2022 ජුනි 05 වන ඉරිදා

බයිසිකලේට නැග්ග ආචාර්ය මහාචාර්යවරු

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 254

මෑතක් වන තුරුම අපේ රටේ දෛනික ප්‍රවාහන අවශ්‍යතාව සඳහා බයිසිකල් පදින්නෝ සිටියේ කලාතුරකිනි. එසේ සිටියේ ද වැඩිහිටියෝ කිහිප දෙනෙක් පමණි. ඔවුන් බයිසිකලයට හුරු වී සිටියේ ද නැති බැරිකමට හෝ පුරුද්දටය. එහෙත් මෑතක සිට බයිසිකල් පැදීම ඉහළ පැලැන්තිය අතර ද රුල්ලක් බවට පත්වීම ආරම්භ වී තිබෙන්නේ ඉන්ධන අර්බුදයට විසඳුමක් හැටියටය. වෛද්‍යවරුන්, නීතිඥවරුන් පමණක් නොව ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ද තම සේවා ස්ථාන වෙත බයිසිකල්වලින් පැමිණීම පිළිබඳ පුවත් විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. 

එදිනෙදා ගමනාගමනය සඳහා පාපැදි භාවිත කිරීම ඉතා හොඳ පුරුද්දකි. රථවාහන වෙනුවට පාපැදි භාවිත කිරීම සෞඛ්‍ය හා ආර්ථිකයට පමණක් නොව පරිසරයට ද හොඳය. ලොව දියුණුම රටවල් ලෙස සැලකෙන ඩෙන්මාර්කය, නෙදර්ලන්තය වැනි රටවල් ද ප්‍රවාහනය සඳහා බහුලව භාවිත කරන්නේ පාපැදිය. ඇම්ස්ටර්ඩෑම්, හේග් වැනි එම රටවල ප්‍රධාන නගරවල බහුලව පාපැදි දැකිය හැකි වුවත් අප රටේ ප්‍රධාන නගර පිරී තිබෙන්නේ රථවාහනවලිනි. නමුත් මෙරටට පැමිණෙන සංචාරකයෝ නම් පාපැදි ධාවනයට බොහෝ සෙයින් ප්‍රිය කරති. ඒ ඔවුහු පාපැදි භාවිතයේ තිබෙන අගය හොඳින්ම දන්නා බැවිනි.

විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයන සීමාවීම නිසා පසුගිය සති කිහිපයේම තෙල් හිඟයක් පැවතිණි. ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබාගැනීමට පැය ගණනාවක් පෝලිම්වල සිටීමට සිදුවිය. පෝලිම්වල සිටීමෙන් කාලය නාස්ති වන බොහෝ දෙනෙක් විකල්ප ප්‍රවාහනයට යොමුවීමට අවධානය යොමු කළහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෝටර් රථය වෙනුවට පාපැදියෙන් විශ්වවිද්‍යාලයට යාමට තීරණය කළේ ඉන්ධන හල් අසල ඇගේ වටිනා කාලය අපතේ යාම වළක්වා ගැනීමටය. දිනකට සැතපුම් පහක පමණ දුරක් පාපැදියෙන් ගමන් කරන බව මහචාර්යවරිය දේශයට පැවසුවාය. “මම බයිසිකල් භාවිතයට යොමුවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. මට පර්‌ෙය්ෂකයෙක් විදිහට ළමයි එක්ක ගොඩක් කාලය ගත කරන්න අවශ්‍ය වෙනවා. ඒත් පසුගිය දවස්වල ළමයින්ට වෙන් කළ යුතු වෙලාව මට ගත කරන්න වුණා පෝලිම්වල. දවස් කිහිපයක්ම පැය හත අට පෝලිම්වල ඉන්න සිද්ධ වුණා. මේ විදිහට කාලය නාස්ති වෙන හින්දා වෙන විකල්පයකට යන්න මම හිතුවා.”

වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්යවරිය මෙසේ පැවසුවාය. “ත්‍රීවීලර් භාවිත කරන සහෝදරවරු එදිනෙදා ජීවිකාව හොයාගන්නේ ත්‍රීවිලර් පදින එකෙන්. ඒගොල්ලන්ට තියෙන පෙට්‍රල් ටික මම මගේ, තව තුන් දෙනකුට යන්න පුළුවන් වාහනයේ තනියෙන් යන්න යොදාගන්න එක, එදිනෙදා ජීවිකාව ගෙනියන්න තෙල් අත්‍යවශ්‍ය අය ඉද්දි මම තනි පාවිච්චි කරන එක හොඳ නෑ කියලා හිතුණා. ඒ වගේම මේ වෙලාවේ අපි පුළුවන් තරම් උත්සාහ  කරන්න ඕන රටක් විදිහට අපේ රටෙන් එළියට යන ඩොලර් ටික පුළුවන් තරම් අඩු කරගන්න. ඉතින් මම මගේ බයිසිකලෙන් වැඩට යන එකෙන් ඉතිරිවන පෙට්‍රල් ටිකෙන් ඩොලර් වියදම අඩුකරගන්න පුළුවන්. මේ වගේ අපි හැමෝම හිතුවොත් අපිට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්.”

