2022 මැයි 29 වන ඉරිදා

විභාගෙ ලියන දරුවන්ටත් පාරවල් වහන හයිරංකාරයෝ

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 63

අඛණ්ඩව දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළද දිනෙන් දින ඉන්ධන පෝලිම් දිගු වෙනවා විනා අඩුවීමක් දැකිය නොහැකිය. මග දිගට සැතපුම් ගණන් වාහන පෝලිම්ය. කුමන වෙලාවක ඉන්ධන ලැබේදැයි නොදැන බොහෝ දෙනකුට පෝලිම්වලට වී කාලය කා දැමීමට සිදුව තිබේ. ඉන් විනාශ වන්නේ රටේ ශ්‍රමය බව අමතක නොකළ යුතුය. එමෙන්ම දිනකට ගෑස් සිලින්ඩර් 80,000ක් නිකුත් කරන බවට ලිට්රෝ සමාගම ප්‍රකාශ කළද මිනිසුන් දින ගණන් එක දිගට පෝලිම්වලය.

ඉන්ධන හා ගෑස් නිසි ලෙස ලබාගත නොහැකි වීමෙන් මෙරට බොහෝ පිරිසකගේ ජීවනෝපාය කඩාවැටී තිබේ. තම එදිනෙදා ආහාරවෙල උයාපිහා ගැනීමට නොහැකි වී තිබේ. ඇතැමුන් හඬා වැටෙමින් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ තමන් තව දුරටත් පීඩාවට පත් නොකර ඉන්ධන, ගෑස් හා භූමිතෙල් ටික ලබා දෙන ලෙසටය. ඔවුන්ගේ වේදනාව අපට හඳුනාගත හැකිය. විරෝධතාවල නිරත පිරිස් පවසන්නේ තමන් රජයෙන් යැපෙන්නන් නොවන අතර වෙහෙස මහන්සි වී යමක් උපයාගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වන බවත් ඉන්ධන හා ගෑස් නොමැතිකමින් තම රැකියා කර ගැනීමට නොහැකි බව හා තම ආහාර වේල සකසා ගැනීමට ක්‍රමයක් නොමැති බවටය.  

එලෙස පෝලිම්වල දින ගණන් රුඳී සිටින ජනතාවට ඉන්ධන ලබා නොදී රාජ්‍ය සේවකයන්ට හා අත්‍යවශ්‍ය සේවා සඳහා වෙනත් පෝලිමකින් ඉන්ධන ලබාදීමට පියවර ගත් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල කලහකාරී සිදුවීම් වාර්තා විය. ජනතාව චෝදනා කළේ තමන් දින දෙක තුනේ පෝලිම්වල සිටියදී රාජ්‍ය සේවකයන් වෙනත් පෝලිමකින් පැමිණ තෙල් ලබා ගැනීම හේතුවෙන් තමන්ට තෙල් නොලැබෙන බවටය. අගනුවරින් බැහැර ඇතැම් ප්‍රදේශවල එම තත්ත්වය උද්ගත විය. මේ අතර ගොවීන් පවසන්නේ තම වගා කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති බවයි. ඇතැම් ඉන්ධන පිරවුම්හල් ගොවි ජනතාවට බූලිවලට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසාද ගැටුම් ඇතිවිය. ඒවා නිරාකරණය කිරීමට සිදු වූයේ පොලිසියට හා යුද හමුදාවටය. 

තමන්ට අවශ්‍ය ඉන්ධන ටික, ගෑස් ටික නොලැබීම මත මිනිසුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන හා ගෑස් අලෙවිහල් අසලින් මහමාර්ග අවහිර කරමින් සිදු කරන විරෝධතා දිවයිනේ සෑම ප්‍රදේශයකම  දිනපතාම පාහේ දැකිය හැකිය.

ඔවුන්ගේ එම විරෝධතා හේතුවෙන් පීඩාවට පත් වූයේ ආණ්ඩුව හෝ මැති ඇමැතිවරුන් නොව තමන් මෙන්ම පීඩාවට පත් ජනතාව බව මේ පිරිසට අවබෝධ වී නොතිබිණි. 

