මත් ජාවාරමට ඇවැසි බලය පාතාලය සතුවත් පාතාලය සතු හැකියාවට මත් ජාවාරම සිදු කිරීමත් කැපී පෙනෙයි. සංවිධානාත්මක අපරාධකරුවන් හෝ පාතාලයන් ලෙස හඳුන්වන පිරිස් මෙහි පුරුදුකරුවෝ වෙති. මේ නිසා කුඩු ජාවාරමත් පාතාලයත් දෙකක් නොව එකක් බව පැහැදිලිය. රටපුරා නමගත් කල්ලි කණ්ඩායම් ගණනාවක් මෙසේ හැසිරෙති. ඔවුනොවුන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා විරුද්ධවාදී පිරිස් අතර මතගැටුම් උත්සන්න වෙයි. මහ දවල් ප්‍රසිද්ධියේ වෙඩි තබා පළිගන්නා උන්ගේ කෙරුවාව දැන් මගතොට යන ජනතාවට මර බිය ඇතිකර තිබේ.
නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදුකරන වෙඩිතැබීම්වල ප්‍රවණතාවක් දකින්නට ලැබේ. ඒ හේතුවෙන් සිදුවන මිනිස් ඝාතන රුල්ලක් නිසා ජනතාව භීතියට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව තිබේ. නාඳුනන වෙඩික්කරුවන්ගේ ඝාතන රුල්ල පිළිබඳ පොලීසියද සිටින්නේ දැඩි විමසිල්ලෙනි. දැනට අනාවරණය කරගෙන ඇති පරිදි වාර්තා වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින පෞද්ගලික ගැටුම්, ගනුදෙනු පිළිබඳ ආරවුල් හා ඔවුන්ගේ ඔත්තුකරුවන් මෙන්ම පොලීසියේ තොරතුරුකරුවන් සම්බන්ධයෙන් වන වෛරය හේතුවෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම විදෙස්ගතව සිට මෙහෙයවන මහා පරිමාණ ජාවාරම්කරුවන් විසින් මෙම වෙඩික්කරුවන් මෙහෙයවන බවය.
මෙවැනි පසුබිමක ගතවූ දින කිහිපයේ පිටකොටුව, පානදුර, අලුත්ගම, අහංගම, තංගල්ල ඇතුළු ප්‍රදේශවල වෙඩිතැබීම් හා ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා විය. මත් ජාවාරමුන්ගේ කොන්ත්‍රාත් බවට සැකකරන වෙඩිතැබීම් නිසා ගතවූ සතිය තුළ පුද්ගලයන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ අහංගම දික්කුඹුර ප්‍රදේශයෙනි. අහංගම දික්කුඹුර පාසලක් අසලදී සිදුකළ වෙඩි තැබීමෙන් දික්වැල්ල දඹගස්ආර පදිංචි 26 හැවිරිදි අයකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. මෙම පුද්ගලයා විදෙස්ගතව සිට මහා පරිමාණයෙන් මත්ජාවාරම කරන අයකුගේ සමීපතමයකු බව කියයි.
මෙම තැනැත්තා මිතුරකු සමඟ මෝටර් රථයක යමින් සිටියදී යතුරුපැදියක පැමිණි වෙඩික්කුරුවන් දෙදෙනකු විසින් වෙඩිතබා තිබුණි. වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව වැලිගම රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර ගෑස් සිලින්ඩර් කිහිපයක සඟවා රහසිගත ලෙස මත්කුඩු ප්‍රවාහනය කළ අයෙකි. එහිදී මත්කුඩු ප්‍රමාණයක් මොහු හොරෙන් ලබාගෙන ඇතැයි කියයි. එයට උරණ වූ පුද්ගලයකු විසින් ඝාතනය සිදුකරවා ඇතැයි අනාවරණය වී ඇත.
තවත් වෙඩි තැබීමක් වාර්තා වූයේ පානදුර නිර්මල මාවත ප්‍රදේශයේදීය. යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කොට තවත් යතුරුපැදියක පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ප්‍රහාරය එල්ල කර තිබිණ. සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ රන්දික සිල්වා නැමැති වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා විදෙස්ගතව සිට මත්ජාවාරම මෙහෙයවන පානදුර ප්‍රදේශයේ කෙනකුගේ ගෝලයකුව සිට ඇතැයිද එහිදී විශාල මුදලක කුඩු තොගයක් වංචාකර වෙනත් පාර්ශ්වයකට විකුණා තිබීම මොහු ඝාතනය කිරීමට හේතුව යැයිද කියැවේ.
