රට කරවනවා යැයි කියන පාලකයන්, එම පාලකයන් මත යැපෙන්නන් සහ කළු කඩ මුදලාලිලා හැරෙන්නට බහුතරයක් ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ ජීවත් වන්නේ උත්තර නැති ප්‍රශ්න දහසක් මධ්‍යයේය. තාත්තා තෙල් පෝලිමෙත් අම්මා ගෑස් පෝලිමෙත් පැය ගණන්, වරු ගණන්, දින ගණන් පිපාසයෙන් සා ගින්නෙන් ගෙවන ඛේදවාචකයක් නිර්මාණය කළ සියලු පාර්ශ්ව කිසිවක් නොදැනෙන කිසිවක් නොඇසෙන ශෛලමය ලීලාවෙන් සිටියදී විශේෂයෙන්ම දර ළිපක්වත් බැඳගන්නට හැකියාවක් නැති මහල් නිවාසවල වෙසෙන්නන්ට ගෑස් සිලින්ඩරයක් ගෙදරට ලැබෙනතුරු කන්නට සිදුවන්නේ කඩ කෑමය. ඒ කඩ කෑම මිල දී ගන්නට සිදුවන්නේ මීට මාසයකට දෙකකට ඉහතදී කෑම එකකට ලබාදුන් මිල මෙන් දෙගුණයක තෙගුණයක මිලක් ගෙවමිනි. එසේ මිලක් ගෙවා ලබාගත් බත්පත කන්නට බොහෝවිට ඇත්තේ එක වෑංජනයකින් මේස හැඳි දෙකක් තරම්වත් වන්නට නොබෙදූ යහමින් පදමට තෙල් මිරිස් කිරි කිසිවක් නැති මළ බතකට නොදෙවෙනි වෑංජනය.
මේ සියල්ල අතරේ බහුතරයක් පෙට්ටි කඩ සාමාන්‍ය හෝටල් මෙන්ම තරු පහේ ඇතැම් හෝටල්වල පිරිසිදුකම සහ සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව ගැටලු මතුවූයේ අද ඊයේක නොවේ. එහෙත් ඌරන්ට මොන සෞඛ්‍යදැයි න්‍යායෙන් සහ කනවා නම් කාපන් ලීලාවෙන් උයන කරන මේ බොහෝ තැන් ආහාරය නොව මිල නම් ඇඟට දැනෙන සේයාවෙන් සටහන් කර ඇත. එමෙන්ම කෑම ඔතා ඇති දවටනය හෝ පෙට්ටියද ඇස් ඇදෙන අරුමෝසම් නිමාවෙන් මේ ඇතැම් තැන්හි නිමවා ඇත. එසේම බුෆේ සහ පිළිගැන්වීමද උජාරුවටම සකස් කර ඇත. එහෙත් වැදගත්ම දේ වන පිරිසිදුකම සහ සෞඛ්‍ය ආරක්ෂිත බව යනු හෝටල් සහ කඩ කෑම සම්බන්ධයෙන් අප වෙනමම කතා කළයුතු මාතෘකාවකි.
මේ සියලු කරුණු මෙසේ සටහන් කරන්නට සිතුණේ ඉකුත් දිනක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ පටයක් නැරඹීමෙන් අනතුරුවය. කොළඹ කොටුවේ එක්තරා හෝටලයකින් පුද්ගලයකු කදිම නිමාවක් සහිත පෙට්ටියක බහාලු බත් පාර්සලයක් රුගෙන තිබුණේ සැලකිය යුතු මිලක් ගෙවමිනි. එහෙත් ඒ බත් පත කෑම සඳහා දිගහැරිය ඔහුට ඊළඟ මොහොතේ බත් පත මතටම වමනය කරන්නට තරම් අප්‍රසන්න හැඟීමක් ඇතිවූයේ පිසූ කුකුල් මස් කැබැල්ලක් වෙනුවට දත් සහ නැට්ට පිටින්ම සම්පූර්ණයෙන් උයන ලද හොඳින් වැඩුණු මීයෙක් එම බත්පතේ තිබෙනු දැකීමෙනි. මුඛය මඳක් විවර වූ මීයාගේ ඉස්සරහ දත් දෙකද මී කුණෙහි මැනවින් පෙනෙන්නට තිබුණි.
