2022 ජුනි 12 වන ඉරිදා

විජයලා-කුවේණිලා අදටත් එහෙමයි...

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 102

ඇය කුවේණි. කුමරෙක් යැයි කියන සෙල්ලක්කාර විජය එහෙන් එලෙව්වාම මුහුදෙන් ඇවිත් ගොඩබැස්සෙ මෙහාට. එදා විජය ලංකාවේ වෙරළට පා තියද්දි කුවේණිය හිටියේ කපු කටිමින්. එහෙම තමයි ඉතිහාසේ කියන්නේ. ඒ ඉතිහාසයට අනුව ඇය යක්ෂ ගෝත්‍රික ගැහැනියක්. කුවේණිය විජය කෙරේ බැඳුණේ ළය ලෙය විනිවිද ගිය ප්‍රේමයකින් වුණාට විජයට කුවේණිය කියන්නේ ජීවිතේ හමුවූ තවත් එක ගැහැනියක් විතරයි. ගෝත්‍රය යක්ෂ වුණත් කුවේණිය කියන්නේ යක්ෂණියක් නෙවෙයි.යක්ෂණියක් වුණත් පරිපූර්ණ ගැහැනුකම තුළ මම විශ්වාස කරනවා ඇය ආදරේ ළඟ දේවතාවියක් කියලා. හුඟාක් පිරිමින්ට ආදරේ කියන්නෙ ජීවිතේ එක මොහොතක්, එක තිතක්, එක ගනුදෙනුවක් විතරක් වුණාට ගැහැනුන්ට ආදරේ කියන්නෙ තමන්ගේ ජීවිතය, තමන්ගේ ප්‍රාණය, තමන්ගේ ආත්මය. ඒ ආදරය රැකගන්න ඈට කළ නොහැකි පරිත්‍යාගයක්, කැපකිරීමක් නැති තරම්. ගැහැනියකගේ ආදරය සහ පිරිමියකුගේ ප්‍රේමය අතර අහස පොළොව තරම් විසල් වෙනසක් තියෙන්නේ ඒ හින්දා.. ඔව් හුඟාක් තැන්වලදි එහෙව් වෙනසක් තියෙන්නේ අන්න ඒ හින්දා.

එදා කුවේණියගේ ආදරය විජයට ඔටුන්න කරා යන මාවතට ඉනිමඟක්  කර ගන්න ඕන වුණා විතරයි. ඒත් කුවේණිය තමන්ගේ සනුහරේම අත්හරිමින් විජය එක්ක ආවේ තනි ගමනක්. ඇයට පුළුවන් වුණාට ආදරේ වෙනුවෙන් තමන්ගෙ සනුහරේම අත්හරින්න, විජය කවදාවත් තමන්ගේ පිරිවරවත් සම්ප්‍රදායවත් අත්හරින්න ලෑස්ති වුණේ නෑ. ඔටුන්න අත්පත් කර ගැනීමේ අරගලය දක්වා යක්ෂ ගෝත්‍රික ගැහැනියක්  ළඟ  තබාගැනීම වරදක් නොවුණු විජයට රජෙක් ලෙස ඔටුනු පළඳින්න යද්දි සරණෙට කුමාරිකාවක් උවමනා වුණේ ඇයි? රුජිනක් වගේ වුණු කුවේණිය කුමාරිකාවක ලෙසින් සරණ පාවාගන්නට පිරිමි පිට කොන්දක් විජයට නැතිවුණේ ඇයි? යහන්ගත වෙන්න, තමන්ගෙ ලෙයින් දරැවන් බිහි කරන්න කුවේණිය සුදුසු වී නම් රජෙක් ලෙස රජ වෙච්ච ඒ සල්ලාල විජයට සරණ බන්ධනයට කුවේණිය නොසෑහුණේ ඇයි? ඇගේ සියලු සාරය උරා බී ඉනික්බිති ලෙයින් සහ ප්‍රාණයෙන් වියුක්ත ඇගේ ජීවිතය, ඇගේ ආත්මය සරණක් නැති මහ පාරට ඇද දැමූ විජයලා ජීවත් වුණේ අතීතයේ විතරක් නෙවෙයි. අදටත් එවන් විජයලා මේ මහ පොළොවේ ඕන තරම් පැල වෙනවා.

