වර්තමාන දේශපාලන අර්බුදය විසඳීම සඳහා 21 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අත්‍යවශ්‍ය කරුණක් බව මෙරට දේශපාලකයෝ කියති. විවිධ පාර්ශ්ව විසින් යෝජනා කරනු ලදුව මේ වනවිටත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. අදාළ කෙටුම්පත පිළිබඳව කැබිනට් සාකච්ඡා මෙන්ම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් තුළ අභ්‍යන්තර සාකච්ඡාද සිදුවෙමින් පවතියි. කෙටුම්පත පක්ෂ නායක අදහස් විමසීම සඳහාද යොමුකර ඇත. එවන් වටපිටාව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දේශපාලන මත කිහිපයක් දේශයේ අප විමසා සිටියෙමු.
අපේ පූර්ණ සහාය දෙනවා
තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය
මෙය නිසැක වශයෙන්ම ගෙන ආ යුතුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව සතු කරල තිබුණු සියලුම බලතල 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා අත්පත් කරගත්තා. ඒ හරහා නිර්මාණය වුණේ ඒකාධිපති තත්ත්වයක්. එනිසාම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හරහා රටට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත වතාවක් හඳුන්වාදීම අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධව ජනමතයකුත් මේ මොහොතේ නිර්මාණය වී තියෙනවා.
ඒ නිසා තමයි විසිඑක්වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විජයදාස රාජපක්ෂ මහත්මාත් මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ සියල්ලේ සංකලනයක් විදියට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19+ විදිහට රුගෙන ඒමට අපි සියලු සහයෝගය ලබාදෙනවා. මේක ආණ්ඩුවේ යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ගෙන ඒම අත්‍යවශ්‍යයි.
පසුගිය සඳුදා වනවිට අපිට අදාළ සංශෝධනය කෙටුම්පත ලැබුණා. ඒ සම්බන්ධව අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කළා. මේ පිළිබඳව කටයුතු කරන්න පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මා විසින් පක්ෂයේ නීතිඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කළා. ඒ කමිටුව රුස්වෙලා අදාළ නිර්දේශයක් ලබාදෙයි. අපි මෙහිදී සලකා බලන මූලිකම දේ තමයි සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති සංශෝධනය අතර වෙනසක් තිබෙනවාද කියන කාරණය. එහෙම වෙනස්කම් තිබෙනවා නම් අපි අපේ යෝජනා අදහස් සංශෝධන සහිතව සිකුරාදා වනවිට ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
අපේ අදහසුත් ක්‍රියාත්මක වේදැයි බලා ඉන්නවා
දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ජන අරගලය ආරම්භ කළ සියලුදෙනාම වගේම දේශපාලන පක්ෂවලත් විශේෂ උනන්දුවක් ඇති වී තිබුණා. විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට ඉදිරියට යන වැඩපිළිවෙළක් සකස් සම්බන්ධව. ඒ අනුව අපි පක්ෂ 11 එකමුතුවත්, ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 53 කගෙන් යුත් කණ්ඩායමක් එකතුවෙලා මේ සංශෝධනය ඉදිරිපත් කළා. ඊට සමාන එකක් තමයි අධිකරණ අමාත්‍යවරයා ඉන්න විජයදාස රාජපක්ෂ මැතිතුමා අරගෙන ආවේ.
දැන් එය සංශෝධනය කරමින් රට තුළ නිවැරුදි විදිහට ප්‍රජාතන්ත්‍රවාදයට ස්ථාපිත කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි සියයට සියයක සම්පූර්ණ සහයෝගය මෙය සම්මත කර ගැනීම සඳහා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාගන්නත් බලාපොරොත්තු වෙනවා.
මෙම සංශෝධනය සම්බන්ධ තවත් අදහස් අපට තිබුණා. අපි බලාගෙන ඉන්නවා මේ මොහොතේ ඒවා ක්‍රියාත්මක වීම පිළිබඳ. විජයදාස රාජපක්ෂ මැතිතුමා අදාළ අවශ්‍ය සියලු යෝජනා අන්තර්ගත කරලා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. තවත් එකතු කිරීම් සිදුකළ යුතු නම් ඒ සඳහා අවශ්‍ය වන සහයෝගයත් ලබාදීමට අපි සූදානම්.
සම්මත කරගන්න පුළුවන් වේදැයි සැකයි
විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී - ජාතික ජාතික ජන බලවේගය
විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට අපි එකඟයි. අපි තමයි 2001දීත් පරිවාස ආණ්ඩු ක්‍රියාවලිය ඇතුළෙත් ස්වාධීන කොමිෂන් සභා ගෙනැවිත් බලතල අඩු කිරීමට මැදිහත් වුණේ. 2015 දීත් 19 වැනි සංශෝධනය ගෙන ඒමට මැදිහත්වෙලා උපරිම සහයෝගය ලබාදුන්නා. ඒ නිසා ඕනෑම වෙලාවක විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුකරලා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරනවා නම් අපි ඊට සහයෝගය දෙනවා.
