2022 ජුනි 12 වන ඉරිදා

සාගතේ අනාගතේ!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 142

ඉදිරියේදී ආහාර අර්බුදයක් උද්ගත වනු ඇතැයි බිය පළ වේ. මෙම ආහාර හිඟකම නිසා ජනතාවට දිනකට දෙවේලක් හෝ එක වේලකින් සෑහීමකට පත්වන්නට සිදුවනු ඇති බවට රජයේ ප්‍රබල දේශපාලනඥයන් ද විටින් විට ප්‍රකාශ කරනවා ඇසෙන්නට පටන්ගෙන තිබේ. මේ වනවිට දරුවන් අතර 35%ක පමණ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට ළමා රෝහල්වල වෛද්‍යවරුන් පවසන අතර අනාගතයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවට අනාවැකි පළ වේ.

මෙම තත්ත්වය නිසාම රජය ජනතාවට සහල්වලට අමතරව විකල්ප ආහාර වගාවට නැඹුරු වන ලෙස උපදෙස් දෙමින් තිබේ. එහෙත් ඒ පිළිබඳ කිසිදු සැලසුමක් වගකිවයුත්තන් වෙතින් දක්නට ලැබෙන්නේ නැත. පසුගිය 70 දශකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේ රටවැසියාට සතියට දින දෙකක් බත් කෑම තහනම් කර තිබූ බවද අපට මතකය. ඒ කාලයේ සහල් ප්‍රවාහනය තහනම් කර තිබුණු අතර ඒ හේතුවෙන් සහල් පොලු පවා නිර්මාණය වී තිබිණ. ඒ සමයේ වගා සංග්‍රාමයක් ආරම්භ කර තිබුණු අතර මෙලෙස සහල්වලට තහංචි පැනවූයේ රටේ අතිරේක බෝග වගා කිරීමට උනන්දු කිරීම සඳහාය. එය යහපත් චේතනාවෙන් කළ දෙයකි.

එහෙත් අද අපට සහල් හිඟයක් ඇතිවී තිබෙන්නේ වගා සංග්‍රාමයක් නිසා නොව ප්‍රමාණවත් වී අස්වැන්නක් නොලැබුණු නිසාය. 2021 වසරේදී වර්තමාන ආණ්ඩුව විසින් රසායන පොහොර හා පලිබෝධනාශක ආනයනය කිරීම අත්තනෝමතික ලෙස තහනම් කිරීම නිසා වී වගාව බොහෝ සේ බිඳවැටුණි. ගොවියා අසරණ වූ අතර ඔවුන්ගේ පවුල් මහ මගට ඇද වැටුණි. පොහොර ඉල්ලා ඔවුන් කොතරම් උද්ඝෝෂණ කළද එවකට සිටි කෘෂිකර්ම ඇමැතිවරයා නෑසූ කන් ඇතිව සිටියේය. ඔහු ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කළේය.

එහෙත් අද වනවිට ආහාර අර්බුදය උග්‍ර වී අනාගතයේදී සාගතයක් ඇතිවේ යැයි අනාවැකි පළ වේ. ඇත්තටම රටට සාගතයක් ඇතිවී ජනතාව කුසගින්නේ මියයයිද? නැතිනම් අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගත හැකිද? මේ කරුණු පිළිබඳ සමාලෝචනයක් කිරීම මේ ලිපියේ අරමුණ වේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ අද උද්ගතව ඇති අවාසනාවන්ත තත්ත්වයට ස්වභාවික ආපදාවලට අතිරේකව මිනිසා විසින්ම ගනු ලැබූ ඇතැම් තීරණ හේතු වූ බවයි.

''2021 වසරේ අප්‍රේල් මාසේ 27 වැනිදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කරුණු 20 ක් අඩංගු වන සංවර්ධන සැලසුමකට අපට අනුගත වෙන්න සිදුවුණා. එහි එක් කාරණාවක් වශයෙන් ලංකාවට රසායනික පොහොර සහ රසායනික පලිබෝධනාශක ආනයනය කිරීම සම්පූර්ණයෙන් නැවැත්වුවා. ඒවා භාවිතය ද තහනම් කළා. එම තීරණවලට නීත්‍යානුකූල බලයක් ලැබුණේ පසුගිය වසරේ මැයි මාසයේ 06 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මගින්. මෙම ගැටලුව පටන් ගත්තේ මෙතැන සිට තමා.

