2022 ජුනි 12 වන ඉරිදා

ඉන්ධන නැතිව කොට උඩ ගිය ධීවරයන්ගේ ජීවිතේ

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 98

රට වටේම මුහුදය. එහෙත් මාළු ගිනි ගණන්ය. මාළු මිල අහස උසට නැඟ ඇත්තේ රටේ පවතින ඉන්ධන හිඟය හා අධික මිලට පින්සිදු වන්නටය. දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසීරුතාවයක් පවතින බැවින් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ත දිවයිනේම බහුදින යාත්‍රා හිමියන් ධීවර කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය. 

ඉන්ධන හිඟය එදිනෙදා මුහුදු යන කුඩා බෝට්ටු ධීවරයාට මෙන්ම මසක් හෝ ඊට වැඩි කාලයක් එකදිගට ඈත මුහුදේ මසුන් මැරීමේ යෙදෙන බහුදින යාත්‍රාවලටද බලපා තිබේ. මෙරට බහුදින යාත්‍රා 5000ක් පමණ ඇතැයි පැවසේ. ඉන්ධන අර්බුදය නිසා මසුන් ඇල්ලීමට මුහුදු යෑමට නොහැකිව ඉන් යාත්‍රා 3000ක් පමණ මාසයක පමණ සිට ධීවර වරායන්වල ගාල්කර ඇතැයි සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා සඳහන් කරයි.. තංගල්ල, කුඩාවැල්ල, හම්බන්තොට, කිරින්ද, මීගමුව, ගන්දර, මිරිස්ස ඇතුළු දිවයිනේ සියලු ධීවර වරායන්හි මෙම යාත්‍රා ගාල් කර ඇති අතර මෙම බෝට්ටු ප්‍රමාණයෙන්  එක්දහස් හයසීයක් පමණ ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා අනුමැතිය ලත් ඒවාය. වෙනදා වසරකට බහුදින යාත‍්‍රාවක් ගමන් වාර 08ක් පමණ ගියද මේ වන විට වසරකට ගමන් වාර 04ක් වත් යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි පැවසේ. බහුදින යාත‍්‍රා හිමියන් එම යාත්‍රා මිලට ගෙන ඇත්තේ බැංකු ණය මගිනි. මේ වනවිට ඒවායේ වාරික ගෙවීමට ඔවුනට නොහැකි වී තිබේ.  මුහුදු යාමට නොහැකිව වරායවල නවතා තැබීම හේතුවෙන් බහු දින යාත්‍රාවල සේවය කරන ධීවරයන් සහ ආශ්‍රිත රුකියාවල නිරත වූ ලක්ෂ 02ක පමණ පිරිසක් මේ වනවිට අපහසුතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය සඳහන් කර තිබේ.

අඩි 50 සහ 60 බහුදින යාත්‍රාවකට එක් මුහුදු ගමනක් සඳහා ඩීසල් ලීටර් 11,000ක් 12,000ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඉන්ධන මිල ඉහළ යෑමට පෙර විශාල බහුදින යාත්‍රාවකට එක් මුහුදු ගමනක් සඳහ  ඉන්ධන සඳහා  වැය වූයේ ලක්ෂ 30ක පමණ මුදලකි. එහෙත් මේ වනවිට ඉන්ධන සඳහා පමණක් රුපියල් ලක්ෂ 45ක 50ක පමණ මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි බහුදින යාත්‍රා හිමිකරුවෝ පවසති. ඉන්ධන මිල වැඩිවීමට පෙර කුඩා ප්‍රමාණයේ බහුදින යාත්‍රාවකට වැයවූයේ ලක්ෂ 10ත් 15ත් අතර ප්‍රමාණයක් වුවද එය මේ වනවිට ලක්ෂ 30 දක්වා වැඩි වී ඇතැයිද ඔවුහු සඳහන් කරති. මහ පරිමාණ බහුදින යාත්‍රා මගින් අල්ලා ගන්නා ටූනා වැනි මත්ස්‍ය වර්ග වැඩි වශයෙන් අපනයනය සඳහා යොදා ගැනේ. පසුගිය වසරේ මත්ස්‍ය අපනයනයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 380ක් පමණ උපයා ගැනීමට හැකිවී තිබේ.