මම විශ්වාස කරනවා දෙවියන් සහ දේවත්වය, ඒ කියන්නේ මේ සොබාදහම. සොබාදහමින් පිට දෙවි කෙනෙක් මේ ලෝකෙ හිටිය නම් එදා කුවේණියගේ පටන් මේ මහ පොළොව මත උපන් අනේක ගැහැනුන්ට විඳින්න වෙච්ච වේදනාත්මක ජීවන කම්කටොලු අබියස ඇස් කන් පියාගෙන ඉන්න විදිහක් නෑ. සොබාදහමේ යුක්ති ධර්මය සහ විනිශ්චය ඇරෙන්න දෙවියන් කවද්ද මිනිස්සුන්ට කළ වැරදිවලට දඬුවම් දුන්නේ. ඒ නිසා මම විශ්වාස කරන දෙවියන් සහ දේවත්වය කියන්නෙ මේ සොබාදහම  විතරයි.

නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරී
යස්සායං ඊධි සෝපති

මෙවන් පුතෙක් ලද මවක්, මෙවන් පුතෙක් ලද පියෙක්, මෙවන් සැමියෙක් ලද බිරිඳක් වාසනාවන්ත යැයි කියමින් සිදුහත් කුමරැ වෙනුවෙන් නිබ්බුත පද ගැයුණාට කල්ප චාරිකාවක් පුරා සංසාර වීදියෙන් විදියට සිදුහත් කුමරැ පැමිණි මඟ ඔහුට සසර සෙවණැල්ලක් වෙමින් ඔහු වෙනුවෙන් ළය ලෙය අක් මුල් දක්වා ගැඹුරටම විහිද ගිය අප්‍රමාණ මාතෘ ස්නේහයකින් ඔහු රුකගත්, ඔහුට ආදරය කළ, අවසන් භවයේ දී ඔහුට අවැසි මඟ යන්නට ආදරය අවසන් නොකළත් ආදරයේ ගමන්මඟ අවසන් කරමින් දරැවකු හා තනි වූ යශෝධරා වෙනුවෙන් අද ගැයුණු නිබ්බුත පද එදා ගැයුණේ නෑ. සිදුහත් කුමරැ වෙනුවෙන් රජ සැප අත්හරිමින්, දුහුල් සළු පිළි අබරණ රස මසවුළු අත්හරිමින් දුෂ්කර ජීවන සම්ප්‍රදායකට අනුගත වෙමින්, දුකින් පෙළෙන සියලු ලෝවාසීන් සුවපත් කරනු පිණිස ඔබ වහන්සේට හැකි වේවායි අප්‍රමාණ භක්ත්‍යාදරයෙන් ස්නේහයෙන් පැතූ යශෝධරාවගේ ආදරයේ ගමන්මඟ, ආදරයේ වර්ණය, සිදුහත් කුමරැගේ ආදරයට පවා සම කළ නොහැකි තරම් අප්‍රමාණ ගැඹුරැයි. 
සිදුහත් කුමරැ සසරමඟ පිරෑ පාරමිතා වෙනුවෙන් ඇය ඇදි දරදිය අප්‍රමාණයි.. අනන්තයි.

සැබැවින්ම ගැහැනියක් යනු කවුරැන්ද යනු ප්‍රතිමූර්තිමත් කිරීමට ය‍ශෝදරාව තරම් සංනිදර්ශනයක් එදා මෙදා තුර මේ ලෝකේ තවත් නැහැ කියලයි මම හිතන්නේ. ඇය මහා වනස්පතියක්. බුදුන් වහන්සේ ළඟ ඇය පුංචි පැලයක් සේ වුවත් මේ මහා ලෝකය අස යශෝධරාව කියන්නේ මහා වනස්පතියක්.

කිසිවක්ම නොඉල්ලමි
ආදරය හැරෙන්නට....