අපේ රටේ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනයට ඉතාම වැදගත් යෙදවුම් වර්ග දෙකක් තමා මේ මගින් නැවැත්වුවේ. 1940 දශකය ගතහොත් එහිදී වගා කළේ අපේ පාරම්පරික වී වර්ගයි. පාරම්පරික තාක්ෂණයයි පාවිච්චි කළේ. ඒත් ඒ කාලේ අස්වැන්න විදියට වාර්තා වුණේ හෙක්ටයාරයකට වී කිලෝ 650 පමණ ප්‍රමාණයක්. එහෙත් කෘෂි විද්‍යාඥයන් තේරුම් ගත්තා මේ ක්‍රමයට ගියහොත් රටේ වැඩිවන ජනගහණ වේගය සාපේක්ෂව බත් සපයන්න අමාරුවෙන බව. ඒ නිසා හරිත විප්ලවයක් ප්‍රකාශයට පත් කරලා අපට පුළුවන් වුණා 1958 දී වැඩි අස්වැන්නක් දෙන එච් 4 කියන වී ප්‍රභේදය ඇති කරන්න. මෙම වී ප්‍රභේදය ලංකාවේ විද්‍යාඥයන්ගේ උත්සාහයෙන් තැනූ එකක්. ඒ සඳහා ලංකාවේ පාරම්පරික යැයි කියන %මුරුංගාකායන් 302^ කියන වී වර්ගය සහ ඉන්දුනීසියාවෙන් ආනයනය කළ %මාස්^ වර්ගය අතර දෙමුහුන් ප්‍රභේදයක් බිහි කරලයි. මෙතැන් සිට තමා අපේ වී අස්වනු වැඩිවීම ආරම්භ වුණේ.

මෙම එච් 4 වර්ගයට අනුව 1940 – 50 දශකවලදී හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 650ක් ලැබුණු අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ 2000 දක්වා වැඩිකර ගන්න හැකි වුණා. ඊට පසු දිගින් දිගටම වී පර් යේෂණ මධ්‍යස්ථානවල කළ පර් යේෂණවල ප්‍රතිඵලයක් ලෙසට 2008 වසරෙන් පස්සේ අපේ රටට මාසිකව අවශ්‍ය වන සහල් ප්‍රමාණය දෙන්න පුළුවන් වන ආකාරයේ අස්වැන්නක් ලබාගන්න හැකි වුණා. අපට මාසිකව සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූපන් දහසේ සිට එක්ලක්ෂ අනූපන් දහසක් දක්වා අවශ්‍ය වෙනවා. වසරකට දළ වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 23 – 24 පමණ සහල් අවශ්‍ය වෙනවා. මේ කාලයේ අපට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් 2008 වසරේ සිට සහල් ලබාගන්න පුළුවන් වුණා. අපි සහල්වලින් ස්වයාපෝෂිත වුණා.
එම තත්ත්වය කණපිට හැරුණේ 2021 වසරේදී අත්තනෝමතික විද්‍යාත්මක පදනමින් තොරව ගත් පටු තීරණ නිසයි. 2019 දී අපේ රටට සහල් ආනයනය කරලා තිබුණේ මෙට්‍රික් ටොන් 20,000 යි. 2020 දී 14,000 යි. එහෙත් මේ තීරණය ගත්තට පස්සේ 2021 වී මෙට්‍රික් ටොන් 1,47000 ක් ආනයනය කරන්න සිදු වුණා. මා ළඟ තිබෙන සංඛ්‍යාලේඛන අනුව 2022 අප්‍රේල් 15 වැනිදා වනවිට විතරක් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කරලා තිබෙනවා. අපට හිතාගන්න පුළුවන් මොන වගේ තත්ත්වයකට පත්වෙලා තියෙනවද කියලා. මේ බරපතළකම හින්දා තමා ගිය වසරේ මහ කන්නයේ අස්වැන්න බාගයට බැස්සේ. දැන් අපි යල කන්නයට ළංවෙලා සිටිනවා.

ගිය වසරේ මහ කන්නය පටන්ගන්නා විට එයට කලින් කන්නවල ආනයනය කරලා ඉතිරිවෙලා තිබුණු පොහොර යම් ප්‍රමාණයක් තිබුණා. පලිබෝධනාශකද යම් කොටසක් තිබුණා. ඒත් ඊට පස්සෙ වනවිට පොහොර සහ පලිබෝධනාශක නැත්තටම නැතිවෙලා ගිය හින්දා ප්‍රශ්නය උග්‍ර වුණා. ඒ අතරෙදි පෞද්ගලික අංශය යම් සුළු ප්‍රමාණයක් ආනයනය කරලා තිබුණා. ඒත් අද වනවිට කිලෝ 50 යූරියා මිටියක් රුපියල් 35,000 ට වඩා වැඩියි. මේ තත්ත්වය නිසා මේ යල කන්නය සම්පූර්ණයෙන්ම වාගේ වගා කරන්න ගොවියාට නොහැකි වුණා. අපි බලාපොරොත්තු වුණු හෙක්ටයාර 4,50000 පමණ යලට වගා වෙයි කියලා. මේ වනවිට බිම් සකස් කිරීම පමණක් සිදුකර ඇත්තේ හෙක්ටයාර 3,15,000 පමණ සුළු ප්‍රමාණයක්. ඒකට හේතුව පොහොර හා පලිබෝධනාශක නැතිවීම. මේ අනුව යල කන්නයේදී බලාපොරොත්තු වන අස්වැන්න 50% කින් අනිවාර්යයෙන්ම අඩුවෙනවා නියතයි. ඒ නිසා තමයි ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවෙන බව පවසන්නේ. අපි එයට මුහුණදීමට කටයුතු කළ යුතුයි.''

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

''වී නිෂ්පාදනය අඩුවීමට පොහොර අර්බුදය තදින්ම බලපානවා. යල කන්නයට රජය කියන විදිහට පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ලැබී නැහැ. රජය මෙට්‍රික් ටොන් එක රුපියල් 10,000 ට දෙනවා කියන්නේ එම පොහොරයි. එහෙත් ඒවා එන දිනයක් අපි තවම දන්නේ නැහැ. දැන් වෙළෙඳපොළේ රුපියල් 40,000ටවත් පොහොර නැහැ. ඒත් කළුකඩ මුදලාලි ළඟ නම් වැඩි මිලට තියෙනවා. වගාවට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ ගොවින්ගේ ඉඩම් ආණ්ඩුවේ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයන් කොල්ලකෑමයි. එය නැවැත්විය යුතුයි. ඉන්ධන ඇතුළු කෘෂි යෙදවුම්වලට 100% ක බදු සහනයක් දිය යුතුයි. අඩු මිලට සහල් දෙන්න පුළුවන් ඒවායේ මිල අඩු වුණොත් පමණයි.

දැනට ඉන්ධන මිල ඉහළ යාම නිසා අක්කරයක වී වගා කරන්න රුපියල් 20,000 – 25,000 පමණ වැය වෙනවා. කෘෂි උපකරණ සහ යන්ත්‍ර සූත්‍රවලටත් බදු සහන දිය යුතුයි. මේ වනවිට පැහැදිලිවම 60% ක පමණ අස්වනු අඩුවීමක් තියෙනවා. පොහොර අර්බුදය ප්‍රධාන හේතුවක්. අස්වැන්න හානිය රජය තක්සේරු කළේ 40%ක් ලෙසටයි. ගොවියා කුඹුරට යන්නේ නැත්තේ රසායන පොහොර, පලිබෝධනාශක, තෙල් නැතිවීම නිසයි. ගිය කන්නයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 33 – 34 ගත්තත් මේ වනවිට එකට එකක් අඩුවෙලා. අනිත් අතට ගොවියාට ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන් වෙළෙඳපොළට එන්නේ නැහැ. එයට හේතුව පාරිභෝජනය සඳහා ගොවියා කොටසක් තබාගැනීමයි. මෙවර වෙළෙඳපොළට ආවේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් පමණයි. මෙම මෙට්‍රික් ටොන් 12 හාල් කරන විට ලැබෙන්නේ සහල් කිලෝ ලක්ෂ 9 – 10 පමණ ප්‍රමාණයක්. මේ ප්‍රමාණය මාස 4 – 5 වඩා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමා කියන්නේ මේ වසරේදී සහල් පිළිබඳ විශාල අර්බුදයක් ඇතිවෙනවා කියලා. ගිය අවුරුද්දේ ඉඳලා සාගතයක් එයි කියලා අපි එකදිගටම කිව්වා. අද වනවිට මුළු රටටම එය පිළිගන්න සිදුවෙලා තියෙනවා. ජාතික ගොවිජන එකමුතුව කල් ඇතිව මේ බව රජයට කිව්වත් එය පිළිගත්තේ නැහැ. යල කන්නය මුළුමනින්ම ඉවර වුණා. දැන් මේ කන්නයේ අස්වැන්න ගැනත් කියන්න බැහැ. රටේ සමස්ත වී වපසරිය හෙක්ටයාර දස ලක්ෂයකට ආසන්නයි. යල කන්නයේ වගා කළේ හෙක්ටයාර හය ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක්.

