කොන්දේසි විරහිතව ශෝධනය කොට නැවත ස්ථාපිත කළයුතු අරාජිකත්වයක් කරා අප රාජ්‍යය ගමන් කරමින් සිටියි. ඊට පූර්වයේ විසි එක්වැනි සංශෝධනය නම් පැලැස්තර විසඳුම කරළියට පැමිණ ඇත්තේ එබැවිනි. ඒ හරහා යම් බලාපොරොත්තුවක් බොහෝ දෙනකු තුළ ඇතිව ඇති සෙයකි. මේ මොහොතේ සියල්ලටම වඩා වටින්නේ බලාපොරොත්තුය. මන්ද බලාපොරොත්තු විසින් අප හික්මවා ඉවසන්න කියා දෙයි. එමනිසාම කවරක් වෙතත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බලාපොරොත්තුව රටට වටී. අපි ඒ බලාපොරොත්තු පිළිබඳ කතා කරමු.
එළඹෙන සඳුදා රුස්වෙන කැබිනට් මණ්ඩලය විසින් නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය. ඒ සම්බන්ධව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ වනවිටත් තහවුරු කොට තිබේ. විවිධ පාර්ශ්ව විසින් 21 වැනි සංශෝධන සම්බන්ධ ලබාදුන් යෝජනා පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වනු ඇත. මෙම සාකච්ඡාව අවසානයේ ආණ්ඩුව විසින් මෙම කෙටුම්පත පාර්ලිමේන්තු වෙත ගෙන ආ යුතුය. ඉතිරි දේශපාලන වැඩකටයුතු ආරම්භ වන්නේ එවිටය.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 27 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. මෙම රුස්වීමේ අරමුණ වූයේ සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ට සිය නිරීක්ෂණ හා යොජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි. වාර්තා වූ පරිදි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට එහිදී පක්ෂ නායකයන් පොදු එකඟතාවකට පැමිණ තිබේ. මෙම රුස්වීමට ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු දේශපාලන පක්ෂ රුසක නියෝජිතයන් සහභාගි වූ බව වාර්තා වුණි.
ඒ අනුව මේ වනවිට සංශෝධනය සම්බන්ධ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති අදහස් සහ යෝජනා අප විමසිය යුතුය. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගය ඉකුත්දා සංශෝධන සම්බන්ධ යෝජනා පහක් ඉදිරිපත් කළේය.
• ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තබාගත නොහැකි බවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවැති ප්‍රතිපාදන ඒ ආකාරයෙන්ම ඇතුළත් කිරීම.
• මහබැංකුවේ අධිපතිවරයාට අමතරව මූල්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ද ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පත් විය යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කිරීම.
• රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ඇගයීම සහ ප්‍රමුඛතාවය නිර්දේශ කිරීම සඳහා ජාතික ප්‍රමුඛතා හා ඇගයීම් කොමිෂන් සභාවක් ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස පිහිටු වීමටත්, එහි සාමාජිකයන් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පත් කිරීම.
• ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරයන් ඇතුළු ජනරජයේ නිලතල හොබවන සියලුදෙනා වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම සඳහා සහ එම වගකීම පැහැර හැරියහොත් හෝ අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළහොත් හෝ දැඩි දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය වන නීති රාමුවක් සැකසීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ඇතුළත් කිරීම.
• ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරයන් ඇතුළු ජනරජයේ නිලතල හොබවන සියලුදෙනා වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම සඳහා සහ එම වගකීම පැහැර හැරියහොත් හෝ අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළහොත් හෝ දැඩි දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය වන නීති රාමුවක් සැකසීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ඇතුළත් කිරීම.
• සොරාගත් දේපළ නැවත රජය සතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනරජය පාර්ශ්වයක් වන ජාත්‍යන්තර සම්මුතීන් අපරානුමත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීම.
සමගි ජන බලවේගය මෙලෙස යෝජනා ඉදිරිපත් කරන විට පැවති ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පාර්ශ්වය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද 21ක පිළිබඳ අදහස් දක්වා තිබිණි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කෙටුම්පත සඳහා තමා සහ තම පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ අනුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, යෝජිත කෙටුම්පතෙහි සඳහන් සියලුම සංශෝධනවලට සිය පක්ෂය එකඟතාව පළ කරන බවයි. කෙසේවෙතත් නව සංශෝධනයට ඇතුළත් කළ යුතු තවත් යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
ඒ අතර මහජන අරගලයේ තීරණාත්මක භූමිකාවක් නිරෑපණය කරන ජනතා විමුක්ති පෙරමුණද 21ක සම්බන්ධ ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කර සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට පක්ෂ මාරු කිරීමේ හැකියාව අහිමි කිරීම. ජනාධිපතිවරයාට සිරකරුවන්ට සමාව දීමේ බලතල යම් සීමාවකට යටත් කිරීම. රජයේ වැදගත් තනතුරවලට ද්විත්ව පුරවැසියන් පත්කිරීම සඳහා බාධා ඇති කිරීම. නව ජනවරමක් සඳහා වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සීමා කිරීම. ආදී වූ යෝජනා රුසක් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරිණි.
තවදුරටත් ආණ්ඩුවේ ප්‍රධන දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ 21 වැනි සංශෝධනය පිළිබඳ වූයේ පරස්පර අදහස්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන මන්ත්‍රී කණ්ඩායම වෙනම ගෙන්වා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කළේ එබැවිනි. දේශපාලන ආරංචි මාර්ග අනුව 21 කට සහාය දක්වන්නන් 21 සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්නන් මෙන්ම 21කට විරෝධය දක්වන්නන් මෙම පිරිස අතර සිටිති. කෙසේවෙතත් මෙහිදී සංශෝධනය සම්බන්ධ මන්ත්‍රී ගැටලු විසඳීමට පාර්ලිමේන්තු වැඩමුළුවක් පැවත්වීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කළේය. එය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුණි.
මේ ආදී විවිධ යෝජනා ඉදිපත්වන පසුබිමක දැනට ඉදිරිපත් වී තිබෙන මූලික කෙටුම්පත පිළිබඳ සරල අවබෝධයක් ලබාගැනීම වැදගත්ය. සමස්තයක් ලෙස මේ හරහා ඉටුවන කාර්යයන් පහකි.
• විධායක ජනාධිපති බලතල සීමා කිරීම.
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම.
• ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම.
• ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීම.
• රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබාදීම.
මේ ආදී සියලු කරුණු අවසානයේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අනාගතය පිළිබඳ යම් සාධනීය බලාපොරොත්තුවක් ඇතිවේ. කෙසේ වෙතත් මෙම සංශෝධනය ඔස්ෙස් විසඳාගත හැකිවන්නේ වර්තමාන දේශපාලන අර්බුදය පමණක් බව සඳහන් කළ යුතුය. ආර්ථික අර්බුදයට විසඳුම් බලාගැනීම තවදුරටත් ඇත්තේ අභියෝගාත්මක තැනකය.
චමිඳු නිසල් ද සිල්වා