ඇතැමුන් ටයර් පුළුස්සා දමමින්, නැතිනම් මහාමාර්ග හරස්වන ලෙස වාහන නවතා පැය ගණන් මාර්ග අවහිර කර තිබිණි. පසුගියදා නාවින්න ප්‍රදේශයේ පැය නවයකට අධික කාලයක් පාර වසා දැමීම හේතුවෙන් බොහෝ පිරිස් මහත් අසීරුතාවට පත් වූහ. පැය ගණන් පෝලිම්වල සිට ඉතා අසීරුවෙන් ලබාගන්නා ඉන්ධන ස්වල්පයෙන් තම එදිනෙදා ගමන් බිමන් සිදුකරන පිරිසට මාර්ග වසාදැමීම හේතුවෙන් අතුරුමාර්ග ඔස්සේ වැඩිදුරක් ගමන් කොට යළි ප්‍රධාන මාර්ගවලට පිවිසීමට සිදු විය. රටේ ජනතාව මෙලෙස මාර්ග වසා විරෝධතා දැක්වීම බොහෝ පිරිස් දකින්නේ තිරස්චීන ක්‍රියාවක් ලෙසිනි. ඉන්ධන නොමැති කමින් ඔවුන් විඳින පීඩාව තේරුම් ගතහැකි වුවද මාර්ග අවහිර කිරීමෙන් ඔවුන්ට තෙල් හෝ ගෑස් ලැබෙන්නේ නැති බව ඔවුන්ට නොවැටහේ. එමගින් ඔවුන් කඩාකප්පල් කරන්නේ රටේ ජනජීවිතයයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ ජන අරගලවලට කඳුළු ගෑස් ගසන, ජල ප්‍රහාර එල්ල කරන බලධාරීන් මහජනයා පීඩාවට පත් කරමින් සිදුකරන මෙවැනි ක්‍රියා වළක්වාලීමට එතරම් මැදිහත්වීමක් සිදු නොකිරීම කනගාටුදායකය. දුකට පත් ජනතාවට තව දුරටත් පීඩාවට පත් කරන මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙක් නිසි පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමය. 

මෙලෙස මාර්ග වසා විරෝධතා පැවැත්වීම හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව අතර පසුගිය සඳුදා ආරම්භ වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ටද මුහුණදීමට සිදුවී තිබිණි. විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ආයාචනා කළේ විභාග සඳහා පෙනී සිටින දරුවන්ට බාධාවකින් තොරව විභාග ශාලාව වෙත යෑමට කිසිදු අයුරකින් බාධා නොකරන ලෙසටය. මව්පිය සංගම්ද තම දරුවන්ට විභාගයට මුහුණදීම සඳහා අවස්ථාව සලසන ලෙසත් පාරවල් වසා උද්ඝෝෂණ කිරීමෙන් වළකින ලෙසටත් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. එහෙත් දරුවන්ගේ අනාගතය පිළිබඳ කිසිදු තැකීමක් නොමැති ඇතැම් පිරිස් විභාගවලට පෙනී සිටින දරුවන්ටද බාධා කරන අයුරු මාධ්‍ය තුළින් දැකිය හැකිවිය. මාර්ගය අවහිර වීම නිසා තම දරුවා විභාග ශාලාවට රුගෙන යාමට නොහැකි වූ පියෙක් තම දරුවාගේ විභාග අයැදුම් පත්‍රය විරෝධතාකරුවන්ට පෙන්වමින් තමන්ට යාමට ඉඩ දෙන ලෙසට අයදින අයුරු පසුගිය දිනෙක මාධ්‍යයෙන් දැකගත හැකි විය. එහෙත් එම ස්ථානයේ සිටි පිරිස් නෑසූ කන් ඇතිව සිටිනු දැකිය හැකි වූ අතර එම පියාට විකල්ප මාර්ගවලින් දරුවා විභාග ශාලාව වෙත විභාගය ආරම්භ කිරීමට පෙර රුගෙන යාමට හැකිවූවාදැයි නොදනිමි. එම පියාට බාධා කළ පිරිසෙන් වැඩි දෙනෙක් අධ්‍යාපනය ලබන දූ දරුවන් සිටින මාපියන් විය හැකිය. පාර වැසූ පුද්ගලයන් එලෙස  ක්‍රීඩා කළේ දරුවකුගේ අනාගතය සමඟය.

