2022 ජුනි 12 වන ඉරිදා

SOLAR Panel විසඳුම: හිරු එළියෙන් සල්ලි මවමු!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 344

ලෝකය තුළ මෙන්ම ලංකාව තුළද දැන් මතුව ඇති ඉන්ධන හිඟය මගින් විදුලි බලය භාවිතයද ගැටලුවක් බවට පත්ව තිබේ. ඉදිරියේදී මේ තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවට ලකුණු මතුව හමාරය. මේ නිසා විකල්ප බලශක්ති සෙවීම හා භාවිතයට ගැනීම පිළිබඳ උනන්දුව නැවත මතුව ඇත. එහිදී ප්‍රමුඛ පෙළේ තේරීමක් බවට පත්ව ඇත්තේ සූර්ය බල ශක්තියයි.

නොමිලේ ලැබෙන සූර්ය බලය කිසියම් මූලික වියදමක් දරා ප්‍රකාශ විද්‍යුත් කෝෂ ආධාරයෙන් රැස්කර භාවිතයට ගැනීම මෙහි සරල ක්‍රියාවලියයි.

තමන්ගේ නිවෙසට අවශ්‍ය විදුලිය, කම්හල‌ට අවශ්‍ය විදුලිය සිය නිවසේ හෝ වාණිජ ගොඩනැගිල්ල මත සවිකළ සූර්ය පැනල යොදා ලබාගැනීම මගින් ජාතික විදුලි සංචිතය මතම යැපීමේ අවදානම් තත්ත්වයෙන් මිදීමට හැකියාව ලැබෙන අතරම එය අරපරෙස්සම් සහගතව සහ සැලසුම් සහගතව යොදාගැනීමෙන් මේ අසීරු කාලයේ අඛණ්ඩ ආදායමක් ලැබෙන සරු ආයෝජනයක් සඳහා යස අවස්ථාවක්ද උදා වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සියලු සේවා සහ උපදේශන සැපයීමට දැන් කටයුතු කරයි. ආයතන ගණනාවක්ම සූර්යය පැනල සවිකර දීමේ සේවා සැපයීම සඳහා දැනටමත් ක්‍රියාත්මකව ඇත. නි‍වෙසේ හෝ සිය ආයතනයේ විදුලි බිලෙන් බේරෙනවාට අමතරව විදුලිය විකුණා අමතර ආදායමක් ලැබීමට හැකි නම් එය මෙවන් ආර්ථික උද්ධමනයක අතරමංව සිටින ඔබට මහත් ඵලදායී අවස්ථාවක් උදාවීමකි.

මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගිලි පියැසි මත සූර්ය බල උත්පාදන පද්ධති ස්ථාපනය කිරීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට දිගුකාලීන ණය මූල්‍ය පහසුකම් සපයන ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණයක් හරහා කොන්දේසි මත අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙයි.

මෙම "ගොඩනැගිලි මත සවිකරන සූර්ය බල පද්ධති හරහා සූර්ය බලශක්තිය උත්පාදන කිරීමේ ව්‍යාපෘතිය” මගින් සූර්ය බලශක්ති උත්පාදන පද්ධති කාර්යක්ෂමව සවිකර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ ප්‍රමිතින් ඇතුළත් තාක්ෂණික හා වාණිජ රාමුවක්ද හඳුන්වා දී ඇත.

පහත සඳහන් යෝජනා ක්‍රම තුන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලි බලය සපයන්නන් වන ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම් හරහා වහලයේ  සූර්ය කෝෂ පද්ධති ස්ථාපන හරහා ජනනය කරන අමතර විදුලිය තමන්ට වාසිදායක අයුරින් ජාතික විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කළ හැකිය.

ඉන් මුල් ක්‍රමවේදය ශුද්ධ මනුකරණය ලෙස දැක්වේ. මෙය විදුලි බල පද්ධතියට එකතු කරන විදුලිය සඳහා සූර්ය බලශක්ති පද්ධති හිමියන්ට ලබා දෙන ණය බිල්පත් ක්‍රමයකි. විදුලි බල පද්ධතියට සැපයෙන සූර්ය විදුලිය මසකදී පරිභෝජනය වූ විදුලියට වඩා වැඩි නම්, ඒ ඉතිරි ශේෂය වසර 10 ක උපරිමයක් දක්වා ඉදිරියට ගෙන යා හැකිය. ඔබ පරිභෝජනයට වඩා වැඩි විදුලියක් නිපදවන්නේ නම් ඔබේ විදුලිය විදුලි සමාගම්   පද්ධතිය තුළ බැංකුගත කරනු ලබන අතර ඒ බැංකුගත විදුලි ඒකක වසර 10 ක කාලයක් තුළ භාවිත කළ හැකිය. කෙසේ වෙතත්, එම කාලසීමාව තුළ ඔබට එය පරිභෝජනය කළ නොහැකි නම් එය අවලංගු වේ. නමුත් මෙම යෝජනා ක්‍රමය යටතේ නිපදවන ලද අතිරික්ත විදුලිය සඳහා කිසිදු මුදලක් ගෙවනු නොලැබේ.
අනෙක් ක්‍රමය ශුද්ධ ගිණුම්කරණ යෝජනා ක්‍රමයයි. එහිදී නිවෙසක/ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මත, සොලර් පැනල් භාවිත කර අමතරව නිපදවන විදුලි බලය සඳහා  ලංවිම හෝ ලෙකෝ ආයතනය විසින් සොලර් පැනල් හිමියාට ගෙවනු ලැබේ. නමුත්  පරිභෝජනය කළ ඒකක, ජනනය කළ ඒකක ප්‍රමාණයට වඩා වැඩි නම්, මෙහිදී  පාරිභෝගිකයා විසින් අතිරික්තය සඳහා පවතින විදුලි ගාස්තු අනුව නියමිත ගාස්තු ගෙවිය යුතුය.

