2022 ජුනි 12 වන ඉරිදා

ඕනෑම අභියෝගයක් ජය ගන්නෙ කොහොමද?

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 441

ජීවිතය කියන්නෙ නිශ්චිත නියත නිර්වචනයකින් වියුක්ත මහා ගැඹුරු සමීකරණයක්. ජීවත්වීම කියන්නෙ ඒ සමීකරණය විසඳන්න ඒ සමීකරණය තුළින් ගොඩනැගෙන ප්‍රශ්නවලට පිළිතුරු, විසඳුම් හෝ විකල්ප ඉදිරිපත් කරන්න අපි දරන පරිශ්‍රමයක්. 

ඒ පරිශ්‍රමය ගැඹුරේ දුප්පත්, පොහොසත්, කුල, ජාති, ආගම්, පන්ති, සමාජ තත්ත්ව, මොන බෙදීම් තිබුණත් අවසානයේ අපි ඔක්කොම මනුෂ්‍ය කියන මහා පොදු සාධකයට අයත් මැරෙන්න ඉපදිච්ච, එහෙත් මරණය තෙක් ජීවිතය සොයන, වරෙක ජීවිතය අත්හරින, තවත් වරෙක ජීවිතයට ආදරය කරන මිනිස්සු. 

ඇයත් හොයන්නෙ ජීවිතය. අවසාන අර්ථයෙන් ඒ තමයි ඇත්ත... කවුද ඇය... ඇය මල්ලිකා  රෝහිණී. ජීවත් වෙන්නෙ අම්බලන්තොට රණවිරු ගම්මානයක... ඇගේ කතාව මම කියෙව්වේ ඇය ගැන කියන ප්‍රවෘත්තියකින්... ඇගේ කතාව අසද්දී හෘද සංවේදී අනුකම්පාවක් හුස්මක් වැටෙන හදවතක් ඇති කිසිම කෙනෙක්ට නොදැනෙන්න විදිහක් නැහැ....

පෙදරේරුවෙක් වශයෙන් රුකියාව කළ ඇගේ සැමියා මිය යන්නේ රුකියාවේ නියැලෙන අතරතුර ගොඩනැගිල්ලක ඉහළ මහලයක සිට ඇද වැටීමෙන්. එතැන් සිට තමන්ගේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් ප්‍රාණ වායුව දෙන්න ඇය තෝරාගන්නා රුකියාව පොල් ගස් සහ තැඹිලි ගස් නගිමින් ගෙඩි කඩන එක. කුලියට වගේම තමන්ගේ වත්තෙ පොල් ගෙඩි, තැඹිලි ටික කඩාගෙන බයිසිකලේ බැඳගෙන ගිහින් විකුණන එක..

දරු පැටවුන්ගේ සාගින්න නිවන්න ජීවිතය සමඟ එහෙව් අරගලයක යෙදෙන ඇය දරුවෙක් සමඟ අසරණ වූ අසනීප තත්ත්වයකින් පෙළෙන ඇගේ ඥාති සොයුරියකට හා ඇගේ දියණියට රුකවරණය සලසමින් උපයන දෙයින් ඔවුන්ගේ සාගින්න නිවන්න තරම් සානුකම්පික වෙන්නේ මනුෂ්‍යත්වය මානව දයාව සහ ආදරය ගැන අතිශය සංවේදී පාඩමක් අපි හැමෝටම කියලා දෙමින්..

ඇයත් හොයන, ඇයත් ඉල්ලන, ඇයත් ප්‍රාර්ථනා කරන, ඇයත් බලාපොරොත්තු වෙන ජීවිතයක් ඇයටත් ඇති ඔබට මට වගේම... ජීවත් වෙන්න දාහක් දේ තියෙද්දි ජීවිතය අත්හරින්න එක් හේතුවක් හොයන නොපැසුණු බියගුලු මිනිසුන් අතර මම ඇය දකින්නේ අප්‍රමාණ දිරිමත් ශක්තිමත් ගැහැනියක් විදිහට. ජීවිතය විචාරශීලීවත් තාර්කිකවත් දකින ගැහැනියක් කියන්නෙ මහ පොළොවක් වගේ දරාගන්න, ඉවසන්න සහ ඕනෑම කම්පනයකට බියෙන් තොරව අකම්පාව මුහුණ දෙන්න පුළුවන් මහා හයියක් තියෙන ගැහැනියක්. ජීව විද්‍යාත්මකව විවරණය කෙරෙන ගැහැනිය අභිබවා යන්න එහෙම ගැහැනියකට ජීවිතයේ අත්දැකීම් ඔස්සේ උකහාගන්නා පන්නරය විසින් පුදුමාකාර පෙළඹවීමක් ඇති කරනවා. 