තම බිරිඳට දරුවා ලැබී ඇති බැවින් රෝහලට යාමට ඉඩ ලබාදෙන ලෙස එක්තරා පියකු ආයාචනා කරන අයුරුත් එහෙත් කිසිම ලෙසකින් ඔහුට ඉඩ ලබා නොදෙන බව පවසන කාන්තාවක පිළිබඳවත් සමාජ මාධ්‍යවල පළවී තිබිණි. විශේෂයෙන්ම එවැනි අවස්ථාවක එම පුද්ගලයාට යන්නට නොදී මාර්ගය හරස් කරගෙන සිටි එම කාන්තාව මවක නම් ඇය කෙතරම් පහත් ගැහැණියකද යන්න වටහා ගත හැකිය. අවුරුදු පහක කුඩා දරුවකු නිවෙසේ ඇති බැවින් තමන්ට යාමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටි මෝටර් රථයකින් පැමිණි කාන්තාවකට ඉන්ධනහලක් අසල මාර්ගය අවහිර කරගෙන සිටි පිරිසක් ස්ථානයෙන් ගමන් කිරීමට ඉඩ නොදී තමන්ගේ දරුවන්ටත් කන්න බොන්න නැතැයි පවසමින් එම කාන්තාවට යාමට ඉඩදුන්නේ නැත. ඔවුන් පැවසුවේ යළි වාහනය හරවාගෙන විකල්ප මාර්ගයකින් ගමන් කරන ලෙසටය. ඒ මව දැඩිව අසරණ වූ බව පැහැදිලිව දැකගත හැකි විය. 

තවත් අවස්ථාවක තම දෙවැනි ගමන යාමට පැමිණි නව යුවළක් රුගත් මංගල රථයකටද ඉඩ ලබා නොදී ඔවුන් හරවා යැවීමට තරම් ඇතැම් පිරිස් නින්දිත ලෙස කටයුතු කළහ. එම යුවළ ඒ මොහාතේ කෙතරම් පීඩාවට පත්වූවාදැයි යන්න පාර වසා සිටි පිරිසට හැඟුණේ නැත. ඇතැම් පිරිස් පාසල් අවසන් වී නිවෙස් කරා යන ළමුන් රුගත් වාහන පවා හරවා යවනු ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විය. නුගේගොඩ නාවල මාර්ගයද අවහිර කරමින් විරෝධවක් පැවැත්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමන්ගත් වාහන රුසක ජනතාව පීඩාවට පත්වූහ. වස්කඩුව ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කළ පිරිස් වෙත පැමිණි පොලිස් නිලධාරින් ප්‍රකාශ කළේ මාර්ග අවහිර කිරීමෙන් පීඩාවට පත් කරන්නේ සාමාන්‍ය ජනතාව බවත් ඔවුන්ට තෙල් ලබාදීමේ හැකියාවක් නොමැති හෙයින් මාර්ග අවහිර නොකරන ලෙසටත්ය. එහෙත් උද්ඝෝෂකයන් කියා සිටියේ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙසටය. එහිදී එම මාර්ගයෙන් යාමට පැමිණි පිරිස හා විරෝධතාකරුවන් අතර බහින්බස්වීම් දැකිය හැකි විය. විරෝධතාකරුවෝ පොලිස් අණ නොතකා මාර්ගය අවහිර කරගෙන සිටියේ කිසිවකුට එම ස්ථානයෙන් ගමන් කිරීමට නොහැකි වන පරිදිය. 

ඇතැම් පිරිස් ඉන්ධනහල් සේවකයන් සමඟද, ඒවා විසඳන්නට පැමිණි පොලිස් නිලධාරීන් සමඟද ගැටුම් ඇති කරගන්නා ආකාරය දිවයිනේ බෙහෝ ප්‍රදේශවල දක්නට ලැබිණි. පිරවුම්හල් සේවකයින්ට පහර දීම හා ඉන්ධනහල්වල ඇති වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන්  මේ වනවිට දිවයින පුරා ඉන්ධන හල් 40ක් වසා දමා ඇතැයි ලංකා ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. මෙම ගැටුම් වැඩි වශයෙන් වාර්තා වූයේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලිනි.