දැනට ඉදිරිපත් කරල තියෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බොහෝ කරුණු තියෙනවා. පක්ෂ නායකයන්ගෙන් අදහස් යෝජනා විමසා තිබෙන නිසාවෙන් මේ සතියේදී අපි අපේ යෝජනා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. කලින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් අපි ඇතුළත් කරලා තිබුණා තේරී පත්වන පක්ෂය අතහැරලා වෙනත් පක්ෂයකට පැනීමේදී මන්ත්‍රීධුරය අහෝසි වන ක්‍රමවේදයක්. එවැනි දේවල් අවසාන මොහොතේ වෙනස් වුණා. මේ සංශෝධනයටත් එවැනි කරුණු ඇතුළත් කළොත් හොඳයි කියලා අපි හිතනවා.
අපි අපේ අදහස් යෝජනා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතැනදී ගැටලුව තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙදී මේක සම්මත කරගන්න පුළුවන් වෙයිද කියන සැකය. මොකද යම් කණ්ඩායමක් ඊට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්.
කෑලි රිංගවන්න ඉඩදෙන්නෙ නෑ
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුව මන්ත්‍රී - පිවිතුරු හෙළ උරුමය
ස්වාධීන පක්ෂ එකමුතුව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිපත්තිමය ලෙස එකඟයි. නමුත් අපි සංශෝධන ගණනාවක් අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළා. එතුමාත් ඒවාට එකඟතාවය පළ කරා. අපි සෙසු පක්ෂ සමඟත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
අපි විශේෂයෙන්ම හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ නැති ව්‍යවස්ථාවට අත්‍යවශ්‍ය අංගයක් වන පනතක් සම්මත වීමෙන් පසු අධිකරණ විවරණයට ලක්කිරීමේ ක්‍රමවේදය. පනත් සම්මත කිරීමේදී බොහෝ කපටි දේශපාලනඥයන් සිදු කරන්නේ අධිකරණය හමුවේ අභියෝගයට ලක්විය හැකි කරුණු මුල් කෙටුම්පතේ සඳහන් නොකිරීමයි.
අදාළ කෙටුම්පත අධිකරණයේ අනුමත වී පැමිණි පසුව ඔවුන් කාරක සභා අවස්ථාවේදී තමන්ට අවශ්‍ය දේවල් මේ තුළට රිංගවනවා. ඒවා නැවත අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ජනතාවට අවස්ථාවක් ඇත්තේම නෑ. ඒ නිසා අපි යෝජනා කළා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරන්න, පනතක් සම්මත වී මාසයක් යනතුරු එහි ව්‍යවස්ථානුකූලභාවය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ජනතාවට අවකාශ තිබිය යුතුයි කියා.
මේ වෙලාවේ ප්‍රශ්නය ව්‍යවස්ථාව නොවේ
සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
21 වැනි සංශෝධනය සම්බන්ධ අදහසක් දැක්වීමට පෙර අපිට තියෙනවා වෙන අදහසක් මේ මොහොත පිළිබඳව. මේ වෙලාවේ ඇත්තටම රටේ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නෙවෙයි. මේ රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. රටේ ජනතාවට තෙල් නෑ ගෑස් නෑ ආහාර හිඟයක් තියෙනවා. බඩු මිල ඉහළ ගිහිල්ලා.
අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කර කර ඉන්න නෙවෙයි. මේ වගේ ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පාර්ලිමේන්තුවේ අද ලංකාවේ සති දෙකක්වත් යනවා. ඒවා කාලයක් අරගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරයි කියලා මේ වෙලාවේ අපිට නැති කිසි දෙයක් ලැබෙන්නේ නෑ.
ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ අර්බුදයක් තියෙන වෙලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රාණ ඇපයට අරගෙන කරන්න ඕනෑ දෙයක් නෙමෙයි. රටට වඩාත්ම සුදුසු මොකක්ද කියන එක තීරණය කරලා කරන්න ඕන දෙයක්. පුද්ගල සාධක බලලා කරන්න ඕන දෙයක් නෙවෙයි. අපේ රටේ මේ තියෙන තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්න විවිධ බලවේග බලන් ඉන්නවා. අමතක කරන්න එපා මේක බෙදුම්වාදී යුද්ධයකට මුහුණ දීපු රටක්.
21 වැනි සංශෝධනය කියලා කියන්න වෙනත් විදියකින් ගෙනැල්ලා තියෙන්නේ 2015දී ගෙනාපු 19 වැනි සංශෝධනම තමා. 2015න් පසුව මේ රට අරාජික වෙලා අන්තවාදය ඉස්මතු වෙලා රට විනාශ වෙලා ගියේ ඔය සංශෝධනය සමග කියලා මතක රටේ හුඟදෙනෙක්ගේ තිබුණා. මේ සංශෝධනය නිසා එදා වෙච්ච විනාශ වූ වග කියලා කෙනෙක් අදටත් නෑ.
චමිදු නිසල්