තුන්වැනි ක්‍රමය ශුද්ධ අතිරික්ත යෝජනා ක්‍රමයයි. මෙය කෙළින්ම ගොඩනැගිලි මත සවි කරන ලද සෝලර් පැනල භාවිත කරමින් නිපදවන සමස්ත විදුලිය සඳහා ගෙවීමක් සිදුකරන ක්‍රමයකි. ශුද්ධ මනුකරණ ක්‍රමය මෙන් නොව පාරිභෝගිකයාගේ විදුලි පරිභෝජනය හා ඔහුගේ විදුලි උත්පාදන ප්‍රමාණය අතර මෙහිදී සම්බන්ධයක් නැත. ජනනය කරන ලද සහ පරිභෝජනය කරන ලද ඒකක වෙන් වෙන් වශයෙන් මීටර් දෙකක් මගින් ගණනය කරනු ලැබේ.

පවතින ගාස්තු අනුව පරිභෝජනය කරන ලද ඒකක ප්‍රමාණය සඳහා පාරිභෝගිකයා ගෙවිය යුතු වන අතර, උපයෝගී සැපයුම්කරු පාරිභෝගිකයා උත්පාදනය කරන ලද ඒකක ප්‍රමාණය සඳහා සඳහා අදාළ ගෙවීම් වෙනම සිදු කරනු ඇත.

මේ වන විට වෙළෙඳපොළෙහි විවිධ සූර්ය බලශක්ති පැනල් සහ ඒවා සවිකර දෙන ආයතන තිබේ. එම නිසා, ඔබ සූර්ය පැනලයක් තෝරාගැනීමේදී සූර්ය පැනලවල කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එසේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමත ආයතන තෝරාගත යුතුය. එසේ නොවූ විට ජාතික පද්ධතිය හා සම්බන්ධව කෙළින්ම ප්‍රතිලාභ භුක්ති වීඳිමට ඇති අවස්ථාවට බාධා මතු වේ. 

දැන් සියලුම පාරිභෝගිකයන්ට විදුලිය නිපදවීමට නීතිමය අවසරය ලබා දී ඇත. ගෘහස්ත සූර්ය බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය  මූලික නිර්දේශ නිකුත් කර ඇත. ඒ අනුව CEB සහ LECO විසින් ගෘහස්ත සූර්ය බලාගාරය අයැදුම් කළ දින සිට සති දෙකක් ඇතුළත විදුලි බල පද්ධතියට සම්බන්ධ කළ යුතුය.  

මේ අනුව ඕනෑම විදුලි පාරිභෝගිකයකුට ඔහුගේ හෝ ඇයගේ නිවසේ/ පරිශ්‍රයේ සූර්ය බල පද්ධතියක් සවිකර එම පාරිභෝගිකයා සහ ඊට අනුරෑප බලපත්‍රලාභියා (CEB හෝ LECO) අතර අත්සන් කළ හැකි ගිවිසුම මත පදනම්ව විදුලිය නිපදවීමට සහ විකිණීමට හැකිය. එවැනි සියලුම පාර්ශ්ව උත්පාදන බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් දැන් නිදහස්ය.

අඳුරු වළාවක ඇඳී - රිදී රේඛාවක් සේ, රටේ ආර්ථිකය තුළ විවිධ ගැටලු මතුව ඇති  මෙවන් සමයක සාධාරණ ආයෝජනයක් තුළින් පරිසර හිතකාමී සහ පුනර්ජනනීය විදුලි ප්‍රභවයන් වෙත ප්‍රවේශ වීමට ශ්‍රී ලාංකික විදුලි පාරිභෝගිකයන්ට මෙයට වඩා හොඳ අවස්ථාවක් උදා නොවනු ඇත.

 සුගත්