පසුගියදා ගොඩකවෙල ඉන්ධන පිරවුම් හලේ පෝලිමට පිටින් පිරිසක් තෙල් ලබා ගැනීම හේතුවෙන් එකිනෙකා අතර ගැටුම් ඇති විය.  ත්‍රිකුණාමලය ප්‍රදේශයේද ඉන්ධන ලබා ගැනීමට පැමිණි දෙපිරිසක්  අතරද ගැටුමක් ඇතිවී තිබිණි. ගැටුම් හේතුවෙන් තුවාල ලද පුද්ගලයන් රෝහල් ගත කිරීමටද සිදු විය.  කැකිරාව ඉපලෝගම ප්‍රදේශයේ ඉන්ධනහලක ඉන්ධන අවසන් වීමෙන් කෝපයට පත් පිරිසක් එම ඉන්ධනහල් හිමිකරුගේ නිවෙස ගිනිබත් කර තිබිණි. පසුගිය සඳුදා රාත්‍රියේ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් වැල්ලවාය මොණරාගල මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගම්වාසීන් හා විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවූ අතර තුවල ලත් දෙනෙකු රෝහල් ගත කිරීමට සිදු විය. වැලිමඩ ප්‍රදේශයේ ඉන්ධනහලක පෝලිමේ සිටි දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් ඔවුන් දෙදෙනාම තුවාල ලැබූහ. තවත් ඉන්ධන පිරවුම්හලක ඇතිවූ බහින්බස් වීමක් අවසන් වූයේ එක් පුද්ගලයකුට පිහියෙන් ඇනීම නිසා රෝහල් ගත කිරීමෙනි.

තමන් ගහ මරා ගන්නේ මාර්ග අවහිර කර බාධා කරන්නේ තම පන්තියේම දුක් විඳින ජනතාව සමඟ බව ඔවුන්ට නොවැටහීම අතිශය ඛේදවාචකයකි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

පෝලිම් ක්‍රමය තුළ ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමුවෙලා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්

''මෑතක් වන තෙක්ම මෙරට ජනතාව ඉන්ධන සහ ගෑස් වැනි දේවල් මිලදී ගත්තේ සාමාන්‍ය විදිහටයි. ඉන්ධන හා ගෑස් මිල දිනෙන් දින ඉහළ යාමත්, ඒවායේ හිඟයත් නිසා ඇතිවී තිබෙන පෝලිම් ක්‍රමය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටිනවා. ජනතාවට තමන් කැමති ගමනක් යන්න බැහැ. අවම වශයෙන් අවහිරයක් නැතිව රැකියාවට යන්නට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. තවත් පිරිසක් තම නිවෙස්වලම සිරකරුවන් බවට පත්ව සිටිනවා. ඔවුන්ගේ බාහිර සම්බන්ධතා ජාලය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් පවතිනවා. තමන්ගේ ආහාර ටික සකසා ගන්න බැහැ. මේ තත්ත්වය මත ජනතාව දැඩි මානසික පීඩනයකට පත් වෙලා. ඔවුන් සිටින්නේ දැඩි අසහනයකින්. මේ මානසික පීඩනයේ ඇති මනෝමය තත්ත්වය වන්නේ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පෙළඹීමයි. වෙනත් පුද්ලගලයකු තුළින් ප්‍රචණ්ඩකාරී ලෙස තම පීඩනය පිට කරනවා නැතිනම් පවුල තුළ ප්‍රචණ්ඩත්වය පිටකර හරිනවා. ඇත්තටම දැන් මිනිසුන් තුළ ඇත්තේ පෙර පැවැති සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගිය අසාමාන්‍ය තත්ත්වයක්. එවිට අපේ සංස්තෘතික ගුණාංග, ධාර්මික සදාචාරය වැනි සියල්ල අභිබවා ඔවුන් අත්විඳින මානසික පීඩනට පිටතට එනවා. මෙවැනි ක්‍රියා පාලනය කිරීමට තමයි නීතිය තියෙන්නේ. එහෙත් නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලිසියේ කාර්යභාරය පවා බිඳ වට්ටමින් ජනතා පීඩනය පුපුරා යමින් තිබෙනවා.''