ඇතැම් කඩ සහ හෝටල් හිමියන් වැඩි ලාභයක් ලබන්නට හැකි නම් බලු, බළල් මස් වුවත් කුකුල් මස් හෝ වෙනත් බුදින මස් වර්ගයක නමක් කියමින් විකුණන්නට බැරිකමක් නැති තරම් බල්ලන් මරා හෝ සල්ලි හොයන විපරීත සමාජයක ඔබත් මමත් පය ගසා සිටින වග අමුතුවෙන් කිවයුතු නැත. මූණ සහ නැට්ටත් කකුල් හතර ඉවත්කර කුකුල් මස් අතරට මීයන්ද එක්කරමින් එවන් කෙරුවාවක් කෙරුවාද නොඑසේ නම් මීයන්ගෙන් පිරුණු හෝටලයේ උයන මස් හැලියට වැරදීමකින් මීයෙක් වැටුණාද යන්න අපි නොදනිමු. විදුලිය කැපිල්ල හින්දා උයන්නෙ කළුවරේ ඒකයි මෙහෙම වෙන්න ඇත්තේ යනුවෙන් ගැලවිල්ලට දෙන උත්තර මගින් මෙවැනි අමනකම් සාධාරණීකරණය කිරීම නම් කිසිසේත්ම වලංගු නැත. විශේෂයෙන්ම කොළඹ බොහෝ කඩ සහ හෝටල්වල මීයන් පිරී සිටීමෙන් එළවළු රොටී කොත්තු ආදිය සෑදීම සඳහා රාත්‍රියේ කපා තබන එළවළුවලටද අනා තබන පිටි මෝලිවලටද මී පහස කොතෙක් ලැබෙනවාදැයි අමුතුවෙන් කිවයුතු නැත. එළවළු රොටියක් කන්නට ඉඳගත්තත් කකුල් දෙක අතරින් මීයන් දුවන කඩ මේ කොළඹ ඇත. ඇසට පෙනෙන්නටම අහිතකර රසකාරක එක්කරමින් ෆ්‍රයිඩ් රයිස් හදන ඇතැම් කඩවල සේවකයන් ආහාර පිළියෙළ කරන්නේ මීයන් තමන්ට හුරු හුරුපුරුදු හිතමිතුරන් සේ එහෙ මෙහෙ දුවන පසුබිමක බව සටහන් කරන්නේ ඇසින් දුටු සාක්ෂි ඇති නිසාය.
ඉදෙනකොට මෙන්ම බෙදනකොටද නොදැක්ක ඉහත කී බත් බත්පතේ සිටි මීයා සමඟ එකම හැලියේ ඉදුණු කුකුල් මස් හෝ මාළු එසේත් නැත්නම් වෙනත් ව්‍යාංජනයක් ඉදුනේ මීයා සමඟ හොඳ හැටියට කලවම් වෙමින්ය. මී කුණේ සියලු දහජරා විෂබීජ සමඟ හොඳ හැටි හැඳි ගෑවෙමින්ය. කැලතෙමින්ය. මීයා එක බත් පතක රුඳෙද්දී ඒ මී මුසු වෑංජනේ ඉතුරු හරිය සමඟ තවත් බත්පත් සැලකිය යුතු සංඛ්‍යාවක් පිළියෙළ කරන්නට ඇත. මුදල් ගෙවා මිලට ගෙන මී කුණ ගැන නොදැන පාරිභෝගිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඒ බත් බුදින්නටත් ඇත. එසේ ඒ බත්පත කෑ උන් අතර කුඩා දරුවන් රෝගීන් එසේම ගර්භණී මව්වරුන්ද සිටින්නට ඇත.
වෘත්තිමය සදාචාරය යනු තමන් කරන කවර හෝ වෘත්තියක් සමඟ නියත වශයෙන්ම රුඳී තිබිය යුතු දෙයකි. ආහාර යනු මිනිසාගේ නිරෝගී බව ප්‍රතිශක්තිකරණය ආයු කාලය මේ සියල්ල කෙරෙහි ඉවහල් වන තීරණාත්මක සාධකයකි. එහෙත් තුන්වේලක් තබා දෙවේලක්වත් කන්නට බැරිතරම් දැඩි ආර්ථික පීඩනයක වෙලී සිටින මේ රටේ බහුතරයක් ජනතාව අඩුම තරමේ බත්පතකට වැයකරන මුදලට හෝ සාධාරණයක් විය යුතුය. මෙවැනි සංසිද්ධීන් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ හෙළිදරව් වෙද්දී එම සිද්ධි අන්තර්ජාල ප්‍රතිචාරවලට පමණක් සීමා නොකර පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුය. වගකිවයුතු පාර්ශ්වවලට එරෙහිව ඒ හා සබැඳෙන නීතිය ක්‍රියාත්මක විය යුතුය. නොඑසේ නම් සිදුවන්නේ ඕනෑම අවලං වැඩක් කර ගැලවෙන්නට හැකි රටක් ලෙස ලබා ඇති &අමුතු දියුණුව* තවදුරටත් තහවුරු වීම පමණි.
සංජීවිකා සමරතුංග