මේ වනවිට අපට බලපාන ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ රටට අවශ්‍ය ඉන්ධන ටික, ආහාර ටික මිලදී ගැනීමට අවශය විදේශ විනිමය නොමැතිකමය. රටට ඩොලර් ගෙනෙන බහුදින යාත්‍රා ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන ලබා දී ඔවුන් අල්ලන මසුන් අපනයනය කොට රටට ඩොලර් ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකසා දෙන ලෙස බහුදින යාත්‍රා හිමිකරුවෝ මෙන්ම ඒවායේ සේවය කරන ධීවර ප්‍රජාවද රජයෙන් ඉල්ලා සිටිති. මේ වන විට ධීවර ආම්පන්නවල මිලද අහස උසට නැඟ තිබේ. මාසයකට අධික කාලයක් මුහුදේ සිටින බහුදින යාත්‍රාවකට තමන් අල්ලා ගන්නා මසුන් නරක් නොවී තබා ගැනීම සඳහා අයිස් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එක් ගමනකට අයිස් හොණ්ඩර 500ක් පමණ ඔවුහු රුගෙන යති. එහෙත් විදුලි අර්බුදය හේතුවෙන් අයිස් කම්හල් වැසී යන තත්ත්වයක් උද්ගතව තිබේ. තිබෙන අයිස් කර්මාන්තශාලාවලින් නිපදවන අයිස් ප්‍රමාණය සියලු බහුදින යාත්‍රාවලට ප්‍රමාණවත් නොවේ. අයිස්වල ප‍්‍රමිතියද අවමය. එබැවින්. ඒවා කඩිනමින් දියවෙයි. තමන් අල්ලා ගන්නා මත්ස්‍ය අස්වැන්න නරක් නොවී තබා ගැනීම ධීවරයන්ට විශාල ගැටලුවක් වී තිබේ.  

බහුදින යාත්‍රාවක එක් ගමන් වාරයක් සඳහා අවම වශයෙන් ගෑස් සිලින්ඩර් හතරක් පමණ අවශ්‍ය වේ. ඒ ධීවරයන්ට තම ආහාර සකස් කර ගැනීම සඳහාය. වර්තමානයේ ඉන්ධන මිල, ගෑස් මිල, එළවළු හා අනෙකුත් ආහාර මිල මෙන්ම මසුන් මැරීමට යොදාගන්නා උපකරණවල මිල 30%කින් 40%කින් පමණ වැඩිවී ඇතැයි ධීවරයෝ පවසති. වෙනදා රුපියල් 45000ට තිබූ දැල්පීස් එකක් වර්තමානයේ රුපියල් 83000ක් පමණ වේ. ආහාර, ජලය, ඉන්ධන, අයිස් වැනි සියලු අවශ්‍යතා සහිතව බහුදින යාත්‍රාවක් දියත් කිරීමට අවම වශයෙන් ලක්ෂ 70ක පමණ මුදලක් වැය වන බව පැවසේ. එහෙයින් අවම වශයෙන් එක් ගමනකදී කෝටි දෙකකට වැඩි වටිනාකමක් ඇති මසුන් ප්‍රමාණයක් අල්ලාගත යුතුය. එසේ නොමැති නම් ඔවුන්ට මහන්සියේ තරමට ප්‍රතිපලයක් නොමැත. අද මුළු දිවයිනේම ධීවර කර්මාන්තයෙන් දිවි රුකගන්නා පවුල් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් සිටිති.

අපට පාඩු  විඳින්න  බැහැ. ඒ හින්දා අපි සංගමයක් වශයෙන් තීරණයක් ගත්තා සියලුම දෙනා බෝට්ටු ටික වරායවල නවතා තබන්න. සියලුදෙනාම බැංකු ණය අරගෙන තමයි මේ යාත්‍රා අරන් තියෙන්නෙ. අපි පහුගිය අවුරුද්දේ රජයට ඩොලර් මිලියන තුන්සිය අසූවක් පමණ උපයලා දුන්නා. ඒ නිසා අපට ඩීසල් සහනයක් ලබාදෙන්න කියලා අපි යෝජනා කරනවා. යැයි බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා සඳහන් කරයි. ධීවර ප්‍රජාව රජයෙන් ඉල්ලා සිටින්නේ තම රුකියාව කරගෙන යෑමට අවශ්‍ය ඉන්ධන සහන මිලකට ඉන්ධන ලබාදීමට පියවර ගන්නා ලෙසටය.

එක්දින ධීවර යාත‍්‍රාද (කුඩා බෝට්ටු) භුමිතෙල් නොමැති නිසා අසරණ වී සිටිති. ඔවුන්  දිනපතා මුහුදු යන පිරිසක් වන අතර. එක්දිනක් මුහුදු ගියොත් පසුදින භූමිතෙල් පෝලිමේ රුඳී සිටින්නට ඔවුනට සිදුවන බැවින් එදිනට තම කර්මාන්තයේ නියැලිය නොහැකිය. එමෙන්ම නිකුත් කරනු ලබන්නේද සීමිත භූමිතෙල් ප්‍රමාණයකි. එහෙයින් තම ජිවනෝපාය අහිමි වී ඇතැයි බොහෝ ප්‍රදේශවල කුඩා බෝට්ටු ධීවරයෝ මැසිවිලි නඟති. ත්‍රිකුණාමලයේ ධීවරයන් පිරිසක් ප්‍රකාශ කරන පරිදි එම ප්‍රදේශයට භූමිතෙල් ලැබෙන්නේ සතියට එක් දිනක් පමණි. දහසක් පෝලිමේ සිටියද භූමිතෙල් ලැබෙන්නේ සියයක් දෙසීයක් පමණ පිරිසකට පමණි. ලැබෙන භූමිතෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් වැඩිදුරක් ගොස් මසුන් ඇල්ලීමට තමන්ට නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති. තමන්ට වෙනත් කිසිදු ආදායමක් නොමැති හෙයින් තෙල් නොමැති දිනවලට තම දරු පවුල්වලට සිදුවන්නේ කුසගින්නේ සිටින්නට යැයිද ඔවුහු පවසති. ලංකාවේ කුඩා බෝට්ටු 35,000ක් පමණ ඇතැයි පැවසේ. එක් කුඩා බෝට්ටුවකට දිනකට භූමිතෙල් ලීටර 20ක් පමණ අවශ්‍යය. මෙරට මාළු වෙළෙඳසල්වලට අවශ්‍ය කුඩා මසුන් සැපයෙන්නේ මෙම කුඩා බෝට්ටු මගිනි. ඉන්ධන වියදම වැඩිවීම සහ අයිස් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහාද විශාල වියදමක් දැරීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට ලැබෙන්නේ ඉතා සුළු ලාබයකි. මසුන් අඩුවෙන් හසුවූ දිනවලට අතින් පාඩුය. මේ වනවිට කුඩා බෝට්ටු සඳහා ඉන්ධන ලැබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් 20%ක් පමණ ප්‍රමාණයක් බවත් ධීවර යාත්‍රා 12000ක් පමණ මුහුදු ගමන් අතහැර දමා ඇති බවත් ධීවර සමිති සඳහන් කරයි. මැයි, ජූනි, ජූලි අගෝස්තු යන මාස ලංකාවේ වැඩිම මත්ස්‍ය අස්වැන්නක් ලබාගත හැකි කාල වකවානුව වන හෙයින් අර්බුදයට කඩිනමින් විසඳුමක් ලබා දී  තම කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙසට ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05