්ඨයක් පැතිරීම. හිසරදය, උග්‍ර උණ ඇතිවීම (>38.5oC), ඉදිමුණු වසා ගැටිති, මාංශ පේශි සහ ශරීර කැක්කුම), පිටේ වේදනාව, තදබල ශාරීරික දුර්වලතාවය ඒ අතර ප්‍රධානය.

මෙයින් ආරම්භක රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වයයි. උණ අඩුවී ගිය පසු, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වී, පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට (බොහෝ විට අත් සහ පාද වෙත) ද පැතිර යා හැක. කැසීම දරුණු විය හැකි අතර, අවසානයේ විවිධ අවධීන් හරහා ගොස්, හැලී යන කබොල්ලක් බවට පත්වේ. අවසානයේ තුවාල කැළැල් ඉතිරි විය හැක. ආසාදනය සාමාන්‍යයෙන් ස්වයං ව පහව යන අතර දින 14 සිට 21 දක්වා පවතී.

වඳුරු වයිරසයට ගොදුරු විය හැකි විවිධ සත්ත්ව විශේෂ දැන් හඳුනාගෙන ඇත. ආසාදිත සතුන්ගේ ප්‍රමාණවත් ලෙස නොමපිසින ලද මස් සහ අනෙකුත් සත්ව නිෂ්පාදන අනුභව කිරීම අවදානම් සාධකයක් බව කියයි. මේ වෛරසය ස්වයං-සීමාකාරී වන නමුත් වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ළමුන්, ගර්භනී කාන්තාවන් හෝ ප්‍රතිශක්තිකරණ මර්දනයක් සහිත පුද්ගලයින් වැනි සමහර පුද්ගලයින් තුළදී එහි ප්‍රතිපල දරුණු විය හැක. කොංගෝ ද්‍රෝණි මාදිලිය  සමඟ සසඳන විට බටහිර අප්‍රිකානු මාදිලිය අඩු දරුණු රෝග ලක්ෂණ සහිත ආසාදන ඇති කරන බව පෙනේ

වඳුරු උණ උවදුරට තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් නැති නමුත් ආසාදනය වැළැක්වීම මගින් පැතිරීම පාලනය කළ හැක. වසූරි එන්නත වඳුරු උණ උවදුර වැළැක්වීම සඳහා 85% ඵලදායී බව ඔප්පු වී ඇති අතර එය තවමත් සමහර අවස්ථාවල භාවිතා වේ.
දැනට රෝග තත්ත්වය විකාශනය වෙමින් පවතින අතර වෛරස ආවේණික නොවන රටවල නිරීක්ෂණ පුළුල් වන බැවින් ඉදිරියේදී වඳුරු රෝගය හඳුනාගත හැකි අවස්ථා වැඩිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

 සුගත් පී.කුලතුංග ආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05