සියුමැලි ඇඟිලි අග්ගිස්සෙන් ලස්සන පාට මෝස්තර ඇතුව ජීවිතය නම් කලාලය වියන්න වගේම ඕනෑම දුෂ්කර මාවතක් ඔස්සේ ඉවසිලිවන්තව අභියෝගාත්මකව ජීවිතය රුගෙන යන්නත් සැබෑ ගැහැනියකට ශක්තිය තියෙනවා....

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේම බෝධිසත්ත්ව පාරමිතාවක් පූරණය කළ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට පාද පරිචාරිකාව වෙමින් අප්‍රමාණ දුක් වේදනා අත්හැරීම් ඉවසාගෙන මවක සේ ඔහුට ජීවනය දෙමින් සසර මඟ සෙවණැල්ලක් වූ යශෝධරා කුලයේ වටිනාකම් හඳුනන ගැහැනුන් තවමත් විරල ලෙස හෝ මේ සමාජය තුළ ජීවත් වෙනවා... එවන් ගැහැනුන් වෙනුවෙන් නිබ්බුත පද නොගැයුනාට දියණිය, බිරිඳ, මව, ගැහැනිය මේ සියලු භූමිකාවන්හි සරමින් ඇය ඇගේ මෙහෙවර නිහඬව ඉටු කරනවා...
ජීවිතය හමුවේ නොසැලී ඕනෑම අභියෝගයකට නොසෙල්වී මුහුණ දෙන ශක්තිය මනස තුළ නිර්මාණය කර ගන්නෙ කොහොමද... අපි ඒ ගැන මනෝ විද්‍යාත්මකව කතා කරමු. 

දෙවියන්ට සියල්ල කළ හැකි බවට ලෝකයේ ඇතැමුන් විශ්වාස කළද දෙවියන් නිර්මාණය කරන්නේද මිනිසා විසින් බව කිව යුතුයි. මිනිසා යනු අපූර්ව සත්ත්වයෙක්. මිනිසාට බොහෝ දේ කළ හැකියි. වර්තමාන ලෝකයේ නිර්මාණය කර ඇති අපූර්ව නිර්මාණ දිහා බැලුවම මිනිසාගේ ශක්තිය මනාව පැහැදිලි වෙනවා. 

අපට අභියෝගවලට නොසැලී මුහුණ දීමට අවශ්‍ය ශක්තිය අපගේ මනස තුළ පැහැදිලි ලෙසම ගොඩනගා ගන්නට පුළුවන්. මනස කියන්නෙ අපූර්ව ශක්තියක්. මනසින් සිතන දේ තමා අපි චර්යාවෙන් ක්‍රියාත්මක කරන්නෙ. අපට ඇතිවන අභියෝග සියල්ල ඒ මානසික ශක්තිය තුළින් ජයගන්නට පුළුවන්. 

ජීවිතයට එල්ලවන අභියෝග ජයගන්නට නම් සැලැස්මක් සාදන්න. අනාගතයේදී කුමක් සිදුවේදැයි ඔබ නොදන්නවා වුවද, ඔබට සැමවිටම ඔබගේ අනාගතය කල්තියා සැලසුම් කරන්නට පුළුවන්. ඔබේ ජීවිතය ගලා යන ආකාරය දෙස විචක්ෂණශීලීව බලන්න. ඔබ මුහුණ දුන් අභියෝග මොනවාදැයි බලන්න. ඔබගේ අභියෝග පැහැදිලිව හඳුනාගෙන ඔබට ඒවා සාක්ෂාත් කරගත හැකි ආකාරය පිළිබඳ සැලැස්මක් සාදන්න.

ඔබට මුහුණ දිය හැකි අභියෝග මොනවාදැයි හඳුනාගත හැකි නම්, අභියෝග ජයගන්නා ආකාරය ඔබට කලින් සැලසුම් කරන්නට පුළුවන්. මෙය වැඩිහිටියන්ට මෙන්ම පාසල් සිසුන්ටද එසේමයි. 

සෑමවිටම ඔබ තනි වී නැති බව දැනගන්න. ඔබ වෙනුවෙන් ඔබ සිටින බව විශ්වාස කරන්න. තමා හිසට තම අතමය සෙවණැල්ල යන වදන සිහියට ගන්න. එවිට ඔබ තනි වී නොමැති බව ඔබට වැටහේවි. 

ඔබ අමිහිරිව අත්විඳින්නේ කුමක් වුවත්, ඊට මුහුණ දුන් තවත් අය ද ලෝකයේ සිටින බව අමතක නොකරන්න. ඔබ පළමුව ඔබට ආදරය කරන්නේ නම් ඔබ කිසිවිටෙකත් තනි නොවේ. ඔබ වටා සිටින අන් අයද ඔබ වටා එකතු වනු ඇත. 

