කෙනකුට ඇතිවෙන හදවත් රෝගයක් කල් තබා හඳුනා ගැනීමට හැකි උපකරණයක් මේ වනවිට ශ්‍රී ලාංකික ඉංජිනේරු පිරිසක් විසින් නිර්මාණය කර තිබේ. හදවත සහ රුධිර සංසරණ පද්ධතියේ ඇතිවන යම් ගැටලුවක් මගින් හදවත් රෝගයක් ඇතිවීමට කලකට පෙර මිනිසාගේ රුධිර නාලවල යම් වෙනස්කම් කිහිපයක් ඇතිවීම පදනම් කර ගනිමින් මේ උපකරණය නිර්මාණය වෙයි. විශේෂයෙන් රුධිර වාහිනී ඇතුළත බිත්තිවල වෙනස්කම් සිදුවී එය විනාශ වීමේ තත්ත්වය මෙම නව නිපැයුම් උපකරණ මගින් හඳුනා ගැනීමේ අවස්ථාව උදා වෙයි. මීට පෙර මේ සම්බන්ධයෙන් පෙර හඳුනා ගැනීමට හැකි ක්‍රමයක් නොතිබිණි. නමුත් තාක්ෂණය දිනෙන් දින දියුණු වීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළේය.
''මීට අවුරුදු හත අටකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු (Biomedical engineering) අංශය ආරම්භ වීමත් සමඟ කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකට එක්ව මෙය පර් ෙය්ෂණ මට්ටමින් ආරම්භ කළා. ඒ 2014 – 2015 අතර කාලයේදියි. මේ සම්බන්ධයෙන් ජපානය, ඊශ්‍රායලය, රුසියාව සහ අමෙරිකාව පර් ෙය්ෂණ පැවැත්වුවා. මේ අනුව අපි කරපු පර්යේණවල යම් සාර්ථකත්වයක් ඇති බව අපිට තේරුණා. ලෝකයේ හදවත් රෝග සහ රුධිර සංසරණ පද්ධති රෝග නිසා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මියයන බව අපි කළ පරීක්ෂණවලින් අපට හඳුනා ගැනීමට හැකිවුණා. විශේෂයෙන් මැදි වයසේ පසුවන පුද්ගලයන් මේ තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන බවක් අපි සොයා ගත්තා. ඒ නිසා මෙවැනි නව නිපැයුමක් සොයාගතහොත් මැදි වයසේ රෝගීන්ගෙන් මියයන සංඛ්‍යාව 50% කින් අවම කරගත හැකි බවද අපි සොයා ගත්තා. එය ලෝකයටම විශාල අවස්ථාවක්. මේ නිසා මෙම පර් ෙය්ෂණය ඉදිරියටම පවත්වාගෙන යාමට අප කණ්ඩායම තීරණය කළා.'' යැයි ඉංජිනේරු කීර්ති කොඩිතුවක්කු මහතා දේශයට පැවසීය.
මේ නිසාම පර් යේෂණ මට්ටමින් පවත්වාගෙන ගිය මෙය නව නිපැයුමක් ලෙස නිර්මාණය කිරීමට මොවුහු කටයුතු කළහ. පර්යේෂණ මට්ටමින් සිදු කරන මෙය නව නිපැයුමක් ලෙස උපකරණයක් නිර්මාණය කිරීමෙන් පසුව එයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගත හැක්කේ කෙසේදැයි මොවුන් සොයා බලා තිබිණි. මේ සම්බන්ධයෙන් රටවල් කිහිපයකම විද්‍යාඥයෝ පර් යේෂණ මට්ටමින් කටයුතු කරමින් පසුවූහ.
මේ නිසාම රට රටවල නිෂ්පාදනය වන නව නිපැයුම් සමඟ තරගකාරී ලෙසත්, සාර්ථක ලෙසත් අඩු මිලට ලබාගත හැකි නව නිපැයුමක් නිර්මාණය කළ යුතු බව ඔවුහු තීරණය කළහ. මේ අනුව ඔවුන් තම නව නිපැයුමේ පර් ෙය්ෂණ කටයුතු සිදු කරන ලද්දේ එම ඉලක්කය අනුවය.
''මේ අනුව අපි මුලින්ම කොළඹ ජාතික රෝහලේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඒ සඳහා ජාතික විද්‍යා පදනමේ (National Science foundation) සහයෝගය ලැබුණා. ඊට අමතරව පෞද්ගලික රෝහල් කිහිපයක් සමඟ ද පර් යේෂණ කරන්න පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් ඒ කාලයේදි ඇතැමුන් ඒ ගැන තිබුණු කැමැත්ත අඩුවීම නිසාත් මේ සම්බන්ධයෙන් දැනුම තිබුණු අය අඩුවීම නිසාත් ඒ කාලයේදී එතරම්ම දිරිගැන්වීමක් අපිට තිබුණේ නැහැ. නමුත් එයින් අපි අධෛර්යමත් වුණේ නැහැ. අපි අපේ පර්යේෂණ නිසි පරිදි කරගෙන ගියා. මේ සම්බන්ධයෙන් අවධානය ජාත්‍යන්තරව ලබාගැනීම සඳහා අපි නව නිපැයුම් තරග කිහිපයකටම මෙය ඉදිරිපත් කර ජයග්‍රහණ අත්පත් කර ගත්තා. ඔය නිසාම පෞද්ගලික රෝහල් කිහිපයකම අවධානය අපේ නව නිපැයුමට ලැබුණා. ඔවුන් අපි හා සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කළා. ඒ නිසාම අපේ ඉදිරි පර් යේෂණ කටයුතු එම පෞද්ගලික රෝහල් තුළම සිදු කරන්න අපිට අවශ්‍ය පහසුකම් ලැබුණා.'' යැයි ද කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.
