2022 මැයි 29 වන ඉරිදා

රටේ තියෙන අර්බුද හමුවේ අපේ ජීවිත වෙනස් කරගන්නෙ කොහොමද?

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 195

පාලක පන්තියේ නරුමයින්, ඔවුන්ගේ ප්‍රශස්ති ගයන්නන් සහ කල දුටු කල වල ඉහ ගන්නා සුළුතරයක් හැර ශ්‍රී ලාංකිකයන් බහුතරයක් අඩු වැඩි වශයෙන් අත්විඳින ඉතාමත් අමිහිරි කටුක සහ වේදනාත්මක අත්දැකීම් ලෙස නරුම, කරුම, හිතුවක්කාරී, අසංවේදී පාලකයන්ට රට බාරදීමේ ප්‍රති විපාක පෙන්වා දෙන්නට පුළුවන.

එහෙත් පවතින යථාර්ථයට ප්‍රායෝගිකව අප මුහුණ දිය යුතුයි. එසේ ප්‍රායෝගිකව මුහුණ දීමට නම් අප බොහෝ පරිවර්තන කරා යොමු විය යුතුයි. අපේ ජීවන ශෛලිය වෙනස් කරගත යුතුයි. ජීවිතය යනු අප ඉල්ලන නොඉල්ලන සියල්ලෙහි මිශ්‍රණයක් බව අවබෝධයෙන් තේරුම් ගත යුතුයි. රටේ ගමන් මඟ සුබවාදී දිශානතියක් කරා ගෙන යන සැබෑ අරගලයක් උදෙසා ඔබ උරදිය යුත්තේ ආතතියෙන් අත්මිදුණු මානසිකත්වයක් කරා යොමුවීමට පහසු ජීවන ක්‍රමවේදයකටද යොමුවෙමිනි.

පැය ගණන් තෙල් පෝලිමේ සිටින්නට සිදුවීම යනු කායිකව මෙන්ම මානසිකවද හිරිහැරයකි. මිනිසුන් පැය ගණන් අව්වේ පෝලිම්වල සිටින්නෙ සංතෝසෙන් නෙමෙයි. බොහෝ අය අතිශය මානසික පීඩනයෙන් තමා පෝලිම්වල සිටින්නෙ. මේ වනවිට අහිංසක ජීවිත දහයක් පමණ පෝලිම්වල මියගිහින්. වෛද්‍ය මතය අනුව, ඔබ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයකින් පෙළේ නම් ඔබට පැය ගණනක් පෝලිමේ සිටියදී ඇතිවන මානසික නොසන්සුන් බව, කුසගින්න රෝගය උත්සන්න වීමටද හේතුවකි.
පෝලිමේ සිට හෝ තෙල් ලබාගැනීමට අවශ්‍යම නම් ඒ යන විට ඔබ කියවන්න පොතක් රුගෙන යන්න. කියවන විට කාලය ගෙවී යනවා දැනෙන්නෙ නැහැ. කියවීම යනු මනසට තෘප්තියක් සහ නිර්මාණශීලිත්වයක් එක්‍කරන සුබවාදී ඇබ්බැහියක්. මෙසේ පොත් කියවන එකත් පෝලිම්වල සිටින හැමෝටම කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. හේතුව තමා පෝලිම්වල ඉන්නෙ විවිධ වයස් මට්ටම්වල සහ විවිධ බුද්ධි මට්ටම්වල අය. පොත් කියවන්නත් සාක්ෂරතාවයක් මෙන්ම ආශාවක්, කැමැත්තක් තියෙන්නත් අවශ්‍යයි. පොත් කියවන්නට බැරිනම් සිත ධනාත්මකව සරසන සංගීතයකට යොමුකිරීම වැනි දෙයක් කරන්න පුළුවන්.

අද බොහෝ මිනිසුන් වාහනය සලකන්නේ තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වන උපකරණයක් ලෙස. වාහන සන්නාමය පුද්ගලයාගේ සමාජ තත්ත්වය සහ වෘත්තීයමය තත්ත්වය මනින මිණුම් දණ්ඩක් බවට පත්කරගෙන තියෙන්නෙත් මිනිසුන් විසින්මයි. එහෙත් ඔබ ජීවත් විය යුත්තේ ඔබට පහසු ක්‍රමවේදය අනුව මිස සමාජයට අවැසි ක්‍රමවේද අනුව නොවෙයි. ඔබ වැඩ කළයුතු වෙන්නෙ සමාජයේ මිනිසුන් සතුටු කරන්නට නෙමෙයි. ඔබ සතුටින් සිටීමයි වැදගත්.

