2022 මැයි 29 වන ඉරිදා

ලෝක සාගතයක් අත ළඟ!

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 167

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය සතියේ පැවසුවේ යුක්රේනය ආශ්‍රිත යුද්ධයෙන් ඇතිවූ භාණ්ඩ හිඟය ''ලොව දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  ආහාර අනාරක්ෂිතභාවයට පත් කිරීමට'' උපකාරී විය හැකි බවයි. එහි ප්‍රතිඵලය ලෙස, මන්දපෝෂණය, මහා සාගින්න සහ වසර ගණනාවක් පැවතිය හැකි සාගතයක් ඇතිවිය හැකි බව ඔහු කියා ඇත.

ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියන 49ක ජනතාවක් මේ වනවිට හදිසි සාගින්නෙන් පෙළෙති. මිලියන 811ක් පමණ සෑම රාත්‍රියකම නින්දට යන්නේ කුසගින්නේය. නිදසුනක් වශයෙන්, අප්‍රිකාවේ සහෙල් කලාපය පුරා සාගින්න අද්දර සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව, 2019 පූර්ව Covid අවධියට ට වඩා අවම වශයෙන් 10 ගුණයකින් වැඩිය.

තිරිඟු, බඩඉරිඟු, බාර්ලි සහ සූරියකාන්ත තෙල් වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල වෙළඳපළ පැවැත්ම සහ මිල කෙරෙහි රුසියාවේ ආක්‍රමණයේ අහිතකර බලපෑම ඉහළය. යුක්රේනය සහ රුසියාව සාමාන්‍යයෙන් ගෝලීය තිරිඟු අපනයනයෙන් 30%ක් පමණ නිෂ්පාදනය කරයි. ඉන්දියාවද සිය තිරිඟු සහ සීනි වැනි අත්‍යව්‍ය ද්‍රව්‍ය නිපැයුම් දේශීය භාවිතයට පමණක් සීමා කිරීම නිසා දැන් ලෝක වෙළෙඳපළ තුළ ආහාර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඉන්ධන මිල නොසිතු ලෙස ඉහළ යාමත් බෙදාහැරීමේ කටයුතු අඩපන වීමත් ඩොලරයේ අර්බුදයත් ලෝක ආහාර බෙදාහැරීමට බලපාන අතරම කෘෂි නිෂ්පාදනයටද බරපතළ ආකාරයෙන් ගැටලු ඇතිකර හමාරය මේ සියලු අර්බුද විසින් ලෝකය මහා ආහාර හිඟයකට සහ සාගතයකට තල්ලු කරමින් සිටින බව දැන් විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ වසරේ යුක්රේනයේ තිරිඟු නිෂ්පාදනය 35%කින් පහත වැටීමට ඉඩඇති අතර රුසියාව කළු මුහුද අවහිර කිරීම හේතුවෙන් එයින් වැඩි කොටසක් අපනයනය කළ නොහැකිව ඇත. මාර්තු මාසයේදී, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් වාර්තා කරන ලද ගෝලීය භාණ්ඩ මිල ගණන්, සර්වකාලීනව ඉහළම මට්ටමට ළඟාවිය.  රුසියාවේ යුද්ධය, කොවිඩ් වසංගතයේ ඍණාත්මක ආර්ථික බලපෑම, ඒ සමස්තයේ  ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ සැපයුම් දාමය අවහිර වීම, රුකියා සහ ප්‍රවාහන ගැටලු, ආන්තික කාලගුණය සහ දේශගුණ-අර්බුද, දේශපාලනික සහ කලාපීය අර්බුද, ආශ්‍රිතව නිෂ්පාදන  පහත වැටීම්, ඉහළ බලශක්ති පිරිවැය සහ ලොවපුරා පවතින තවත් බොහෝ ගැටුම්  ලොව උද්ධමන ප්‍රවණතා සංකීර්ණ සහ වේගවත් කර ඇත.
මේ තත්ත්වය යටතේ ඊජිප්තුව සහ බ්‍රසීලය වැනි මධ්‍යම ආදායම් ලබන රටවල් ආහාර අනාරක්‍ෂිතතාවයට මුහුණදීම සඳහා සුවිශේෂී ලෙස දුර්වල ස්ථානයක සිටින බව ජාත්‍යන්තර අවදානම් උපදේශකවරුන් වන Verisk Maplecroft පසුගිය සතියේ වාර්තාවක සඳහන් කළේය. මේ වනවිට බොහෝ ආණ්ඩු කොවිඩ් සමඟ සටන් කරමින් ඔවුන්ගේ මූල්‍ය හා ද්‍රව්‍ය සංචිත අවසන් කර විශාල ණය බරක සිරවී ඇත. ආර්ජන්ටිනාව, ටියුනීසියාව, පකිස්ථානය සහ පිලිපීනය වැනි රටවල් ලොව ආහාර සහ බලශක්තිය  ආනයනය මතම බෙහෙවින් රඳා පවතින අතර, 2022 අවසානය වනවිට සිවිල් නොසන්සුන්තාවයේ ඉහළ අවදානමකට මුහුණදෙන තවත් බොහෝ මධ්‍යම හෝ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතර වෙති.