ඇත්තටම ගැහැනියක් හුඟක් වෙලාවට පිරිමියෙක්ගෙන් ඉල්ලන්නෙ එච්චරයි. ඒත් හුඟාක් ගැහැනුන් පිරිමියෙක්ගෙන් ඇත්තටම නොලබන්නේත් ඒකමයි. තුත්තිරි සේ ඕනෑම සළුවක රේන්දයක  දැවටෙන්න, ඇමිණෙන්න, පැටලෙන්න හුඟක් පිරිමින්ට පුළුවන් වුණාට වෙසඟන මානසිකත්වයෙන් යුක්ත ගැහැනියකට හැරෙන්න සැබැවින්ම ආදරය හඳුනන කිසිම ගැහැනියකට එදා සඳගිරි පව්ව මත සඳකිඳුරා වෙනුවෙන් ජීවිතය ඇයදී සඳකිඳුරිය මිසක් අම්බපාලියක් වෙන්න බැහැ කවදාවත්.

සත්‍ය වශයෙන්ම ගැහැනියකගේ සැබෑ ආදරේ කියන්නෙ මහ ඇත් රජෙකුට ඇත් දළ යුවලක් වගේ. නියං සායට වහින වැස්සක් වගේ. අතු පතර විහිදා වැඩෙන මහා ගසක් සරසන රිසියෙන්ම පූදින රස සුවඳ වෑස්සෙන කැකුලක් මලක් ඵලයක් වගේ.
ආදරය හා බැඳි තෘෂ්ණාව බුදුන් වහන්සේ බුද්ධත්වය අස අත්හැරියත් අප්‍රමාණ මෛත්‍රියකින් යුත් උන්වහන්සේගේ කෘතවේදීත්වය දිගු සසර ගමන්මඟ භවයෙන් භවය පුරා බුද්ධත්වය සාක්ෂාත් කරනු පිණිස වූ ප්‍රාර්ථනාව වෙනුවෙන්ම ජීවිතයම දිය කළ යශෝධරාවෝ වෙනුවෙන් පුද කරන්න මොහොතක්වත් පසුබට වුණේ නැහැ. සසර මඟ නිම කරන්නට අවසර ඉල්ලමින් ඔබ වහන්සේ ජීවිතය හැර යන්නට පෙර මට ජීවිතේ අත්හරින්න ඉඩ දෙන්න යැයි ඉල්ලූ යශෝධරාවට ඒ අවසරය පිරිනමමින් ඈ ගුණ වයා සමුගෙන ගිය ඉනික්බිති ද ඇයට නිර්මල ලෙස කෘතවේදීත්වය පළ කළ බුදුන් වහන්සේ මේ ලෝකයේ හැම පිරිමියෙකුටම කියා දුන්න ලස්සනම ජීවන ආදර්ශය තමයි කතර සසරට මහ වැස්සක් සෙයින් දැනුණු නුඹ ජීවිතයේ හිඳින ගැහැනියට ඇත්තටම ආදරේ කරන්න කියන එක.

අහසක් ලෙසින් චෝදනා ලද්දත්, පොළොවක් ලෙසින් වේදනා ඉසිලුවත්, ඒ සියල්ල අකම්පාව දරාගෙන ඉන්නට සොබාදහම ඇයට තිළිණ කළ ශක්තිය අප්‍රමාණයි. ඉසියුම්  සියුමැලි මලක් ලෙස මෙන්ම මහා කළුගලක් ලෙසද ජීවිතය  සමඟ  අරගල කරන්නට සොබාදහම විසින් ඇයට දායාද කළ අනුහස් අප්‍රමාණයි. සැබෑ ගැහැනිය යන ප්‍රතිමූර්තිය තුළ ජීවනය  ලබන සෑම ගැහැනියකුටම ඒ විනිශ්චය එනයින්ම සාධාරණයි.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

මේ ලෝකයේ හැම පිරිමියෙකුටම ගැහැනියක විෂයෙහි චින්තනය ඒසා පරිවර්තනයක් ඔස්සේ යාවත්කාලීන කළ හැකි නම් නිසැකයෙන්ම හෙට තව සුන්දරයි

ඔව්.. නිසැකයෙන්ම හෙට දවස සුන්දරයි.

 සංජු