2022 ජුනි 05 වන ඉරිදා

දුව සහ පුතාගේ ඇපයෙන් එළියට ආ ශෂී

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 48

පසුගිය සතියට පෙර සතියේ බොහෝ දෙනා ගැස්සී ගිය පුවතක් වාර්තා විය. ඒ සති අන්තයේ ශෂී වීරවංශ අවුරුදු දෙකකට බන්ධනාගාරගත කිරීම හරහාය. විමල් වීරවංශ මහතාගේ බිරිඳ වීම නිසාත් ඇය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ කතා බස් ඇසීම නිසාත්, ඔවුන් ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙස සිටි නිසාත් ශෂී වීරවංශ වසර දෙකක් සඳහා සිරගත වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි දෙයක් විය. එහෙත් එය සිදුවුණේය.

ශෂී වීරවංශ මහත්මිය මෙලෙස බන්ධනාගාරගත වූ හේතුව සැමදෙනාම දනිති. ඒ වෙන කිසිවක් නිසා නොව ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කිරීමය. මෙම නඩු තීන්දුව ලබා දුන්නේ පුරෝගාමී විනිසුරු (ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්)  බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදීය. ශෂී වීරවංශ මහත්මියට සිරදඬුවමට අමතරව තවත් ලක්ෂයක දඩයක්ද නියම විය. එම ලක්ෂය නොගෙවන්නේ නම් සිරදඬුවම තවත් මාස හයකට මහේස්ත්‍රාත්වරයා විසින් දීර්ඝ කළේය.

මෙම පැමිණිල්ල 2015 වසරේ ජනවාරි 23දා රහස් පොලීසියට ඉදිරිපත් කර තිබුණේ තලංගම, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි චමින්ද පෙරේරා නමැති අයෙකි. එනම් 2010 සැප්තැම්බර් 13 සිට 2015 පෙබරවාරි 26 අතර කාලය තුළ ඩී 3642817 දරන ව්‍යාජ ගුවන් බලපත්‍රයක් ලබාගෙන තිබුණු බවට චෝදනා කර තිබුණි. එසේ අවිධිමත් ගමන් බලපත්‍රයක් තබාගනිමින් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන සංශෝධිත පනත්වලින් සහ 1948 අංක 42 සහ 2006 අංක 31 දරන සංශෝධිත පනත්වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විශ්‍රාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට චෝදනා කරමින් රහස් පොලීසිය විසින් චෝදනා ගොනුකර තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාත් විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාත් ඉදිරිපත් වී සිටියහ. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා සඳහන් කර සිටියේ මෙය සුවිශේෂී සිද්ධියක් බවත් විත්තකාරිය රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය සකසා ඇත්තේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් සැකසූ ජාතික හැඳුනුම්පතක් මාර්ගයෙන් බවත්ය. ප්‍රබල පනතක් වුවත් විත්තිකාරිය ඒ සියල්ල අභිබවමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෙම හැඳුම්පත සකසා ඇති බව දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය. එපමණක් නොව විත්තිකාරිය තම දරුවන්ගේ උප්පැන්න සහතිකද සංශෝධනය කර ඇති බවත් තම ස්වාමියාගේ නිල බලය භාවිත කර එය එක් දිනකින් නිමකර ඇති බවත් ඔහු කීවේය. ඒ නිසා හැමදෙනාටම ආදර්ශයක් වන්නට විත්තිකාරියට සුදුසු දඬුවමක් දෙන ලෙස දිලීප පීරිස් මහතා සඳහන් කළේය. එහිදී විත්තිකාරියගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ ඇයට අත්හිටවූ සිරඳඩුවම් ලබා දෙන ලෙසය.

එහෙත් පුරෝගාමී විනිසුරුවරයා වසර තුනක සිරඳඩුවමකුත්, රුපියල් ලක්ෂයක දඩයකුත් නියම කළේය. එසේම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කීවේ රාජ්‍ය නිලධාරීන් මෙහිදී අයුතු ලෙස කටයුතු කර ඇති බවය. ඒ අනුව මේ නඩුවේ තීන්දුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයටත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටත් යොමුකරන ලෙස දැනුම් දුන්නේය.

නඩුව අවසාන වීමෙන් පසුව විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් අභියාචනා දැන්වීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඉදිරියේ එදිනම (27) ගොනු කළේය. පසුව එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නඩුව 30 වැනිදා කැඳවීමට තීරණය කළේය. ඒ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාය. එහිදී විත්තිකාරියගේ නීතිඥවරුන් විසින් ඉල්ලා සිටියේ එතෙක් ඇයව අභියාචන සිරකරුවකු ලෙස නම් කරන ලෙසය. ඊට මහේස්ත්‍රාත් එකඟ විය.

මෙම අවස්ථාව සඳහා විමල් වීරවංශ මහතා සහ ඔවුන් දෙදෙනාගේ දරු දෙදෙනා පවා නඩුව බැලීමට පැමිණ සිටියහ. පසුව නඩුව සඳුදා දිනයේදී කැඳවීය. ඒ ඇප ලබාගැනීම සඳහාය. එහෙත් එදින මහේස්ත්‍රාත්වරයා පැමිණ සිටියේ නැත. නඩුව ඊට පසු දිනට කල් තැබිණි.

එදින නඩුව කැඳවූ අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මියට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය. ඇය වෙනුවෙන් ඇප අත්සන් කරනු ලැබුවේ ඇගේ දරුවන් දෙදෙනා විසින් වීමද විශේෂයකි. කෙසේ වෙතත් මේ වනවිට ඇය ඇප මත එළියේ සිටින අතර අභියාචනයෙන් පසුව කුමක් සිදුවේද යන්න අපි නොදනිමු.

 ගයාන් ගාල්ලගේ