වැඩිපුර කුඹුරු පුරන්වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙයි. ඒවා අස්වද්දන්න නිලධාරින්ට අවශ්‍යතාවක් නැහැ. ඉදිරියේදි සාගතයක් එනවා කියල නිලධාරින්ට වගේ වගක් නැහැ. අඩු ගාණේ අවශ්‍ය පොහොර ටිකවත් හදාගන්න බැරි වුණා. මෙම අර්බුදයට කෘෂිකර්ම අමාත්‍යංශයට විතරක් නෙවෙයි එයට අයිති ජාතික පොහොර ලේකම් කාර්යාලය හා ගොවිජන සේවා මධ්‍යස්ථානද වගකිව යුතුයි.

මේ වනවිට අතුරු බෝග වගා කරන්නය කියලා වගකිවයුත්තන් කියනවා. ඒ වුණාට දැන් මඤ්ඤොක්කා හිටෙව්වත් අල බතල හිටෙව්වත් මාස හයක් යනවා අස්වැන්න ගන්න. එයින් ආහාර හිඟයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මුංඇට, කව්පි, කුරක්කන්, බඩඉරිඟු වගේ කෙටිකාලීන බෝග තමා වගා කළ යුත්තේ.''

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා අවධාරණය කරන්නේ විද්‍යාත්මක පදනමක් මත කරුණු පැහැදිලි කරන විට ශ්‍රී ලංකාවේ ඉදිරි කාලයේ කිසිදු ආකාරයෙන් ආහාර පිළිබඳ සාගතයක් ඇතිනොවන බව වගකීමෙන් යුක්තව පැවසිය හැකි බවයි.

''රටේ සාගතයක් ඇතිවීමට විද්‍යාත්මක ලෙස කරුණු කිහිපයක් බලපානවා. ඉතා දරුණු නියඟයක්, ගංවතුරක් වගේ දේශගුණික විපර්යාසයක් නිසා ආහාර අහේනියක් ඇතිවෙන්න පුළුවන්. එහෙම නැතිව රටේ සාමාන්‍ය දේශගුණික තත්ත්වයක් පවතිනවා නම් ආහාර සැපයුම අඩාල වන්නේ නැහැ. එයට අමතරව කෘෂි යෙදවුම්වල හිඟයක් තිබෙනවා නම් ආහාර නිෂ්පාදනය අඩාල වෙන්න පුළුවන්. පොහොර, පලිබෝධනාශක අඩුවීම හා කෘෂිකර්ම බෝගවලට දරුණු රෝග ඇතිවෙනවා නම් අස්වැන්න අඩුවෙනවා. එසේම මූලිකව ජනතාව ගොවිතැනින් යම් යම් හේතු නිසා ඈත්වෙනවා නම් එමගින් ආහාර නිෂ්පාදනය අඩුවිය හැකියි.

මේ අනුව ආහාර අර්බුදයක් ඇතිවන්නේ නම් මේ කුමන හේතුවක් නිසාද කියලා සොයා බැලිය යුතුයි. එහෙම නැතිව ශාස්ත්‍ර කියන්න බැහැ. කොයිම විදිහකින්වත් කෘෂි විද්‍යාඥයන්ට හේතුවක් නැතිව ආහාර අහේනියක් ඇතිවේ යැයි කියන්න බැහැ. එයට විද්‍යාත්මක පුරෝකථන තිබිය යුතුයි. ලංකාවේ ඉදිරි කාලයේ ගැටලුවක් ඇතිවේද යන්න සොයා බැලිය යුතු වෙනවා. පසුගිය කාලයේ පොහොර හිඟය බලපෑවා. පොහොර ආදී යෙදවුම්වල හිඟය තිබෙනවා. ඩීසල් හිඟය බලපානවා. මේ හේතු නිසා වගා කරන බිම් ප්‍රමාණය අඩුවෙලා තියෙනවද කියලා ක්ෂේත්‍ර මට්ටමින් නිලධාරීන් ලවා සොයා බැලිය යුතුයි. කන්නයකදී වගා බිම් ප්‍රමාණය අඩුවෙලා නම් හිඟයක් ඇතිවිය හැකියි. එහෙත් එවැනි තත්ත්වයක් තිබේද?

අපේ රටට මාසයකට අවශ්‍ය වන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකයි. කෙසේ වුවද මේ වනවිට මිල ඉහළ යාම නිසා පාරිභෝජනය යම් ප්‍රමාණයකට අඩුවිය හැකියි. ජනතාව අල බතල ආදී ආදේශනවලට යොමුවීම සිදුවෙනවා. එසේම මිල ඉහළ යාම නිසා නාස්තියද අඩුවෙලා තියෙනවා. මේ හේතු නිසා අපේ මාසික සහල් පාරිභෝජනය ලක්ෂ දෙකට වඩා අඩුවිය හැකියි.

