ගෝල්ෆේස් අරගල භූමියෙන් එන කතා, ඇහෙන කතා, ඒ අය කියන කතා එමටය. එම කතා පාදක කරගත් බොහෝ අය අරගලය අච්චාරු වී ඇති බවත්, දියවී ගොස් ඇති බවත් විවිධ අර්ථ නිරෑපනය කරමින් සිටිති. එහෙත් ඇත්තටම අරගලය අච්චාරු වී ඇතිද? එහෙම නැත්නම් දියවී ගොස් ඇතිද යන්න සොයා බැලීමක් සිදුකළෙමු.
මේ වනවිට ගෝල්ෆේස් අරගලයට, අරගල භූමියට දවස් 50ක් ඉක්මවා ගොස් ඇත. ඒ දින 50 සැමරුවේ ඊයේ දිනයේය. ඉතිහාසයේ දීර්ඝතම අරගල භූමිය බවට ගෝල්ෆේස් අරගල භූමිය මේ වනවිට පත්ව ඇත. මෙතරම් කාලයක් අරගල භූමියක් පවත්වාගෙන යාම අසීරු වුවත් ගෝල්ෆේස් අරගල භූමිය දිනෙන් දින වැඩිදියුණු වූ බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. දැන් අරගල භූමියකටත් වඩා එය ගමක් වී ඇත. එය ගෝඨාගෝගම නම් වේ. එකී ගෝඨාගෝගමට ලියුම් පවා එන්නේය. දැන් ගමේ මිනිසුන් එක්වී ග්‍රාම නිලධාරියකුද පත්කරගෙන ඇත. ඒ තරමට ගෝඨාගෝගම සංකීර්ණ වී ඇත.
එහෙත් වැඩේ සංකීර්ණ වන විට ගෝඨාගෝගමේ යම් යම් සිදුවීම් එළියට එන්නට පටන් ගෙන ඇත්තේ ප්‍රසිද්ධියේමය. මෙතෙක් කල් නායකයෙක් වගකීමක් නැති අරගල භූමියට පසුගියදා හදිසියේම කණ්ඩායමක් ඉදිරිපත් වුණේ අරගලයේ වගකීම බාරගන්න බව සඳහන් කරමිනි. ඔවුන් සඳහන් කර සිටියේ මෙම අරගල භූමියට පිරිසක් අනාරාධිතව අයිතිවාසිකම් කියන බවත්ය. ඔවුහු සෘජුවම යූ ටියුබර්ස්ලා, නළු නිළියන් හට චෝදනා කළෝය. ඒ නිසා ඔවුන් මෙතනින් පසුව අරගල භූමිය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස පෙනී ඉන්න බවත් වෙනත් කණ්ඩායමක් මාධ්‍ය සාකච්ඡා සඳහා කතා කළහොත් ඔවුන්ට එය දන්වන ලෙසත් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මෙම මාධ්‍ය සාකච්ඡාව හරහා අරගල භූමියේ සිටින විවිධ කණ්ඩායම් අතර යම් යම් හිත් රිදවීම් සිදුවන්නට විය. එයට හේතුවූයේ එකවර මේ කණ්ඩායම ඉස්මතු වීම නිසාය. එහෙත් ඒ රිදවීම් එළියට පෙන්වීමට කිසිවකු උත්සහ කළේ නැත. එහි අවසානය වූයේ ඊට එකඟව කරුණු පැහැදිලි කිරීම පමණි.
මේ මාධ්‍ය හමුවෙන් පසුව ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් තවදුරටත් අරගල භූමියට පැමිණීමෙන් වැළකීමට තීරණය කළ බවද දැන ගන්නට ඇත. කෙසේ වෙතත් මෙම කණ්ඩායම මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතුව කුමක්ද? යන්න හැමෝටම ඇතිවූ ප්‍රශ්නයක් විය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමත් සමඟ එතුමා දන්වා සිටියේ ගෝඨාගෝගම ඉවත් නොකරන බවත් එම ගම ආරක්ෂා කිරීම සඳහා රජයෙන් පහසුකම් සලසන බවත්ය. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අගමැති කාර්යාලයෙන් කණ්ඩායමක්ද පත්කරනු ලැබීය. මෙම කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීම සඳහා අරගල භූමියේ පිරිසකට ආරාධනා කළත් ඒ අය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණේය. එහෙත් එක් කණ්ඩායමක් රහසිගතව අග්‍රාමාත්‍යවරයාගේ පිරිස සමඟ සාකච්ඡා කිරීම නිසා මෙම ගැටලුව හටගත් බවත් අරගල භූමියේ ප්‍රසිද්ධ රහසක් වී තිබේ. විශේෂයෙන් අරගල භූමියේ පිරිසකට අමාත්‍යංශ කාරක සභාවලට ආරාධනා කිරීමෙන් පසු එම කණ්ඩායම ඊට එකඟ වීම නිසා මෙම බෙදීම පටන්ගත් බවත් දැනගන්නට ඇත.
මේ අතර පැන නැගි අනෙක් ප්‍රශ්නය වූයේ නිර්පාක්ෂික අරගල භූමියේ අරගලකරුවන්ට අමතරව සර්වපාක්ෂික අරගලකරුවන් නමින් කණ්ඩායමක් බිහිවීමය. ඔවුන් ගෝල්ෆේස් අරගලයට විරුද්ධව බිහිවූ කණ්ඩායමක් නොවුණත් ඔවුන් නිර්පාක්ෂික අරගලකරුවන්ට වඩා වෙනස් වැඩපිළිවෙළකින් දේශපාලන සමාජයීය වැඩකයුතුවල නිරත වීම මෙම අරගල භූමියේ බහුතර පිරිසකට ප්‍රශ්නයක් වී තිබුණි. ඒ නිසා මෙම සර්වපාක්ෂික අරගලකරුවන් සම්බන්ධයෙන් නිර්පාක්ෂික අරගල භූමියේ බොහෝ අය විවේචනය කරන්නට විය.
සැබවින්ම ගෝල්ෆේස් අරගලභූමිය නිර්පාක්ෂික අරගල භූමියක් නොවන බව ඔවුන් පිළිගන්නේ නැත. විවිධ පක්ෂවල මධ්‍යමකාරක සභිකයින් බුරුතු ගණන් අරගල භූමියේ සිටියත් ඔවුන් පවසන්නේ මෙය නිර්පාක්ෂික අරගල භූමියක් බවය. ඒ නිසාම බොහෝ බාහිර පුද්ගලයන් සඳහා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුව ඇත. එපමණක් නොව ඔවුන් දේශපාලනික සාකච්ඡාවකට පවා නොයෑම විශාල úපිරිසකට ගැටලුවක් වී ඇත. එහෙත් ඔවුන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන තෙක් කිසිදු සාකච්ඡාවක් නොමැති බවය. ඒ නිසා ඔවුන්ගේ එකම මතය වී ඇත්තේ කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්ව යනතෙක් කිසිදු සහායක් ආණ්ඩුවේ කිසිදු වැඩ පිළිවෙළකට ලබා නොදෙන බවය.
කෙසේ වෙතත් ඊයේ දිනට අරගල භූමියට දින 50 පිරුණි. දැන් නැවතත් සියලුදෙනා සාකච්ඡා කොට ඇත්තේ නැවත අරගල භූමිය අලුත් කිරීමය. නව මුහුණුවරකින් අරගලය දියත් කිරීමය. ඒ සඳහා නැවතත් පිරිස එක්වෙමින් ඇත. දින 50 පසුව එන අරගල භූමිය කෙසේද යන්න අප පසුව සොයා බලමු.
ගයාන් ගාල්ලගේ