''අන්තිම සීට් එක ඔයාට හම්බවුණු එකනම් හොඳයි. කාටවත් පේන්නෙත් නෑ.... බය වෙන්න එපා. මම පුළුවන් වෙලාවට ළඟට එන්නම්. ටික ටික ලියන්න කියලා දෙන්නම්කෝ... කාටවත් කියන්න එපා...''
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසය විෂයයට නාච්චදූව පාසලක විභාග ශාලාවේ විභාග අපේක්ෂිකාවට එසේ පවසා තිබුණේ නිරීක්ෂකවරයකු විසිනි. විභාගයට උපකාර කරන බව පවසමින් තමා අසල ගැවසුණු නිරීක්ෂකවරයා ලිංගික අතවර කරනු ඇතැයි ඇය මෙහොතකට හෝ සිතුවේ නැත. නමුත් සිදුව තිබුණේ එවැනිම අවැඩකි.
හිදෝගම පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාමයක ඇය පදිංචිව සිටියාය. ප්‍රදේශයේම පාසලක උසස් පෙළ හදාරමින් සිටින දැරිය පෙර වසරක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දැරියකි. එහිදී ඇයට සෑම විෂයයක්ම සමත්වීමට අවස්ථාව ලැබී නැත. එබැවින් උසස් පෙළ අධ්‍යාපනය ලබන අතරතුර අසමත් විෂයයන් සඳහා නැවත පෙනී සිටීමට දැරිය තීරණය කොට තිබුණි. ඒ අනුව ඉතිහාසය විෂයය සඳහා දැරිය ඉදිරිපත්ව තිබුණේ ඉකුත් 25 වැනිදාය.
හිදෝගම කළුවිල සේන මහා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ එක් ශාලා පැවතියේ වෙන්කළ කාමර වශයෙනි. එවැනි පන්ති කාමරයක පසුපස අසුනක් මේ දැරියට ලැබී තිබුණි. දැරිය විභාගය සඳහා සූදානමින් එහි අසුන් ගත්තාය. ටික වෙලාවකින් විභාග ශාලාව හරහා ගිය නිරීක්ෂකවරයෙකි. ඔහු මොහොතක් නැවතී දැරිය දෙස බලා සිට ගොස් තිබුණි. වරක් නොව දෙතුන් වතාවක්ම නිරීක්ෂකවරයා දැරිය දෙස බලමින් යන බව ඇයට වැටහී තිබුණි. ඒ අතර මොහොතක ප්‍රශ්න පත්‍රය ලබාදීමෙන් අනතුරුව ''අන්තිම සීට් එක ඔයාට ලැබුණු එක නම් හොඳයි. කාටවත් පේන්නෙත් නෑ... බයවෙන්න එපා. මම පුළුවන් වෙලාවට ළඟට එන්නම්. ටික ටික ලියන්න කියලා දෙන්නම්කෝ... කාටවත් කියන්න එපා...'' යැයි එම නිරීක්ෂකවරයා දැරියගේ කනට කොඳුරා කියා තිබිණ. ඒ මොහොතේ දැරියගේ කම්මුල සිපගන්නට නිරීක්ෂකවරයා අමතක කොට තිබුණේ නැත. මේ අතර තවත් වෙලාවකදී දැරියගේ පපු පෙදෙස අතගාන්නට මෙම විභාග නිරීක්ෂකවරයා ක්‍රියාකර ඇත. එහිදී බියට පත් දැරිය රාජකාරියේ නිරතව සිටි වෙනත් විභාග නිරීක්ෂකවරයාට පවසා තිබුණේ වැසිකිළියට යාමට අවශ්‍ය බවය.
ඒ සඳහා අවස්ථාව සලසා ගත් දැරිය වහාම අසුනෙන් නැගිට ගොස් ඇයට සිදුවූ අකටයුත්ත සම්බන්ධයෙන් රාජකාරියේ සිටි සහායක නිලධාරිනියක හට පවසා ඇත. එය ඇසූ විභාග ශාලාවේ සහායකවරිය එම කරුණු පිළිබඳව විභාග ශාලාවේ ශාලාධිපතිවරයා දැනුම්වත් කර ඇත. එම අවස්ථාවේ කඩිනම් පියවරක් වශයෙන් අදාළ විභාග නිරීක්ෂකවරයා වෙනත් ස්ථානයක රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කර තිබුණි. අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දැනුම්වත් කිරීමට ශාලාධිපතිවරයා කටයුතු කර තිබිණි.
මෙසේ දැරියට සිදුකළ ලිංගික අතවරය සම්බන්ධයෙන් ඇය නිසි ලෙස ක්‍රියාත්මක වී කටයුතු කිරීම ආදර්ශයකි. එම සිදුවීමෙන් පසුදා ඉකුත් 26 වැනිදා දැරිය සිය මව සමඟ හිදෝගම පොලිසිය වෙත පැමිණ තිබුණේ දැරියට පෙර දිනයේ වූ අකටයුත්ත පිළිබඳව කරුණු මවට පැවසීම හේතුවෙනි. ඊට ඇවැසි නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පොලීසියට පැමිණි දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොමු කළාය. එහිදී විමර්ශන ඇරඹූ හිදෝගම පොලිසියේ නිලධාරීහු දැරියගෙන් කටඋත්තරයක් ලබාගෙන පසුව සැකකාර විභාග නිරීක්ෂක ගුරුවරයා අත්අඩංගුවට ගත්හ. පසුව විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපති මගින් ඉහළට තොරතුරු දන්වා සැකකරුගේ රාජකාරි කටයුතු තහනම් කොට තිබුණි. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබූ අතර ඒ සඳහා අවශ්‍ය පොලිස් විමර්ශන වාර්තාව ලබාදීමට හිදෝගම පොලීසිය කඩිනමින් පියවර ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ විභාග නිරීක්ෂකවරයා නාච්චදූව නව නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පැමිණිල්ලට අදාළ සිදුවීම යට ගැසීම සඳහා මුදල් ලබාදී හෝ කටයුතු කිරීමට විභාග නිරීක්ෂකවරයාගේ පාර්ශ්වයෙන් කටයුතු කර තිබිණ. අත්අඩංගුවට පත් සැකකරු පසුගිය 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
හිදෝගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කොස්තා මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක විජයකෝන් හා අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත යන අය විමර්ශන සිදුකළහ.
සමන්ත ප්‍රදීප් විල්තෙර