තදබල දේශගුණික විපර්යාසයක් ඉදිරියේ ඇතිවේ යැයි පැවසීමට නුපුළුවනි. එහෙත් කාලගුණික වෙනස්කම් ගැන නම් කියන්න පුළුවන්. දිගුකාලීන දේශගුණ විපර්යාස ගැන දැන් ඉඳලා කියන්න බැහැ. ලබන ඔක්තෝබර් නොවැම්බර් වෙනතුරු කාටවත් අස්වැන්න ගැන කියන්න බැහැ. මෙලෙස නිච්චියට කියන්න පුළුවන් කිසිම විද්‍යාත්මක ක්‍රමවේදයක් නැහැ. ආහාර අර්බුදයක් ගැන දැන් ඉඳලා පුරෝකථනය කරන අය විද්‍යාඥයන් හැටියට ඉදිරියට ආවට ඒ අයගේ අනාවැකිවලට කිසිදු පදනමක් නැහැ. පොහොර, වල්නාශක ආදී යෙදවුම්වල අවම වීම නිසා සාම්ප්‍රදායික කෘෂි ගොවීන් වගාවෙන් බැහැර වේ යැයි කියන්න පුළුවන් වුණත් එම තත්ත්වය කොයි තරම් දුරට වී වගාවට බලපානවාද යන්න කිව නොහැකියි. දැනට අවුරුදු දෙකකට පෙර වී දුන්නේ සහතික මිල වන කිලෝව රුපියල් 35ටයි. අද ඒ වගේ තුන් ගුණයකට මිල වැඩිවෙලා තියෙනවා. ගැටලු තිබුණත් අද පවතින සහතික මිල අනුව වී වගාවෙන් බොහෝ දෙනෙක් අයින් වෙයි කියලා හිතන්න බැහැ. මේ වනවිට වී වගාවට උනන්දුව වැඩිවෙලා තියෙනවා. නිෂ්පාදනය ඉදිරියේදී ඉහළ යාවි.

මා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ දිවයින පුරා සමීක්ෂණයක නිරත වූ කෙනෙක්. එහිදී සනාථ වූ කරුණු අනුව අගෝස්තු සැප්තැම්බර්වල දරුණු ආහාර අර්බුදයක් ඇතිවේ යැයි කියන්න බැහැ. ඒ නිසා ජනතාවට කැසගින්නේ ඉන්න වෙන්නේ නැහැ. හැබැයි එක් දෙයක් කිව යුතුයි. දේශීය නිෂ්පාදන මිලට රජය මෙයට වඩා මැදිහත් විය යුතුයි. එහෙම නොවුණොත් දේශීය මෝල් හිමියන් අනවශ්‍ය ලෙස සහල් හිඟයක් ඇති කරලා මිල ඉහළ දමනවා ඇති. එහෙත් රජය මේ වනවිට ඒ වගකීම පැහැර හැරල තියෙනවා. මේ මිල ඉහළ යාම නිසා දුක් විඳින්නේ රටේ ඉන්න දුප්පත්ම අයයි. මන්දපෝෂණය ඉහළ යාවි. පසුබිම් සාක්ෂි අනුව මෙම තත්ත්වය ඇතිවෙන බව අපට කියන්න පුළුවන්.

සහල් හිඟයක් ගැන ඇතැම් දේශපාලනඥයන් කියන ප්‍රකාශවලට කිසිදු පදනමක් නැහැ. ඒවා දේශපාලන වාසි ලබාගැනීමට කරන ප්‍රකාශයි. අපේ කෘෂි විද්‍යාඥයන් යැයි කියන අය යථා තත්ත්වය නොසලකා ක්‍රියා කරනවා නම් ඒ අයගේ නිපුණතාව ගැන ගැටලු ඇතිවිය හැකියි. 2011 වසරේදී තමා රට සහල්වලින් ස්වයංපෝෂිත වීම ආරම්භ වුණේ. රජය ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන ඒමට ගත් උනන්දුව ප්‍රමාණවත් නැහැ. මේ වනවිට මාස 5 ½ - 6 පමණ කාලයකට අවශ්‍ය සහල් තොග තිබෙන නමුත් ඒවා කූඨ වෙළෙඳුන් සඟවාගෙනයි තියෙන්නේ. ඒවා එළියට දැමීමට කටයුතු කළ යුතු වෙනවා. එහෙම සිද්ධ වෙනවා නම් ඉදිරි මාස 6 තුළ සහල් අර්බුදයක් ඇතිනොවන බව කිව හැකියි.''

I යසවර්ධන රුද්රිගූ