දේශපාලකයා යනු මහජන නියෝජිතයෙකි. එම නිසාම නියෝජිතයාට මහජනයාගේ වගකීමෙන් මිදීමට නොහැක. එසේම මහජනයාට සිය නියෝජිතයා පිළිබඳ වගකීමෙන් මිදීමට නොහැක. මහජනයා අතරින් පිරිසක් විනාශ කර දැමූ දේශපාලකයකුගේ නිවෙසක් මහජනයා අතරින් තව පිරිසක් එක්වී නැවත ගොඩ නගන්නේ එබැවිනි.
ගාලුමුවදොර පිටියේ සාමකාමී විරෝධතා භූමියට මැයි 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී වූ පිරිස් දේශපාලනඥයන්ගේ සහ ආධාරකරුවන්ගේ නිවාස සියයකට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර දැමූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටි හුණුපිටියේ පිහිටි නිවෙසද සම්පූර්ණයෙන්ම ගිනිබත් වූ එවන් එකකි. සෙසු නිවාස සේම එම නිවෙස ද දැන් ඉදිවෙමින් තිබේ. එහෙත් එහි සුවිශේෂී බව නම් මෙම නිවෙස ඉදිකිරීම සඳහා මන්ත්‍රීවරයාට හිතෛෂී ප්‍රදේශවාසීන් මූලිකත්වය ගෙන තිබීමයි.
තරමක මවිතයක් දනවන මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු. මෙම නිවස යළි ගොඩනැගීමේ කටයුතු මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ප්‍රදේශවාසීන් රුසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූයේ ඉකුත් මැයි මස 29 වැනිදාය. මෙම ඉදිකිරීම සඳහා මූල්‍ය හා ශ්‍රම දායකත්වය ලබාදීමට මෙන්ම අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටියහ. ඒ අනුව මේ වන විටත් නිවස ඉදිවෙමින් පවතී.
මෙම නිවෙසට සිදු වූ දේ සම්බන්ධව පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගෙන් විමසා සිටියෙමු.
“මේ සිදුවීම සම්බන්ධව මට තියෙන්නෙ වික්ෂිප්තභාවක්. දේශපාලනයේ දී මතයක් දැරීමට සහ ඒ මතවලට විරුද්ධ වීමට අයිතියක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ගෙවල් ගිනි තියලා මිනිස්සු මරලා විරෝධතා දක්වන ක්‍රමය ඉතිහාසයේ ඉඳන් ප්‍රතික්ෂේප වුණා. වර්තමානයෙත් ප්‍රතික්ෂේප කරනවා. මගේ නිවෙස ගිනි තැබුවා. මටත් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ පොතපත හැමදේම නැති වුණා. මේ විනාශය කළ අය සම්බන්ධව මට වෛරයක් නෑ. ඔවුන් ඒ කළේ කළ යුත්තක් ද කියලා දැන් ඔවුන් නැවත සිතා බැලිය යුතුයි."
තමා කිසි දිනෙක ප්‍රචණ්ඩත්වය අනුමත නොකළ අයෙක් බවත් යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මෙවන් සිදුවීම් අනුමත කරන්නේ නම් ඔවුන් පිළිබඳව ජනතාව නැවත නැවත සිතා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. තමා ජනතාව සමඟ සමීපව කටයුතු කරන අයකු නිසා මෙලෙස ජනතාවගේ සහයෝගය නිවෙස ගොඩනැගීම වෙනුවෙන් ලැබෙන බව ඔහු කියා සිටියි.
“මගේ හැම දෙයක්ම පිච්චුණා. මේ සිදුවීමෙන් අපිත් එක්කම මගේ හිතවත් ප්‍රදේශවාසීන් දැඩි ලෙස කම්පනයට පත්වුණා. මම දේශපාලනයේ ඉතාමත් පහළ තැනින් ඉහළට ආපු පුද්ගලයෙක්. මම මගේ පන්තියේ මිනිස්සුන්ගේ දුක දැක්කා. මම ඒ මිනිස්සු වෙනුවෙන් කැප වුණා. මේ නිවෙස මම හදාගත්තේ ප්‍රාදේශීය සභාවටත් එන්න කලින් ඉඳලා. මම විධායක ශ්‍රේණියේ රුකියාවක් කළා. මගේ බිරිඳගේ අම්මගේ තාත්තගේ සහයෝගයත් මේ නිවෙස හදන්න ලැබුණා. බිරිඳත් බරපතළ විදියට මේ වෙනුවෙන් කැප වුණා. මේ දේශපාලනයෙන් හම්බ කරගත්තු දේවල් නෙවෙයි. ඒක දන්නවා අපේ සමීපතම මිනිස්සු ගොඩ දෙනෙක්. ඒ නිසයි ඒ අය මගේ නිවෙස නැවත ගොඩනගන්න උදව් කිරීමට ආවේ."