බයිසිකලය සහ පයින් ගමන වත්මන් අර්බුදය හමුවේ ඉතා කාලීන විකල්පයක්. තවත් අතෙකින් එය දැඩි වාහන තදබදය අවම කර ගැනීමටත් උදව්වක්.  යුරෝපීය සහ බටහිර රටවල්හි මිනිසුන් කාලයක් මුළුල්ලේ පංගු පේරුවකින් තොරව බයිසිකලයෙන් ගමන් බිමන් යනවා. එය ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයටද හිතකර පුරුද්දක් වෙලා තියෙනවා. ඇයි අපිට බැරි හීනමාන මානසිකත්වයන්ගෙන් මිදී යා හැකි සියලු ගමන් බිමන් පයින් සහ බයිසිකලයෙන් යන්න. එහිදී තෙල් සඳහා වැයකරන විශාල මුදලක්ද ඔබට ඉතුරු කර ගන්න පුළුවන්. ව්‍යායාමයත් ඉබේම සිදුවෙනවා. කායික, මානසික නිරෝගී කමත් තහවුරු වෙනවා. යාපනය පැත්තෙ බොහෝ අය ගමන් බිමන් යන්නෙ බයිසිකල්වලින්. ඒක අගය කළ යුත්තක්. ආදර්ශයක්.

ආණ්ඩුව විසින් නිර්මාණය වීමට ඉඩ හැර බලා සිටි ජන ජීවිතය අඩාල කරන මේ කිසිම අර්බුදයක් අපි සාධාරණීකරණය කරන්නෙ නැහැ. එහෙත් ලෝකයේ මෙවැනි ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ග්‍රීසිය, ඉතාලිය, තායිලන්තය, ජපානය වැනි රටවල් එදා එම අර්බුදවලින් ගොඩ ඒමටත් වර්තමානයේ එම රටවල් ඇති කරගෙන ඇති ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමටත් තෝරාගත් මාර්ග අප මැනවින් අධ්‍යනය කළ යුතුයි.  නවෝත්පාදන කෙරේ යොමුවීමට මේ අර්බුදය ඔස්සේම මාර්ග පාදාගත යුතුයි.
ගෑස් අර්බුදය ජනජීවිතය අඩාල කරද්දී ගෑස් ළිප වෙනුවට විකල්ප නිර්මාණ කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එම නිර්මාණ සාධනීය තලයකට ගෙන ඒමට ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අතීතයේ ශ්‍රී ලාංකික ගෘහණිය ආහාර පිසීම සඳහා භාවිත කළ දර ළිප වත්මන් බහුතරයක් ගෘහණියන්ට නුහුරු වුවත් ඕනෑම දෙයකට හුරු වීමේ සහ ඔරොත්තු දීමේ ශක්තියක් ගොඩනගා ගත හැකි නම් ජීවිතය වඩාත් පහසුයි. මක් නිසාද යත් මස් රාත්තලම ඉල්ලා සිටීමේ න්‍යාය හැමවිටම ප්‍රායෝගික නොවන නිසා.

අද ඉන්දියාවේ යාචකයන් සහ චීනයේ ළදරු පාසල් දරුවන් එවන මුදලින්ද නඩත්තු වෙන හිඟමන් යදින තත්ත්වයට ඇද වැටී ඇත්තේ අතීතයේ පෙරදිග ධාන්‍යාගරය ලෙස සම්භාවනාවට පත් රාජ්‍යයක්. දහසින් වැව් බැඳි නිලට නිලේ යායෙන් යාය අස්වැද්දුනු මී ගස් සෙවණේ සාරසුබාවට සශ්‍රීක වූ පොළොවක හිමිකම දැරෑ රාජ්‍යයක්. එය අතිශය ශෝචනීය තත්ත්වයක්. අදටත් ඕනෑම දෙයක් පැලවෙන, දළුලන මල්, ඵල පූදින පොළොවක්, දේශගුණයක් අපට හිමියි. මුතු මැණික් මිනිරන් සේම සරු පසක්ද හිමි නිධානයක් බඳු රටක නිද්‍රාශීලීව සිඟමන් යදින පරාධීන ජාතියක් බවට අප තවදුරටත් පත් විය යුතු නැහැ.

හැම බිම් අඟලක්ම වැවීමෙන් අනාගත ආහාර අහේනියට මුහුණදීමේ මඟ අප එක්ව සදා ගත යුතුයි. අතහැර දමන ලද කුඹුරු සහ ඉඩම්වල, ඔබේ ගෙවත්තෙ මිරිස්, අල, බතල, පලා වර්ග, කොස්, දෙල් හැකි හැමදේම වගා කළ යුතුයි. කෘත්‍රිම පොහොර නැතත් ඉඳුල් වතුර ටික, ඉතිරිවන ආහාර, එළවළු වලින් කපා ඉවත දමන කොටස්, පොහොර බවට පත් කර ගත හැකියි. පුරන් වූ කුඹුරු අඳ ක්‍රමයට හෝ වගා කළ යුතුයි. අමන පාලකයන් විසින් කුඹුරු ගොවියා ආගාධයකට ඇද දමා තිබියදී කුඹුරු ගොවිතැන් කිරීම ඉතා අසීරු කරුණක්. එය එසේ වුවත් අප විසින් ඒ සඳහා ගතහැකි විසඳුම් සොයාගත යුතුයි. ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ආහාර හිඟයෙන් මිදෙන්නට නම් අතහැර දමන ලද හිස් ඉඩම් සහ කුඹුරු විධිමත් ලෙස රාජ්‍ය මැදිහත් වීමෙන් වගා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. 