ඔබට දැඩි ලෙස හුදෙකලා බවක් දැනේ නම්, අසරණ බවක් දැනේ නම්, ඔබට උපකාර සොයාගත හැකියි. ඔබට වෙනත් අයගේ උදව් අවශ්‍ය නම් උදව් ඉල්ලීමට ලැජ්ජා විය යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනෙකු, ආගන්තුකයෙකු, උපදේශකයෙකු හෝ මිතුරෙකු මත විශ්වාසය තැබීමට තෝරාගත්තද, ඔබට සාර්ථක වීමට උපකාර කිරීමට කැමති අය මිනිසුන් අතර අනන්තවත් සිටින බව අමතක නොකරන්න. 

උදව් ඉල්ලීම කාසියේ එක් පැත්තක් පමණයි. කාසියේ අනෙක් පැත්තෙන්, ඔබ විවෘතව සහාය පිළිගැනීමට කැමති විය යුතුයි. ඔබේ උදව්වට එන අය ඇත්තටම ඔබ ගැන සැලකිලිමත් වෙනවා. ඔබට අවශ්‍ය විටෙක උපකාර ලබාගැනීමට විවෘතව සිටින්න.
අසාර්ථක වීමේ බිය නිසා හෝ තීරණයක් ගැනීමට ඇති බිය නිසා ඔබ අභියෝග පිළිබඳව සුළුකොට සිතන්නට පුළුවන්. එහෙත්, ජීවිතයේ විශාල අභියෝග ඉටුකර ගැනීමට, ඔබ අවදානම් ගැනීමටද විවෘත විය යුතුයි. ජීවිතයට කුමන අභියෝග පැමිණිය හැකි වුවත්, සෑමවිටම ධනාත්මකව සිතන්න. ලොකුවට සිහින දකින්න. එමගින් ඔබ සිතුවාට වඩා වැඩි යමක් ඔබට අත්කර ගත හැකියි.  

 ජීවිතයට එන අභියෝග බාරගැනීමට නම් ධනාත්මක මානසිකත්වය අතිශය වැදගත් වෙනවා. ඔබ සිතන දේ අනිවාර්යයෙන්ම ඔබේ යථාර්ථය බවට පත්වෙනවා. සෑමවිටම ධනාත්මකව සිතීමට ඔබේ මනස පුහුණු කරන්න. මේ සඳහා කාලය සහ පුහුණුව යන දෙකම වැදගත් වෙනවා. එය ආරම්භ වන්නේ තමාගේ මනස පිළිබඳ මානසික දැනුවත්භාවයෙන්. ඔබට සිහිය පිහිටුවීමේ ශිල්පීය ක්‍රම සහ භාවනාව තුළින් තමාගේ මානසික දැනුවත්භාවය පුහුණු කරන්න පුළුවන්. ඔබට එය තනිවම කරගත නොහැකි නම් මානසික දැනුවත්භාවය පුහුණු කිරීමට ශිල්පීය ක්‍රම දත් පුද්ගලයෙකුගේ සහාය ලබාගන්නට පුළුවන්. ඔබේ ධනාත්මක සිතුවිලි පිළිගැනීමට සහ සෘණාත්මක සිතුවිලි බැහැර කිරීමට ඔබ දක්ෂ වූ විට අනිවාර්යයෙන්ම ඔබට අභියෝග ජයගෙන ඉදිරියට යන්නට පුළුවන්. 

ඔබට අභියෝගයක් ඇති වූ විට අත්නොහරින්න! නොපසුබට උත්සාහය අභියෝග ජය ගැනීම සඳහා විශාල යතුරකි. අත්හැරීම යනු ඔබ අභියෝගය ජය ගැනීමට හෝ එයින් ඉගෙන නොගන්නා බවයි.

ජීවිතයේ අභියෝග ජයගැනීමට නම් වෙහෙස මහන්සි නොබලා බුද්ධිමත්ව වැඩ කරන්න.  සාමාන්‍යයෙන්, යමක් කිරීමට ක්‍රම එකකට වඩා තියෙනවා. කෙසේ වෙතත්, යමක් කිරීමට සෑමවිටම එක් ප්‍රශස්ත ක්‍රමයක් හෝ හොඳම ක්‍රමයක් තියෙනවා.වෙහෙස මහන්සි වී වැඩ කිරීමට වඩා දක්ෂ ලෙස වැඩ කිරීමට ආරම්භ කරන්න. එවිට ඔබට නියත වශයෙන්ම අභියෝග ජයගන්නට පුළුවන්. අනාගතය සාර්ථක කර ගන්නට පුළුවන්. සතුටින් ජීවත් වෙන්නට පුළුවන්.