කෙසේ වෙතත් ජනතාව පැමිණ උදව් කිරීමට ඉදිරිපත් වුවද ඊට ඉඩ දීම සුදුසු දැයි නැවත නැවත තමා සිතා බැලූ බව ඔහු පවසයි. මේ මොහොතේ බහුතර ජනතාව ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින බව ද ඔහු සිහි කරයි. ජනතාවගේ මෙම ඉදිරිපත් වීම හේතුවෙන් තමා ඉතා සංවේදී වූ බව සඳහන් කරන ප්‍රසන්න රණවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙය දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක් ඇති කරන තීරණයක් බවයි.
විනාශ වූ දේශපාලනඥයකුගේ නිවෙසක් ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙලෙස යළි ගොඩනැගීම සිදුවන්නේ පළමුවරට බව සඳහන් කළ හැකිය. දේශපාලකයෝ ජනතාව වෙනුවෙන් නිවාස ඉදි කරති. සැබවින්ම එය ඉතා සාමාන්‍ය දෙයකි. ජනතාව දේශපාලකයන් වෙනුවෙන් නිවාස ඉදිකරන්නට යන්නේ නැත. එවැන්නක් සිදු කිරීමට නම් දේශපාලනඥයකු විසින් ජනතාවගේ ගෞරවාදරය උපයාගත යුතුය. ප්‍රසන්න රණවීර කවර පක්ෂයකට අයත් කවර තරාතිරමක දේශපාලනඥයකු වුවද ඔහු සිය හිතෛෂීන්ගේ ගෞරවාදරය මනාව උපයාගෙන ඇත.
මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස් පවසන්නේ ප්‍රසන්න රණවීර මහතාගේ නිවෙස ගොඩනගමින් ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය කණපිට හැරවීම සඳහා සමාජයටත්, රටටත් පූර්වාදර්ශයක් සැපයීමට තමන් සූදානම් බවකි.
මෙම කටයුත්ත සඳහා මූලිකත්වය ගත් අය අතරින් කෙනකු වන වත්තල මාබෝලේ නාගරික මන්ත්‍රී නිමේෂ් පෙරේරා අප සමඟ අදහස් දැක්වීය.
“සිමෙන්ති කොට්ටයකින් කම්බි කූරකින් හරි අපි මේ කටයුත්තට දායකත්වය ලබා දෙනවා. අපේ මන්ත්‍රීවරු වගේ එතුමාගේ හිතවත් ජනතාව තමා මේ කටයුත්ත කරන්නේ. එතුමා මුලදී මේකට කැමැති වුණේම නෑ. ඇත්තටම ප්‍රසන්න රණවීර කියලා කියන්නේ කෘත්‍රිම දේශපාලනඥයෙක් නෙවෙයි. පොළොවේ පය ගහලා සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න කෙනෙක්. විපක්ෂයේ අපේ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පවා අප සමඟ කිව්වා නම් සඳහන් නොකර එතුමට උදව් කරන්න කැමැතියි කියලා. නිවසක් හදන්න මහන්සි වෙච්ච කෙනෙක් තමයි දන්නෙ නිවසක වටිනාකම. රුල්ලට විවිධ අය එතුමා ගැන එක එක කතා කිව්වත් එතුමා හොඳ අධ්‍යාපනයක් තියෙන කෙනෙක්. පක්ෂ පාට සලකන්නේ නැතුව ජනතාවට උදව් කරපු කෙනෙක්. ඒ නිසයි ජනතාව එතුමට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ."
මැයි 9 වැනි දින රටේ බහුතර ජනතාව කෝපවීම අසාධාරණ යැයි කීමට අවසානයේ අප සූදානම් නොමැත. එහෙත් ජීවිත දේපළ විනාශ කිරීම් කිසිවක් අනුමත කළ නොහැකිය. මේ මේ උදා වී ඇත්තේ දේශපාලකයා ජනතාව පිළිබඳ වඩා වඩාත් සමීපව සිතිය යුතු කාලයයි.
දේශපාලනඥයන් තමන් ජනතා නියෝජිතයන් පමණක් යැයි සිතා කටයුතු කිරීම යහපත්ය. ජනතාවගේ අයිතිකරුවන් ලෙස දේශපාලනඥයන්ගේ හැසිරීම නිරන්තර ඔවුන් කරා විනාශය රුගෙන එයි. දේශපාලනඥයකු විසින් මහජන විශ්වාසය උපයා ගන්නේ නම් සැබවින්ම ඔහු පොහොසතෙකි. සැබෑ ලෙසම තමාව නියෝජනය කරන නියෝජිතයාගේ රුකවරණය උදෙසා මහජනයා ඉදිරිපත් වනු ඇත.
චමිඳු නිසල් ද සිල්වා