එදිනම තවත් වෙඩි තැබීමක් වාර්තා වූයේ බේරුවල මොරගොල්ල මරදාන පාර ප්‍රදේශයෙනි. සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වූ ගයාන් ප්‍රනාන්දු නැමැති තැඹිලි එකතුකරන ව්‍යාපාරයක නිරත අයෙකි. මොහු මත්ජාවාරමට සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට එරෙහිව සාක්ෂි සපයන රජයේ සාක්ෂිකරුවකු වූ බවද වාර්තා වේ. මොහු බේරුවල ප්‍රදේශයේ පදිංචි ජනක නැමැත්තකුගේ මස්සිනා බව කියයි. මෙම ඝාතනයත් සමඟ ජනක නැමැත්තා විශේෂ පොලිස් ඒකකයක් වෙත ස්වයං පාපොච්චාරණයක් සිදුකර තිබිණි.
ඒ අතර ඉකුත් මැයි 30 වැනිදා පිටකොටුව බැස්ටියන් මාවතේ සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීම සම්බන්ධයෙන් සුලමුල අනාවරණය වී ඇත. පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළ අසල මෙම වෙඩිතැබීම සිදුවිය. යතුරුපැදියක පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් බස් නැවතුම්පළේ සිටි පුද්ගලයන් තිදෙනකු ඉලක්ක කොට වෙඩි තබා තිබුණි. වෙඩි වැදීමෙන් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලැබීය. එහි සිටි තවත් අයකු දිවගොස් දිවි ගලවාගෙන තිබුණි. මෙම ප්‍රහාරය එල්ලකර තිබුණේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අශ්වාරෝහක කොට්ඨාසය, රථවාහන මූලස්ථානය, කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය, සී.සී.ටී.වී. කැමරා ඒකකය ඇතුළු පොලිස් නිලධාරීන් රුසක් නිරතුරුවම ගැවසෙන භූමියක් ඉදිරිපිටදීය. ප්‍රහාරයට ලක්වූ පිරිස අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ විභාග වූ නඩුවකට සහභාගි වීමෙන් පසුව නැවත පිටත්වූ පිරිසකි. වෙඩික්කරුවන් දෙදෙනාද එම පරිශ්‍රය අසල සිට මොවුන් ලුහුබැඳ ඇතැයි වාර්තා වේ. කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ 7, විජේරාම මාවතේ අවන්හලක ඇතිවූ ගැටුමක් නිසා විභාග වන නඩුවකට මේ පිරිස සහභාගී වී ඇත. අලුත්කඩේ අධිකරණයේ විභාග වූ තවත් නඩුවක පෙනී සිටීම සඳහා බේරුවල සිට ගයාන් සහ ජනක දෙදෙනා පැමිණ තිබිණ. නඩුව අවසානයේ ඔවුන් නිවෙස් බලා පිටව යන මොහොතේ ඒ බව යම් පාර්ශ්වයක් වෙතින් දුරකථන මගින් වෙඩික්කරුවන්ට ලබාදී ඇත. ඒ අනුව ඉලක්කය ගයාන් හා ජනක වුවත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදී බැස්ටියන් මාවතේදී වෙඩිතබා තිබුණේ වෙනත් තිදෙනෙකුටය. එහිදී මරණයට පත්ව තිබුණේ අනුරාධපුර මහඉලුප්පල්ලම පදිංචි විරාජ් ලක්ෂිත නැමැති යුදහමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිට නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකි. තුවාල ලබා තිබුණේ ඔහු සමඟ අවන්හලේ සේවය කළ මිත්‍රයකු වූ ප්‍රදීප් සඳමාල් යන අයයි. මේ තොරතුරු හෙළිකර ගැනිමට බේරුවල වෙඩි තැබීමෙන් මියගිය ජනක නැමැත්තාගේ මස්සිනාගේ පාපොච්චාරණය ඉවහල්ව තිබුණි.
මෙම ඝාතනය පසුපස ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු සිටින බව කියැවේ. මේ අතර පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් දැනට ඇප ලබා සිටින පොලිස් සේවයේ සිටි නිලධාරියකුටද මෙම ජනක හා ගයාන් ඝාතනය කිරීමේ වුවමනාවක් තිබූ බවය.
මේ අතර ඉකුත් 6 වැනිදා තවත් වෙඩි තැබීමක් වාර්තා වූයේ මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයෙනි. එදින පස්වරුවේ යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් තිබුණි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ 24 හැවිරිදි කොළඹ 15 පදිංචිකරුවෙකි. මොහු මත්ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප ලැබූ අයෙකි. වාර්තා වන්නේ දීර්ඝ කාලයක සිට පැවති මත්කුඩු සම්බන්ධ ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුව ඇති බවකි.
ගෙවුණු සති දෙකකට ආසන්න කාලයේදී වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම් ගණන හයකට අධිකය. ඝාතනය වූ පිරිස හතරකට වැඩිය. සෑම වෙඩිතැබීමක් පසුපසම හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධය. කොළඹ අපරාධකොට්ඨාසය අතුළු පොලිස් ඒකක කිහිපයක මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර