අරලියගහ මැදුර ඉදිරිපිට මයිනාගෝගම හා ගාලුමුවදොර පිටිය අභියස ගෝඨාගෝගම රැඳී සිටි නිර්පාක්ෂික අරගලකරුවන්ට එල්ල කළ මැර ප්‍රහාරයන් සමඟ කුපිත වූ මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය රටපුරාම විහිදී ගියේය. එහිදී මැති ඇමැති නිවාස දේපල හා ව්‍යාපාර රැසකට සිදුවූ හානිය සුළුපටු නැත. මැයි 9-14 අතර දිනවලදී අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කළ හා පසුව මැති ඇමැතිවරුන්ගේ නිවාස හා දේපලවලට හානිකළ පිරිස් සොයා සිදුකරන පොලිස් විමර්ශන කඩිනමින් සිදුකරන බව පෙනෙන්නට තිබේ.
විමර්ශන සඳහා අදාළ අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන, ඡායාරෑප, ඇසින් දුටු සාක්ෂි, දුරකතන දත්ත, සමාජ මාධ්‍ය, තාක්ෂණික හා විද්‍යාත්මක සාක්ෂිද භාවිතාවට ගනිමින් කටයුතු කරයි. ඒ ආශ්‍රයෙන් සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් පිළිබඳවම කඩිනමින් විමර්ශන සිදුකිරීමට පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී ඇත. ඒ අනුව රටපුරා වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 1808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. අරගලකරුවන්ට පහරදීම සිට රටපුරා වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ පැමිණිලි 853ක් පොලීසියට ලැබී තිබුණේ ඉකුත් සිකුරාදා වන විටය. එම පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 1808 දෙනා අතුරින් 784 දෙනකු බන්ධනාගාර ගතකර සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අරලියගහ මන්දිරය හා ගාලුමුවදොර ඉදිරිපිට සාමකාමී අරගලයක නිරතව සිටි නිර්පාක්ෂික පිරිසකට පහරදීම සම්බන්ධ විමර්ශන පිළිබඳව නීතිපතිවරයා ඍජුව අධීක්ෂණය කරනු ලබයි. අරගලයට පහරදීම පිළිබඳව හා එදින පස්වරුවේ නිට්ටඹුව ප්‍රදේශයේදී අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයා ඝාතනය කිරීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.
ඊට අමතරව දිවයින පුරාම සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ උපදෙස් මත අදාළ පොලිස් ස්ථාන මගින්ද විශේෂ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාස මගින් සිදුකරන්නේ එම බල ප්‍රදේශ අයත් පොලිස් කොට්ඨාසවල මෙහෙයවීම මතය. මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන අතරතුර මේ දක්වා ප්‍රකාශ 454ක් සටහන් කරගෙන තිබේ. ඒ අතරට අරලියගහ මන්දිරයේ මැයි 9 වැනිදා පැවැති රුස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරු හා එහි නිවේදන කටයුතු කළ නිවේදකයන් දෙපළක්ද වෙයි. මීට අමතරව එදින රාජකාරියේ යෙදී සිටි යුද හා නාවික හමුදාවේ සෙබළු 20 දෙනකු හා සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ද සිටිති. අරගලයට පහරදීම සඳහා වටරුක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් යොදවා තිබූ බවට පැවැති කතාව විමර්ශනවලදී අසත්‍ය බව තහවුරු වී ඇත.
ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් සිදුවූ දේපළ හානිය පිළිබඳව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් ලබාගැනීමට නියමිතව ඇත. පොලීසිය නිකුත් කළ වාර්තාව අනුව දක්වා ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මැති ඇමැති නිවාස 74කට අලාභහානි සිදුව ඇති බවකි. අරගලයට පහරදීම සම්බන්ධනයෙන් සැකකරුවන් 16 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහරදීම හේතුවෙන් අරගල බිමේ සිටි 76 දෙනකුට තුවාල සිදුව ඇති බවත් ඊට අදාළ සාක්ෂිකරුවන් 48 දෙනකුගේ නාම ලේඛනයන් අධිකරණයට ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ ඇතැම් පහරදීම්වලදී මිනීමැරීමට තැත්කර ඇති බවකි.
අරගලයට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු හය දෙනකු ජූනි පළමුවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එමෙන්ම අධිකරණය නියෝග කොට ඇත්තේ සැකකාර පුද්ගලයන් 17 දෙනකුට අදාළව විදෙස් ගමන් තහනම් කිරීමටය. එසේ නමුත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම, නිශාන්ත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිංහ ඇතුළු පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර තවම අධිකරණයට බාර දී නැත. එම බලපත්‍ර ලබාදී ඇති පිරිස අතර නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල, කාංචන ජයරත්න යන අයද වෙති.
කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි මැයි 9 දින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් බස් රථ ඇතුළු වාහන 14ක් ගිනිතබා විනාශ කර ඇත. එසේ හානියට පත්කළ වී 8 වර්ගයේ මෝටර් රථය පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පැමිණි එකක් වන අතර එය වෙළඳ අමාත්‍යංශයට අයත් එකකි. හානියට පත් වූ ජීප් රථයක් විපක්ෂනායකවරයා ගමන් කළ එකක් බවද බුද්ධි අංශ නිලධාරීන් ගමන් කළ වෑන් රථයක් හා සුවසැරිය ගිලන් රථයක් මෙන්ම කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා භාවිත කළ එකකි. මේ ආකාරයට විනාශ වූ වාහන අතර බස් රථ 50ක් පමණ වේ. කොළඹ හා අවට පොලිස් ස්ථාන මගින් එවැනි සිද්ධීන්වලට අදාළ නඩු 25ක් අධිකරණයට යොමුකර ඇතැයි වාර්තා වෙයි.
9 වැනිදා අරගලයට පහරදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ ඉකුත් 24 වැනිදාය. අරගලයට පහරදුන් අවස්ථාවන වනවිට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළ බැවින් නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබුණේ ඒ මහතාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසය. එම මාරුව නොදීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබුණේ ඉකුත් 25 වැනිදාය. නීතිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස නියෝග කර තිබුණේ අදාළ විමර්ශනවලට අනවශ්‍ය මැදිහත්වීම සිදුවීම වැළැක්වීම සඳහාය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර හා පඬුවස්නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරවින්ද දිසානායකට අයත් දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා නමින් ප්‍රසිද්ධ තැනැත්තියගේ දේවාලය, හෝටලය ඇතුළු දේපළ ගිනිතබා විනාශ කිරීම පිළිබඳව විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පවර ඇති බව පොලීසිය පවසයි. මේ අයුරින් විවිධ උපාය හා ක්‍රමවේද ඔස්සේ මැයි 9 අරගලයට පහරදීම හා මැයි 14 දක්වා වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව පොලීසිය මධ්‍යස්ථව විමර්ශනවල නිරත වන බව දකින්නට ලැබුණි.
මේ අතර ආණ්ඩු විරෝධී අරගලය දියාරු වෙමින් පවතින බවට ඇතැමුන් අදහස් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය පවසන්නේ තවමත් ආණ්ඩුව ජනතා ගැටලුවලට විසඳුම් නොදෙන බවය. මේ ගෙවෙන්නේ අරගලයේ විවේක කාලයක් බවත් නුදුරේදී මිලියනයක් ජනතාව කොළඹට කැඳවන බව එම සංගමය ප්‍රකාශ කරයි. එවැනි දිනක අරගලයට ඉඩහසර හදනවා මිස ගැටුම් ආරවුල්වලට ඉඩකඩ ඇති නොකිරීමට ආරක්ෂක අංශ වගබලා ගතයුතුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර