2022 ජුනි 05 වන ඉරිදා

කරපිංචාවලින් කොලෙස්ටරෝල් බහිනවද?

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 88

දණහිස් වෙව්ලීම රෝගයක්ද?

මම වයස 28ක තරුණියක් වෙමි. සාමාන්‍ය දුරක දිවීමෙන් පසු සහ කන්දක් නැගීමෙන් පසු මාගේ දණහිස් වෙව්ලයි (ගැහෙයි). ඉතා වේගයෙන් වෙව්ලීම සිදුවන නිසා එවැනි අවස්ථාවලදී තරමක අපහසුතාවට පත්වීමට සිදුවේ. විනාඩි කිහිපයක් මේ තත්ත්වය තිබෙන අතර ඉන්පසු නැතිවී යයි. ව්‍යායාම සිදුකරන විටත් දණහිසේ වේදනාවක් ඇතිවෙයි. මෙය රෝගී තත්ත්වයක් දැයි දැනගැනීමට කැමැතියි.

වත්සලා - කළුතර

උපදෙස්:

දණහිසේ වේදනාව ඇතිවෙන්න බොහෝ කරුණු බලපානවා. එහෙත් මෙහිදී ඔබ දණහිස වෙව්ලනවා යන්නෙන් අදහස් කරනුයේ දණහිස වටේ තිබෙන මස් පිඬුවල ශක්තිමත් බව අඩුවීම නිසා ඇතිවන දැනීමක්. එය රෝගයක්ම යැයි කියන්නට බෑ. මෙහිදී පළමුව ඔබේ දණහිසේ යම් රෝගී තත්ත්වයක් ඇත්දැයි පරීක්ෂා කර ගත යුතුය. ඔබ ප්‍රශ්නයේ සඳහන් කර තිබෙන වයසේ හැටියට ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝගය වැළඳීමට ඉඩක් නැත. බොහෝදුරට වෙනත් සන්ධි ආබාධයක් තිබෙනවාදැයි පරීක්ෂා කරවා ගත යුතුයි. වෙහෙසීම නිසා මේ තත්ත්වය ඇතිවෙනවා කියන්නේ දණහිස අවට මස්පිඬු ශක්තිමත් නොවීම නිසා ඇති වී ඇති තත්ත්වයක් වීමට පුළුවන. එහෙයින් දණහිස අවට මස්පිඬු ශක්තිමත් කිරීමට ව්‍යායාම තිබේ. ඔබට පළමුව සුදුසු වන්නේ කායික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමයි. ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් සන්ධි රෝග අංශයට යොමුවී ප්‍රතිකාර ලබාගැනීමට හැකිය.

බර අඩුකරගන්න බිත්තර හොඳද?

මම වයස අවුරුදු 26ක තරුණියක් වෙමි. බර කිලෝග්‍රෑම් 75ක් සහ උස අඩි 5කි. මගේ බර අඩුකර ගැනීමට වුවමනායි. පිෂ්ඨය අඩංගු ආහාර සම්පූර්ණයෙන් නවතා දමා බිත්තර, මස්, මාළු, එළවළු පමණක් ආහාරයට ගැනීමෙන් මට බර අඩු කරගැනීමට හැකිද? දිනකට බිත්තර ගත යුතු ප්‍රමාණයක් තිබෙනවාද? බිත්තර වැඩිපුර ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් සෑදීමේ හැකියාවක් තිබෙනවාද? මගේ බර අඩුකර ගැනීමට කළ හැක්කේ කුමක්ද? වෛද්‍යතුමනි උපදෙස් අවශ්‍යයි. 

ශාලිකා - ගම්පහ

උපදෙස්:

ශරීරයේ බර වැඩිවෙන්න ප්‍රධාන වශයෙන් බලපානුයේ පිෂ්ඨය සහ මේදයයි. එය අඩු කළත් යම් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍යයි. බිත්තර මාළුවල තිබෙන්නේ ප්‍රෝටීනයි. බොහෝ වේලාවට බිත්තර කහ මදය ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් ඉහළ යාමක් වීමට පුළුවන්. බිත්තර සුදු මදය ප්‍රශ්නයක් නෑ. එහි තිබෙන්නේ ප්‍රෝටීන්. ප්‍රෝටීන වැඩියෙන් ආහාරයට ගැනීමෙන් හානියක් වෙන්නේ නෑ. ඊට අමතරව ශරීරයට ආහාරවලින් ලැබෙන කැලරි  දහනය වී ඉවත් නොවුණොත් එය මේදය වශයෙන් තැන්පත් වෙනවා. මහත් වෙන්නේ එවිටයි. ඒ සඳහා ශරීරයට ව්‍යායාම අවශ්‍යයි. ආහාර සහ ව්‍යායාම සමබරව නොවුණොත් බර වැඩිවෙයි. ආහාර නොගෙන ව්‍යායාම නොකර හිටියොත් ඒත් බර වැඩිවෙනවා. වෛද්‍ය විද්‍යාවේ තිබෙන එකම ක්‍රමය ආහාර පාලනය සහ ව්‍යායාමයි. පෝෂණවේදය සම්බන්ධ වෛද්‍යවරයකු මගින් ආහාර පාලනය සඳහා උපදෙස් ලබාගත හැකිය.

පුතාට කතා කරගන්න බැරි එක ප්‍රශ්නයක්

මගේ පුතාට දැන් අවුරුදු 4ක් වෙනවා. ඔහුට වෙනත් සහෝදර සහෝදරියන් නැහැ. ලබන අවුරුද්දේ පෙරපාසලට ඇතුළත් කරන්නයි අපි හිතාගෙන ඉන්නේ. දරුවා සම්බන්ධයෙන් මමත් දරුවාගේ පියාත් මහත් ගැටලුවකට මුහුණ දී ඉන්නවා. මගේ සැමියාගේ රුකියාව හේතුවෙන් ඔහු ගෙදර එන්නේ මාස දෙකකට සැරයක් වගේ. මමත් රුකියාවක් කරනවා. මේ නිසා දරුවා කුඩා කාලයේ සිටම බලාගත්තේ ගෙදර වැඩකරන කෙනායි. මට තිබෙන ගැටලුව තමයි පුතාගේ වයසේ ඉන්න අනිත් දරුවන් වගේ මගේ පුතාට කතා කරන්න බැරි වීම. ඔහු සීමිත වචන කිහිපයක් පමණයි කතා කරන්නේ. තවම පුතා, තාත්තා කියලවත් කියන්නෙ නැහැ. තාත්තා වැඩිය දකින්න ලැබෙන්නෙ නැති නිසා කියලයි අපි මුලින් හිතුවේ. ඒත් දරුවා පෙරපාසල් යැවීමේදී මේ නිසා ඔහුට අපහසුතාවට පත්වෙන්න, කොන්වෙන්න සිදුවෙයි කියා බයයි. පුතා දැනට සෙල්ලම් කරලා නිරෝගීව ඉන්නවා. පුතාට වචන උගන්වන්න උත්සාහ කළත් එය එතරම් සාර්ථක වී නැහැ. මෙයට කළ හැක්කේ කුමක්ද? 

සඳුනි - රාගම

උපදෙස්:

අවුරුදු හතරේදී කතා කරන්න අපහසුයි කියන්නේ දරුවාගේ කථන වර්ධනයේ යම් දුර්වලතාවක් තිබෙනවා. මේ වෙනකල් ප්‍රතිකාර නොගෙන බලා සිටීම යහපත් දෙයක් නොවන බවත් කියන්න කැමැතියි. කුඩා දරුවන්ගේ කථනය වර්ධනය වන්නේ ඇහෙන ශබ්ද අනුවයි. උදාහරණයක් විදිහට කිව්වොත් උපතින්ම කන් ඇහෙන්නේ නැති කෙනකුට කතා කරන්න බෑ. එයට හේතුව මොළයෙන් ශබ්ද හඳුනාගෙන නෑ. මව පියා දවසේ වැඩිකාලයක් දරුවා සමග නොමැති නිසා දරුවාගේ කථනය වර්ධනය වීමක් සිදු වී නැති බව පෙනෙනවා. කථන චිකිත්සාවකට යොමු වීමෙන් ක්‍රමයෙන් මෙම තත්ත්වය නිවැරුදි කරගත හැකිය. මේ සඳහා සුදුසුම දේ පමා නොකර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට දරුවා පෙන්වන්න. එහිදී දරුවාගේ කර්ණ දෝෂයක් ඇත්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ශ්‍රවණ දෝෂයක් නොමැති නම් කථන චිකිත්සාවක් මගින් මෙය ක්‍රමානුකූලව නිවැරුදි කරගත හැකියි. ප්‍රමාද නොකරම මේ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

තෙල් බහින්න කරපිංචා කෑවාම හරිද?

මා 53 හැවිරිදි තිදරු පියෙකි. තරමක් තරබාරු අයෙක්මි. මා හට කොලෙස්ටරෝල් අධිකව ඇත. ප්‍රතිකාරද ලබාගෙන තිබේ. මා හට ඇති ප්‍රශ්නය වනුයේ ශරීරයේ තිබෙන කොලෙස්ටරෝල් දිය කර හරින්න කරපිංචා කෑවාට කමක් නැද්ද? යන්නයි.

අනුර - අම්බලන්ගො

උපදෙස්

කරපිංචාවලින් විශේෂයෙන් කොලෙස්ටරෝල් අඩුවෙනවා කියා මේ තාක් විද්‍යාත්මකව ඔප්පු කර නෑ. අනෙක් කාරණය කොලෙස්ටරෝල් අඩු වනවිට කොයිතරමට අඩුවෙනවාද කියා අපි දන්නේ නැහැ. බොහෝ දෙනා කියනවා කැඳ බිව්වා. කොළ කෑවා. මැල්ලුම් හැදුවා. සම්බෝල හැදුවා කියලා. කරපිංචා ආහාර රසවත් කිරීමට යොදන දෙයක් මිසක් කොලෙස්ටරෝල් අඩුකරනවා කියලා නැහැ. ඖෂධවලින් ඉතා පහසුවෙන් අතුරු ආබාධවලින් තොරව ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කළ හැකියි. 

ඇඟ හැදෙන්න සප්ලිමන්ට් ගන්න හොඳද?

මා 30 හැවිරිදි තරුණයෙකි. ශරීර සුවතාව පවත්වාගෙන යාමට මම ටික දිනක පටන් කායවර්ධන මධ්‍යස්ථානයකට යමි. මගේ මස්පිඬු වර්ධනය සඳහා එතැනින් මා හට ආහාර අතිරේකයක් වන සප්ලිමන්ට් ලබාගැනීමට නියම කළ අතර මා හට දැනගැනීමට අවශ්‍ය වන්නේ එවැනි ආහාර අතිරේක මගින් ශරීරයට හානියක් වෙනවාද? පසුකාලීනව හෝ අතුරු ආබාධ තිබෙනවාද යන්නයි. වෛද්‍යතුමනි, පහදා දෙන්න. 

අකිල - කුරුණෑගල

උපදෙස්:

මේ සම්බන්ධයෙන් වෙළෙඳපොළ මාෆියා තත්ත්වයක් වර්තමානයේ දකින්නට තිබෙන නිසා නිර්දේශ ප්‍රමිතිය නොමැති සමහර සප්ලිමන්ට් වර්ගද තිබෙන්නට පුළුවන්. එහෙයින් ව්‍යාජ සප්ලිමන්ට් භාවිත නොකරන්න. නිසි ප්‍රමිතිය තහවුරු කළ ආහාර අතිරේක තිබෙනවා නම් ලබාගැනීම ගැටලුවක් නෑ. මස්පිඬු වර්ධනයට අවශ්‍ය වන්නේ හොඳ පෝෂ්‍යදායී ආහාරයි. ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවල පුරුෂ හෝර්මෝන ලබාදෙන අතර ඒවා ගැනීම ශරීරයට කිසිසේත් සුදුසු නැත. අතුරු ආබාධ ඉහළය. එම හෝර්මෝන භාවිතයෙන් පසුකාලීනව අක්මාවේ පිළිකා හටගැනීමේ අවදානමක් තිබේ.

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.
සංස්කාරක
විශේෂඥ වෛද්‍ය හමුව 
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

 

 සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05