ප්‍රවාහනය දෛනික අවශ්‍යතාවකි. නමුත් ආහාර, ඖෂධ අත්‍යවශ්‍ය දේවල්ය. දෛනිකව ලැබෙන සීමිත විදේශ සංචිතවලින් වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වියදම් කරන බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සීමාව අඛණ්ඩව තිබෙනු ඇත. එබැවින් ඉන්ධන පරිභෝජනය අවම කර ගැනීමට පාපැදිය හොඳම විකල්පය බවට සැකයක් නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත මහතා ද විශ්වවිද්‍යාලයට යාමට පාපැදිය භාවිත කරයි. පාපැදි භාවිතය ධාවකයන්ගේ කායික හා මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට රුකුලක් වන බව ආචාර්ය ගයන්ත මහතා පෙන්වා දුන්නේය. දේශය සමඟ අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවන් අදහසකි.

“විවිධ වෘත්තීන්වල ඉන්න අයට කාලය වැදගත්. ඒ අය පෝලිම්වල පැය හය හත ඉන්න එක අපරාධයක්. බයිසිකල් පාවිච්චි කරනකොට පෝලිම්වල ඉන්න කාලය ඉතුරු වෙනවා. කිලෝමීටර හය හතක දුර බයිසිකලෙන් පැය භාගයක් වගේ අඩු කාලයක් තුළ යන්න පුළුවන්. ඒ වගේම ඉස්සර තෙල් ගහන්න ගිය ගාණ වගේ තුන් ගුණයක් විතර දැන් තෙල්වලට වියදම් වෙනවා. ඒ නිසා බයිසිකලය ආර්ථිකය පැත්තෙනුත් ධාවකයන්ට ඉතුරුවක්. අනිත් කාරණය මිනිස්සු ව්‍යායාම් කරනවා අඩුයි. සමහරවිට කාය වර්ධන මධ්‍යස්ථානයට ගියාට පස්සේ කම්මැලි හිතෙනවා. ඒ අය බයිසිකලයේ ගමනක් ගියොත් නැවත අනිවාර්යයෙන්ම බයිසිකලෙන්ම එන්න සිදු වෙනවා කම්මැලි නොබලා. ඒ වගේ අයට හොද කායික ප්‍රතිලාභ ලැබෙනවා බයිසිකලෙන් වැඩට යද්දි. මානසික ප්‍රතිලාභත් ලැබෙනවා. පරිසරයේ වාතාශ්‍රයට නිරාවරණය වෙලා යනකොට අාතතිය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි පාරේ තදබදය අඩුවෙනවා ලොකු වාහන වෙනුවට බයිසිකලෙන් වැඩට යද්දි. යාපනය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු පවා බයිසිකලෙන් තමයි එන්නේ. දියුණු රටවලත් ගොඩක් බයිසිකල් පාවිචිච් කරනවා.”

වයස අවුරුදු 40 ඉක්මවන බොහෝ දෙනකු කිසියම් හෝ බෝ නොවන රෝගයකට සායන වෙත යොමුවීමේ, ප්‍රතිකාර ලැබීමේ අවාසනාවන්ත තත්ත්වයක් මෙරට දැකගත හැකිය. තරබාරු බව, දියවැඩියාව, හෘදයාබාධ ආදිය සුලබ රෝග බවට පත්ව ඇත. මෙම රෝග සඳහා වැඩි වශයෙන් බලපාන්නේ ප්‍රමාණවත් ව්‍යායාම් නොකිරීමය. මෙවැනි පිරිස් සඳහා බයිසිකල් පැදීම පහසු මෙන්ම බෙහෙවින් සුවදායී ව්‍යායාමයකි. වෛද්‍යවරුන් වරින් වර බයිසිකල් ධාවනය දිරිගැන්වීමට උත්සාහ කළේ ද බයිසිකල් ධාවනය නිසා ලැබෙන සෞඛ්‍ය වාසි සැලකිල්ලට ගනිමිනි. කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ‘සුව දිවියකට පාපැදියෙන් වැඩට යමු’ යන තේමාවෙන් මාතර සිට කඹුරුපිටිය රෝහල වෙත පාපැදියෙන් පැමිණීමේ වැඩසටහන් දෙකක් ද ඉකුත් වර්ෂවල සිදු කළහ. නමුත් එවැනි යහපත් පුරුදු වෙත මහජන අවධානය යොමු වූයේ නැත. කෙසේ නමුත් වර්තමානයේ ආර්ථික හේතු මත බයිසිකලයට පරිවර්තනය වීමේ අවස්ථාව එළඹ තිබීම වාසනාවකි.

