2022 මැයි 29 වන ඉරිදා

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 85

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගියදා ආරම්භ විය. පාසල් සහ බාහිර අයැදුම්කරුවන් 517,469 දෙනකු මෙම විභාගය සඳහා අයැදුම් කර ඇති අතර විභාග මධ්‍යස්ථාන 3844කදී මෙවර විභාගය පැවැත්වෙයි. මෙවර විභාග අයැදුම්කරුවන්ට තම විභාග මධ්‍යස්ථාන වෙත යාමට සිදුවී ඇත්තේ බොහෝ බාධක මධ්‍යයේය. පවතින වර්ෂාව සහ ඇතැම් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය හමුවේ ස්වභාවික පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් විභාග මධ්‍යස්ථාන වෙත යන අයැදුම්කරුවන් මෙන්ම ඉන්ධන නොමැතිකම හේතුවෙන් නිසි වෙලාවට විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකිව පීඩා විඳින අයැදුම්කරුවෝ ද සිටිති.

මාස ගණනාවක් පුරාවට මෙරට ජනතාවට වැඩි කාලය ගත කරන්නට සිදුවී ඇත්තේ පෝලිම්වලය. කිලෝමීටර් ගණනාවක් දිගු ඉන්ධන පෝලිම්වල දවස ගෙවන බොහෝ දෙනාට බොහෝ විට සිදුව ඇත්තේ පැය ගණනාවක් පෝලිම්වල හිඳ ඉන්ධන නොමැතිව ආපසු යාමටය.

ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයේ යම් අඩුවක් පැවතීම නිසා විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට නිසි වෙලාවට විභාගයට යාමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී තිබිණි. රටේ පාලකයන්ට මෙරට ජනතාව විඳින දුක පිළිබඳව අවබෝධයක් හෝ ඔවුන්ගේ ජීවිත පිළිබඳව හැඟීමක් හෝ නොමැති කාලයක අපේ රටේ තවමත් මනුස්සකම් පිරුණු මිනිසුන් ද සිටින බව යළිත් වරක් ඔප්පු වී තිබේ.

ඉන්ධන නොමැතිව නිසි වෙලාවට විභාග මධ්‍යස්ථානවලට යාමට නොහැකිව අසරණ වූ විභාග අපේක්ෂකයන් බොහොමයකට මෙරට ජනතාව තමන්ට හැකි අයුරින් පිහිට වීමෙන් ඒ බව පැහැදිලි විය.

සඳුන් සුරංජන එවැනි මනුස්සකම් සපිරි තරුණයෙකි. මීගොඩ ප්‍රදේශයේ ජීවත් වන සඳුන්ට ඇත්තේ විද්‍යුත් අරෝපණයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයකි. එහෙයින් සඳුන්ගේ මෝටර් රථයට ඉන්ධන අවශ්‍ය නැත. ඔහු තම මුහුණුපොත හරහා යම් සටහනක් පළ කළේය. එනම් ගොඩගම සිට පන්නිපිටිය ධර්මපාල විදුහල දක්වා ගමනාගමනයට අපහසු කෙනකු සිටී නම් විභාගයට යාමට ගමන් පහසුකම් සලසා දෙන බවය. සඳුන් සුරංජනගේ මෝටර් රථයේ වරකට යා හැකි වන්නේ පස්දෙනකුට පමණි. නමුත් මේ මොහොතේ එය ද විශාල පරිත්‍යාගයකි. මහමග ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව සමඟ බහිස්බස් වෙන බොහෝ තරුණයන් අතර සඳුන් සැබැවින්ම සැබෑ මිනිසෙකි. ඒ අනුව සාමාන්‍ය පෙළ ආරම්භ වූ දිනයේ සිට ජූනි මස පළමු දිනය දක්වා තම මෝටර් රථයෙන් පාසලට සිසුන් පස්දෙනකු රැගෙන යාම සඳුන්ගේ අපේක්ෂාව විය.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ බස් රථ හිමිකරුවකුද තම බස් රථයෙන් කැකිරාව සිට අනුරාධපුරය දක්වා විභාගය සඳහා පාසල් දරුවන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කැමැත්ත පළ කර තිබිණි. ඒ අනුව මේ සතිය පුරාවට ඔහු තම බස් රථයෙන් කැකිරාව සිට අනුරාධපුරයටත්, නැවත අනුරාධපුරයේ සිට කැකිරාව දක්වාත් නොමිලේ පාසල් දරුවන් ප්‍රවාහනය කරයි. එයින් ආර්ථික අපහසුතා සහ ඉන්ධන හිඟය මත පීඩා විඳින අනුරාධපුර දරුවන්ට තම හිතේ සැනසීමෙන් විභාගයට ලිවීමට හැකි විය.