දැන්වත් රටක් අතරමං කළ වියත්මඟ වෙනුවට ශාස්ත්‍රීය උගතුන්ගෙන් නොව ප්‍රායෝගික බුද්ධිමතුන්ගෙන් අවශ්‍ය බුද්ධිමය ඵලදායිතාව ලබාගත යුතුයි. අරාජික රාජ්‍යයක්ව පැවති සිංගප්පූරුව අද ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට පත් කිරීමට ලී ක්වාන් යූ ක්‍රියා කළේ කෙසේදැයි ඒ චරිතාපදානය ඔබ කියවන්න. වාචාල දොඩවා ජනතාව රුවටුවාට හැමෝටම ලී ක්වාන් යූලා විය නොහැකියි.  ලී ක්වාන් යූ යනු ඥාති සංග්‍රහ නොකරමින්, හොරකමට වංචාවට තරාතිරම නොබලා දඬුවම් දෙමින්  නීතිය බලාත්මක කරමින් වැඩ කළ හැකි ප්‍රායෝගික බුද්ධිමතුන්ට අදාළ ආයතන පවරමින් සිංගප්පූරුව ගොඩනැගූ නායකයෙක්.

අපේ ආහාර සංස්කෘතිය අධ්‍යනය කරන්න. අතීත ශ්‍රී ලංකාවේ ගම්බද ගෙවල්වල තිබූ දුම්මැස්ස කියන්නෙ ආහාර ගබඩාවක්. කොට්ට පොල්, අටු කොස්, දෙල් අටුකොස්, ගොරක, බිලිං, ගම්මිරිස් ආදී ආහාර ද්‍රව්‍ය ආහාර හිඟ කාලවලදී ප්‍රයෝජනයට ගන්නට එහි දුම් වැදි වැදී වේලුණා. දෙහි ලුනු දෙහි ලෙස සකස් කර කාලයක් ප්‍රයෝජනයට ගත්තා. අද කොස් ගස් යට වැටී කුණුවෙන කොස්වලින් දෙල්වලින් ආහාර අතිරික්තයෙන් එදා ගත් ප්‍රයෝජනය අපිට ගන්න බැරි ඇයි? ඒ වගේම අද කිරි පිටි, තිරිඟු පිටි හිඟයක් සහ එහි විශාල මිල වැඩිවීමක් සිදුවී තියෙනවා.... තිරිඟු පිටි වෙනුවට අපිට මඤ්ඤොක්කා පිටි, කොස් ඇට පිටි, කුරක්කන් පිටි සහල් පිටි ආදේශක විදිහට භාවිත කරන්න පුළුවන්... එය තවත් පැත්තකින් සෞඛ්‍යය සම්පන්නයි... කිරි පිටි වෙනුවට කුරක්කන් කැඳ, සහල් කැඳ, කිතුල් පිටි කැඳ, සව් කැඳ, කොළ කැඳ පානයට ක්‍රමයෙන් හුරුවෙන්න පුළුවන්. උදෑසන ආහාරයට සහල් වැඩිපුර යන්නෙත් නැහැ. පෝෂණයත් ලැබෙනවා. කුසත් පිරෙනවා. එවැනි නව ආදේශක සහිත ආහාර සංස්කෘතියක් ඔබේ නිවසේ නිර්මාණය කරන්න. 

උදේ සවස පිරිත් ඇසෙන රටේ ගැබිණි මවකගේ දොළදුක සංසිදුවීමට කොස් ගෙඩියක් කඩා ගැනීමට ගිය මිනිසෙකුට එම කොස් ගසේ හිමි කරුගෙන් පිහි පහර කන්නට වූ පුවතක් මෑත කාලයේදී අපට අසන්නට ලැබුණා. බඩගින්නට අඹ ගෙඩියක් කඩා කෑ වයසක කාන්තාවකට සිර දඬුවම් නියම වූ පුවතක් අපට අසන්නට ලැබුණ. නීතියේ දැලෙන් තෝරු මෝරු රිංගා යද්දී හාල්මැස්සන් බැටකන අරුම පුදුම රටේ හැටි වරෙක එසේය. මෙවැනි දැඩි අර්බුදයක් මධ්‍යයේ වුවත් නැති බැරි මිනිස්සුන්ට කන්න බොන්න දෙන, තම වගාව පවා මිනිස්සුන්ට නොමිලේ බෙදා දෙන පරිත්‍යාගශීලී මිනිසුන් අප රටේ හිඟ නැහැ. කොස් ගෙඩියක් කැඩුවත් අහල පහළ ගෙවල්වලට බෙදා දෙමින් බෙදා හදාගෙන කෑ පුරුද්ද අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන් ලෝකය දකින වත්මන් බහුතරයක් පරම්පරාවටද හුරු කිරීම වැඩිහිටි ගුරු පරපුරේ වගකීමක් ලෙස සැලකිය යුතුයි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05