වසර 03ක් වැනි ආසන්න කාලයක් තුළ රුපියල් 117ට තිබූ පෙට්‍රල් මිල රුපියල් 420 දක්වා ඉහළ ගොස් ඇත. ත්‍රීරෝද රථයක රුපියල් 50ක ආරම්භක ගාස්තුව රුපියල් 100 වී ඇත. රුපියල් 09ක අවම බස් ගාස්තුව රුපියල් 32ට පැමිණ ඇත. පොදු ප්‍රවාහනයේ වියදම පවා දිනෙන් දින ඉහළ යන බැවින් හොඳම විසඳුම බයිසිකලයයි. මීට සති කිහිපයකට පෙර ඇඹිලිපිටිය අධිකරණ සංකීර්ණයට සිය රාජකාරිය සඳහා නීතිඥවරයකු පාපැදියෙන් පැමිණීම මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදි නීතිඥ විජිත පුංචිහේවා මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “නීතිඥ ගාස්තු වැඩි කරන්න බැරි නිසා තමයි මම බයිසිකලයෙන් ආවේ. මම කාර් එකෙන් ආවොත් නීතිඥ ගාස්තු වැඩි කරන්න වෙනවා. මිනිස්සුන්ගේ තියෙන දුක අපි දන්නවා.”

රථවාහන තදබදය ද නාගරිකව දක්නට ලැබෙන පොදු ගැටලුවකි. සීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහණයත් සමඟ ඉදිරි අනාගතයේ වාහන සංඛ්‍යාව ද තවත් ඉහළ යාමක් මිස අඩුවක් නොවනු ඇත. එබැවින් දැන් සිටම නාගරික ප්‍රදේශ තුළ විකල්ප ප්‍රවාහන මාධ්‍ය දිරිගැන්වීම සිදු නොකළේ නම් මිනිස් ශ්‍රමය අපතේ යාම ආදී බරපතළ ගැටලු ඇතිවීම වැළැක්විය නොහැකිය. 

කාලයක් මුළුල්ලේ මෙරට නෙදර්ලන්ත තානාපතිනිය Joanne Doorneward කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට බයිසිකල් ධාවනය ප්‍රවර්ධනය කරමින් සිටියි. කොළඹ මහනගර සභාව හා එක්ව CarFreeCMB යනුවෙන් ව්‍යාපෘතියක් ද නෙදර්ලන්ත තානාපති කාර්යාලය 2019 වර්ෂයේ ආරම්භ කළේ වාහන තදබදය අවම කරමින් පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමටය. නමුත් එම වැඩසටහන ද සාර්ථක නොවීය. නෙදර්ලන්තය ප්‍රධාන නගරවල පාපැදි සංඛ්‍යාව එම නගරවල ජනගහණයට සමානය. එරට දේශපාලකයන්ගෙන් 70෴ ක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ද පාපැදිවලිනි. රුකියා ස්ථානයට යන ගැහැනු, පිරිමි පමණක් නොව පාසල් සිසුහු ද පාපැදිවලින් ගමන් කරති. 

බයිසිකල් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය මගින් ද විවිධ ක්‍රියාමාර්ග ගත හැකිය. බයිසිකල් සඳහා මංතීරු වෙන්කිරීම, බයිසිකල් නවාතැන් සකස් කිරීම, සේවා ස්ථානවල නාන කාමර පහසුකම් දියුණු කිරීම, බයිසිකල් භාවිතා කරමින් සේවා ස්ථානයට පැමිණෙන රාජ්‍ය සේවකයන්ට දිරි දීමනා දීම එයින් කිහිපයකි. එමෙන්ම අද වන විට බයිසිකලයක් මිල දී ගැනීමට අපේක්ෂා කරන්නකුට වුවද බයිසිකලයක් මිල දී ගත නොහැකි තරම් මිල ඉහළ ගොස් තිබෙන්නේ බයිසිකල් එකලස් කිරීම සඳහා ආනයනය කරන භාණ්ඩ සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සලකා 55෴ ක බද්දක් අය කිරීම හේතුවෙන් යැයි පාපැදි නිපදවන්නන්ගේ සංගමයේ ලේකම් රිස්නි ඉස්මත් පවසයි. පාපැදි ප්‍රවර්ධනය කිරීම ඩොලර් ඉතිරි කිරීමේ දිගුකාලීන ක්‍රියාමාර්ගයක් බැවින් බදු ඉවත් කිරීම ද සුදුසුය.

■  සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05