අනුරාධපුරයේ එක්තරා ගොවි මහතෙක්ද තමන් මනුස්සකම් පිරුණු මිනිසකු බව රටට සපථ කළේය. ඔහුට ඇත්තේ ත්‍රිරෝද රථයක් පමණි. ඔහු තම රථයෙන් අනුරාධපුර පාසල්වල විභාගයට පෙනී සිටින දරුවන් නොමිලේ ප්‍රවාහනය කරයි. ඇතැම් පාසල් වෙත කිලෝමීටර් තිහක් පමණ දුරක් යාමට සිදුවුවද ඔහු සිය කැමැත්තෙන් කිසිදු මුදලක් අය නොකර එම කටයුත්තේ නිරත වෙයි.

අද වනවිට ඉන්ධන ගැටලුව බරපතළ වී හමාරය. බොහෝ නගරවල දක්නට ඇත්තේ දිගු පෝලිම්ය. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලැබී තිබුණද ඇතැම් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් පෙළගැසී තිබුණද ඉන්ධන තිබුණේ නැත. නමුත් ඉන්ධන පැමිණේවි යැයි ධනාත්මක අපේක්ෂාවෙන් ජනතාව ඉන්ධන පෝලිම්වල දවස ගෙවති. මේ අතර සුළු සිද්ධියකට හෝ කුපිත වන ජනතාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ද සිදු කරති. ඒ හේතුවෙන් අද වනවිට ඉන්ධන පිරවුම්හල් 40කටත් වැඩි සංඛ්‍යාවක් වසා දමා තිබේ.

මෙවන් වටපිටාවක තම දරුවා විභාගයට රුගෙන යන මෝටර් රථයෙන් මාර්ගයේ සිටින විභාග අපේක්ෂකයකු හෝ දෙදෙනකු මෝටර් රථයට නංවාගෙන විභාග ශාලාවට රුගෙන යන අය ද සිටිති. උදෑසන තම රාජකාරියට යන අතරමගදී මුණගැසෙන විභාග අපේක්ෂකයන් තම මෝටර් රථයෙන් විභාග මධ්‍යස්ථානයට රැගෙන යන පිරිසක්ද සිටිති. එවැනි බොහෝ දෙනකු තම මුහුණුපොත හරහා පෙර සටහන් දමා පවසා සිටියේ තමන් යන ගමන් මාර්ගයේදී ගමනාගමන පහසුකම් අවශ්‍ය කෙනකු සිටී නම් ඇමතුමක් ලබා දෙන ලෙසය. එවැනි මනුස්සකම් පිරුණු මිනිසුන් ඕනෑ තරම් අප සමාජයේ ජීවත් වෙකි. ඇතැම් තරුණයන් තම මෝටර් සයිකලයෙන් පාසල් සිසුන් දෙදෙනකු නංවාගෙන විභාග මධ්‍යස්ථාන වෙත රුගෙන ගිය සිද්ධීන් ද වාර්තා විය. මෝටර් සයිකලයෙන් තිදෙනකු ගමන් කිරීම නිතියට පටහැණි වුවද මේ මොහොතේ ඔවුන් කරන්නේද ඒ මොහොතේ කළ යුතුම දෙයකි.

රත්නපුර ප්‍රදේශයේ වෛද්‍යවරයකුද තම මෝටර් රථයෙන් රෝහලට ගමන් කරද්දී අතරමගදී මුණගැසෙන පාසල් දරුවන් වාහනයට නංවා පාසලට රුගෙන ගොස් අනතුරුව තමන් රෝහල කරා යයි. එලෙස අසරණ දරුවන්ට පිහිටවන මෙවැනි මිනිසුන් අගය කළ යුතුමය.

දිශානි ජයමාලි කරුණාරත්න