ආහාර හිඟය, අධික මිල වැඩිවීම්, විදුලිය ඇනහිටීම් සහ පෙට්‍රල්, ඉවුම් පිහුම් ගෑස් සහ ඖෂධ හිඟය සමඟ ඒකාබද්ධව, මෙම වසන්තයේදී ශ්‍රී ලංකාව දේශපාලන අර්බුදයක් අත්දුටුවේය, එය ඒ හා සමාන ගැටලුවලට මුහුණ දෙන අනෙක් රටවලට අඳුරු ආදර්ශයක්  ගෙන දෙන සැකිල්ලක් ලෙස ලෝක විචාරකයන් පෙන්වා දෙති. මේ අන්දමටම කලාපීය රටක් වන පකිස්ථානුවන්ට මූලික ආහාර ද්‍රව්‍ය පවා ලබාගැනීමට නොහැකි වූ ද්විත්ව ඉලක්කම් උද්ධමනය, අගමැති ඉම්රාන් ඛාන්ගේ මෙම වසර මුලදී බලයෙන් වැටීමට ප්‍රධාන දායක සාධකයක් විය. ධූරයේ එල්ලී සිටීමට ඔහුගේ උත්සාහය පකිස්ථානය තවමත් පොරබදමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් නිර්මානය කර ඇත.

දිගුකාලීන සාධක - මර්දනකාරී පාලනය, දූෂණය, කළමනාකරණ නොහැකියාව, ආර්ථික ධ්‍රුවීකරණය - මේ දෙරටේම නොසන්සුන්තාවයට හේතු විය. එය උග්‍ර ආහාර හිඟය සහ උද්ධමනයට උත්ප්‍රේරකයක් විය. එය දැන් පේරු, පිලිපීනය සහ කියුබාවේ සිට ලෙබනනය සහ ටියුනීසියාව දක්වා අනාරක්ෂිත සහ ජනප්‍රිය නොවන පාලන තන්ත්‍රයන් වෙත පැතිර යමින් ලොව අනතුරක හෙළමින් සිටියි.

විශ්ලේෂකයන් අද මැදපෙරදිග සිදුවෙමින් පවතින දේ අරාබි වසන්ත කැරලි සමය සමඟ සංසන්දනය කරයි. ඊජිප්තුව ලොව විශාලතම තිරිඟු ආනයනකරු විය. එහෙත් මිලියන 70ක පමණ ජනතාවක් දැන් රාජ්‍ය සහනාධාර පාන් මත යැපෙති. ලෝකයේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම අප්‍රිකාවේ, ආහාර අනාරක්ෂිත භාවය යනු නව සංසිද්ධියකි. එහි කුසගින්න සාමාන්‍ය දෙයක් වන අතර සාගත අවදානම සැමවිටම පැවතිනු බොහෝ විට ගැටුම් සහ දේශගුණික විපර්යාස මගින් එය උග්‍ර වේ. එනම්, තත්ත්වය නරක අතට හැරෙමින් තිබේ.

එක්සත් ජාතීන් සහ යුරෝපීය සංගමයේ UN සහ EU ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ආහාර අර්බුදයට එරෙහි ගෝලීය ජාලයට අනුව ලොව උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයට මුහුණ දෙන සහ හදිසි ආහාර ආධාර අවශ්‍ය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2016 සිට දෙගුණයකට ආසන්න වී ඇත. තවද පසුගිය වසරේ මිලියන 40ක ජනතාවක් හෙවත් 20%ක් අලුතෙන්ම මේ ගැටලුවට මුහුණ දී ඇත. ජාලයේ නවතම වාර්තාව ඉතියෝපියාව, දකුණු සුඩානය, දකුණු මැඩගස්කරය සහ යේමනය, ආහාර නොමැතිකමෙන් පීඩාවට පත්වන රටවල් ලෙස විශේෂයෙන් සඳහන් කර ඇත. මිනිසුන් 570,000ක් හෙවත් වසර හයකට පෙර තිබූ තත්ත්වය මෙන් 571% කින් එය වැඩි වී තිබේ.

ලොව සාගින්න ඇතිවීමට ලොකුම හේතුව ගැටුම්ය. සිරියාවේ සිවිල් යුද්ධය මේ සඳහා ඇති හොඳම උදාහරණයක් සපයයි. සමෘද්ධිමත්ව තිබු රටක් දශකයකට වැඩි කාලයක් තුළ පැවති ගැටුම් නිසා දරිද්‍රතාවයේ පත්ලටම ඇදවැටුණු හැටි එය පෙන්වා දෙයි.   මේ වනවිට ඒ රට මිලියන 12.4ක පමණ ජනතාවක් එනම් ජනගහනයෙන් 60%ක්, ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන අතර, එය 2019 සිට දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනවාරි මාසයේදී ඇස්තමේන්තු කළේ කලින් බොහෝ දුරට ස්වයංපෝෂිත වූ පළාත්වල විසූ මිලියන 2ක ජනතාවක් දැන් ආහාර හිඟයෙන් පෙළෙන බවත්, ආධාර මත යැපෙන බවත්ය. අප්‍රිකානු කලාපය ආශ්‍රිත දේශගුණික විපර්යාසයන් පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එම කලාපය පුරා මිලියන 20ක ජනතාවක් මේ වසරේ බඩගින්නේ සිටිය හැකි බවයි.

ලෝකය මුහුණ දෙමින් පවතින ආහාර ගැටලුව පිළිබඳ ඉඟි මේ වනවිටත් මතුව හමාරය. හොඳම සහ ළඟම නිදසුන ප්‍රංශයයි. අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහළ යාමත් සමඟ යුරෝපයේ ප්‍රබලයකු වන ප‍්‍රංශය පවා ආහාර මුද්දර නිකුත් කිරීම දැන් ආරම්භ කර තිබේ. ඒ අනුව ජනතාවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවන පරිදි කූපන්පත් ලබාදීමට ප‍්‍රංශයේ නාගරික පරිපාලනය විසින් පියවර ගනු ලැබ තිබේ. මේ සඳහා යුරෝ මිලියන 37ක් වෙන් කර ඇති බව ප‍්‍රංශ පාරිභෝගික කටයුතු පිළිබඳ ආයතනය පසුගිය සතියේ නිවේදනය කර තිබුණි. බෝල්ටික් රටවල සහ නැගෙනහිර යුරෝපා රටවල වැඩි වශයෙන් ආහාර මිල ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. ඩෙන්මාර්කයේ වාර්තාවලට අනුව එරට සියලු ආහාර මිල ගණන් මේ වනවිට උපරිම අගයකට පැමිණ ඇත්තේ වසර 40කට පමණ පසුවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අනතුරු අඟවන පරිදි ආහාර නොමැතිව මේ  ලෝක විනාශය ළං වනවිට ලොව දුප්පත්ම ජනතාව සෑමවිටම මෙන් දුක් විඳිනු ඇත. නමුත් ධනවත්ම  රාජ්‍ය  යම්  ප්‍රමාණයක්  දක්වා  ආරක්ෂා කළ හැකිය. නමුත් ගෝලීය ආහාර දාමය දක්වා වේගයෙන් ගමන් කරනු ඇතැයි බිය වේ. එය සමඟ කුසගින්නෙන් පෙළෙන ලෝකයක් හරහා දේශපාලන කැලඹීම්, මානුෂීය අර්බුද, අස්ථාවරත්වය සහ භූ-මූලෝපායික එදිරිවාදිකම්වල ඉහළ නැගීමක් ඇතිවීමට ඉඩ ඇත.

■ සුගත් පී. කුලතුංගආරච්චි