දිනය පසුගිය ජූනි මස 02දාය. එදින දහවල් 12.00 පසුවී විනාඩි කිහිපයක් ගතවෙමින් තිබියදී, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්ත ගොඩනැගිලි පිවිසුම අභියසට ඉතා කඩිමුඩියේ පැමිණියේ කොළඹ වාණිජ මහාධිකරණයේ නීතිඥවරයකු සහ පිස්කල් නිලධාරිවරයෙකි.
මොවුන් එහි සේවය කරන ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට පැවසුවේ, තමන්ට ගුවන් යානා ප්‍රධාන නියමුවකු මුණගැසීමට අවශ්‍ය බවයි. එසේ ප්‍රකාශ කරමින් බලහත්කාරයෙන් මෙන් ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ල වෙත පිවිසීමට ඔවුහු උත්සාහ දරන්නට වූහ.
මේ තත්ත්වය එතරම් සුභදායක නොවන බව තේරුම් ගත් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීහු, මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරී වෙත දුරකථන මගින් සම්බන්ධ කිරීමට පියවර ගත්හ.
එහිදී තමන් නීතිඥවරයකු බවත්, තමන් සමඟ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරිවරයා ද සිටින බවත්, තමන් කොළඹ සිට පැමිණ ඇත්තේ ගුවන් නියමුවකු මුණගැසීමට බවත් ඔවුහු ප්‍රකාශ කර සිටියහ.
එලෙස ගුවන් තොටුපොළ තුළදී ගුවන් නියමුවන් මුණගැසීමට නොහැකි බව පැවසූ ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා තමා වෙත පැමිණි ගුවන් නියමුවා කුමන ගුවන් සේවයක අයකුදැයි එහිදී ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය. දැඩි කලබල ස්වභාවයකින් පසු වූ මොවුන් දෙදෙනා වහාම ගුවන් තොටුපොළ දෛනික අවසර පත් කවුළුව වෙත යොමු කරන්නට කාර්යය භාර නිලධාරිවරයා පියවර ගෙන තිබිණි.
එහිදී ගුවන් තොටුපොළ සංචරණ සේවා ප්‍රධානී මෙන්ම ප්‍රධාන ගුවන් ගමන් පාලක නිශාන් චන්දිම අබේවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් දෛනික අවසර පත් කාර්යාලයේ නිලධාරින් මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව, මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරිවරයකු සමඟ තමා හමුවට රුගෙන එන ලෙස අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. ඒ අනුව මොවුන් දෙදෙනා හාෆ් ෂීට් මිටි භාගයක පමණ අධිකරණමය ලියකියවිලි ද රුගෙන අබේවර්ධන මහතා ඉදිරියේ පෙනී සිටියහ.
වෙලාව දහවල් 12.20 ට පමණ විය. එහිදී මොවුන් දෙදෙනා තවත් විනාඩි කිහිපයකින්, එනම් දහවල් 12.50 ට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට සූදානම් වන එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.-289 ගුවන් යානයේ ගුවන් ගමන වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස අබේවර්ධන මහතාට බල කර තිබුණි. ඒ තමන් රැගෙන පැමිණි අදාළ ගුවන් යානයට එරෙහිව ගුවන් ගමන් වාරණ නියෝගයක් සඳහන් කඩදාසි තොගය පෙන්වමිනි.
එදින දහවල් 12.00 ට පමණ කොළඹ වාණිජ මහාධිකරණයෙන් ලබා දුන් මෙම තීන්දුව දහවල් 12.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රුගෙන ඒමට තරම් මොවුන් දෙදෙනා කාර්යක්ෂම වී සිටියහ.
06/02 දින උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට එරට සංචාරකයන් 250 ක් රුගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම ගුවන් යානය යළිත් මෙරට සංචාරය නිමා කර ඇති රුසියානු සංචාරකයන් 191 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 13 දෙනකු රුගෙන පිටත්ව යාම සඳහා සූදානමින් පසුවිය.