මේ අනුව මෙම සාර්ථක වුණු නව නිපැයුම භාවිතය සඳහා අවස්ථාව පෞද්ගලික රෝහල් වෙතින් කීර්ති ඇතුළු ඉංජිනේරු පිරිසට ලැබුණි. ලංකාවේ පෞද්ගලික රෝහල් මෙම නව නිපැයුම පිළිගත්තද එයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීමට මෙම කණ්ඩායමට අවශ්‍ය විය. මේ වනවිට ඊශ්‍රාලය ඇතුළු රටවල් කිහිපයක්ම නිර්මාණය කළ නව නිපැයුමට වඩා සාර්ථක ඉදිරියක් තම නිර්මාණයට ඇති බව ශ්‍රී ලාංකික ඉංජිනේරු කණ්ඩායමට තේරුම් ගියේය. ඒ නිසාම ලෝකයම පිළිගත් නව නිපැයුමක් ලෙසින් ඉදිරියට යාමට හොඳම අවස්ථාව ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීම බව ඔවුහු තීරණය කළහ. ඒ සඳහා යම් සැලකිය යුතු මුදලක් වැය වෙයි. ඒ වනවිට මෙම ඉංජිනේරු කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය මුදල ද තිබුණේ නැත. නමුත් මුදල් නොමැතිකම නිසාම තම නිර්මාණය ජාත්‍යන්තරයට ගෙන යන මාවත අතරමග නතර කිරීමටද ඔවුන්ට සිතුණේ නැත. අවසානයේදී ඔවුන්ගේ උත්සාහය සාර්ථක විය.
ඒ වනවිට මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගත් ශ්‍රී ලාංකිකයෙක් සිටියේ නැත. මේ නිසාම මොවුන්ව දිරිගන්වන පිරිසට වඩා ''ඕක හරියන්නේ නැහැ. සල්ලිත් අපරාදේ'' කියමින් ඔවුන්ගේ මානසිකත්වය පහළට ඇද දැමූ පිරිසක් ද සිටියහ. නමුත් කීර්ති ඇතුළු පිරිස එයින් සැලුණේ නැත. ඔවුහු දැඩි අවදානමක් ඇති කටයුත්තකට මුල පිරෑහ. තමන්ට ද ලෝක මට්ටමින් මෙවැනි නිපැයුමක් කළ හැකි බව ලෝකයට පෙන්වීම මොවුන්ගේ අරමුණ විය. එයින් ලබන සාර්ථකත්වය අනුව ලොව බොහෝ රටවලට මෙම නිපැයුම ලබාදීම ඔවුන්ගේ අනාගත සිහිනය විය.
ඒ අනුව ඔවුහු මුලින්ම අමෙරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්‍රය ලබාගත්හ. ඒ සමඟම ඔවුහු ජපන් පේටන්ට් බලපත්‍රය ලබාගැනීමටද අයැදුම් කළහ. එම බලපත්‍රයද ඔවුන්ට හිමිවිය. අවසානයේදී ඔවුන්ට ලංකාවේ පේටන්ට් බලපත්‍රය ද හිමිවිය.
''ලංකාවේ අපිට එකතුවෙලා මෙවැනි නව නිපැයුමක් කරල එය ලෝකයට ගෙනියන්න ඕන වුණා. ජපන් පේටන්ට් බලපත්‍රයේදි ආචාර්ය රේ. විජයවර්ධන මහතා ට්‍රුක්ටරය හැදීමෙන් පසුව එවැනි දෙයක් ශ්‍රී ලංකාවෙන් කරල තිබුණේ නැහැ. ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයෙන් කවුරුවත් කිසිවක් කරල තිබුණේ නැහැ. ඒ නිසා ජපන් පේටන්ට් බලපත්‍රය ලබපු අපිට ලොකු ජයග්‍රහණයක් ලැබුණා යැයි හිතෙනවා. තව නොබෝ කලකින් ලෝකයේ බොහෝ රටවලට මෙම නව නිපැයුම ලබාදීමට අපිට අවස්ථාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි මේ වෙද්දි කටයුතු කරනවා. අද වෙද්දි මෙමගින් පෞද්ගලික රෝහලක නොමිලේ මෙම පරීක්ෂණය සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙයින් කෙනකුට හදවත් රෝගයක් සම්බන්ධවත් පෙර තත්ත්වය හඳුනාගෙන ඒ ඔස්සේ වෛද්‍යවරයකුගෙන් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව තියෙනවා. බොහෝ විට රෝගයේ රෝග ලක්ෂණ මතු වී රෝගය උත්සන්න වීමෙන් පසුවයි හදවත් රෝගය සම්බන්ධව ප්‍රතිකාර ලබාගන්නේ. නමුත් මෙයින් ඒ අවදානම නැති කරනවා.'' යැයි ඉංජිනේරු කීර්ති කොඩිතුවක්කු මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.
මෙම නව නිපැයුම පුද්ගලයාගේ සම විදීමකින් තොරව සිදු කරන පරීක්ෂණයකි. මේ සම්බන්ධයෙන් පමණක් නොව මේ වනවිට මෙම කණ්ඩායම ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයෙන් තවත් නව නිපැයුම් කිහිපයක්ම සිදුකර ඇති අතර ඒවාද සාර්ථක වී තිබේ.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