නීතිමය භාවිතය පිළිබඳව එතරම් පරිචයක් නොමැති මෙම නිලධාරිවරයා මෙයින් තැතිගැන්මකට ලක් වී සිටි අතර, ඔහු වහාම මේ පිළිබඳව ගුවන් තොටුපොළ සමාගමේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා දුරකථන මගින් සම්බන්ධ කර ගනිමින් මේ ගැන දැනුවත් කරන්නට විය. ඒ අනුව ඔවුන්ගේ නිර්දේශය මත එම ගුවන් යානයෙන් මගීන් බස්සවා, එම ගුවන් ගමන ද අවලංගු කර දැමීමට කටයුතු කෙරිණි.
මෙම සිදුවීම ලෝක මහා බලවතකු වන රුසියානු පෙඩරේෂනය සමඟ දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ආරවුලකට මග පාදන මූල බීජය විය.
මෙම රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවා ගුවන් යානා අයර්ලන්තයේ සීමාසහිත සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩින් සමාගමේ රක්ෂණ කටයුතු සඳහා ලියාපදිංචි වී සිටි අතර, හදිසියේම හටගත් යූක්‍රේන - රුසියානු යුද්ධයත් සමඟ බටහිර රටවල් ක්‍රියාත්මක කළ සම්බාධක හේතුවෙන් තවදුරටත් ගෙවීම් කටයුතු කිරීමට රුසියානු බැංකුවලට නොහැකි විය. එයට හේතුව ඔවුන්ට මුදල් නොමැතිවීම නොවේ.
එහෙත් මේ තත්ත්වය තේරුම් ගත් රුසියාව, ඔවුන්ගේ එරොෆ්ලොට් ගුවන් යානා තවත් රුසියානු රක්ෂණ සමාගම්වල ප්‍රතිරක්ෂණය කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ බව ලොව පුරා රටවල ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණි. එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම එරොෆ්ලොට් ගුවන් යානා කිසිදු දිනයක අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීහු සහ රුසියානු රාජ්‍ය බලධාරීහු ලිඛිත පොරොන්දුවක් සහිතව එකඟතාවයකට පැමිණ සිටියහ.
මේ වනවිට රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා සතියකට ගුවන් යානා තුන බැගින් සංචාරක රුසියානු ජාතිකයන් දහසක් පමණක් ශ්‍රී ලංකාවට රුගෙන එනු ලබයි. එමෙන්ම එළඹෙන ශීත ඍතුවේදී දිනකට රුසියානු සංචාරකයන් දහස බැගින් සංචාරකයන් ලක්ෂ 05 ක් මෙරටට රුගෙන ඒමට ද එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ නිර්දේශය මත කටයුතු සිදු වෙමින් පැවතිණි
මෙවැනි පසුබිමක් යටතේ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට එරෙහිව අයර්ලන්තයේ සීමාසහිත සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩින් සමාගම නඩු අංක 126/2022 MR යටතේ කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබිණි.
ඉකුත් කොරෝනා වසංගත රෝගී තත්ත්වය හමුවේ කටුනායක ගුවන් තොටුපොළ වසා දමා ඇති මට්ටමක පැවති අතර, එය යළිත් සක්‍රීය ගුවන් තොටුපොළක මට්ටමට ගෙන ඒමට පුරෝගාමී මෙහෙවර ඉටු කළේ රුසියානු සංචාරකයන් සහ එරොෆ්ලොට් ගුවන් සේවයයි. ඔවුන් නොබියව කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණි අතර එය රුසියාව සිය "ස්පුට්නික් - V” එන්නත් විශාල තොගයක් ද අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාවට නොමිලේ පරිත්‍යාග කිරීමට තරම් සමීපමිතුදමකි. එසේම මේ වනවිට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට බවට රුසියාව පත් වී තිබූ සමයක මෙම කනගාටුදායක සිදුවීම සැබැවින්ම ජාත්‍යන්තර දේශපාලනික කුමන්ත්‍රණයක් බවට සිතීමට අවශ්‍ය තරම් කරුණු පෙන්වීය.
06/03 දින වනවිට මෙම සිදුවීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත්වෙමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රුසියාවේ මොස්කව් නුවර විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා රුසියානු රජයේ අප්‍රසාදය ඇය හමුවේ පළ කර තිබිණි.
මෙම සිදුවීම පිළිබඳව හිටපු රුසියා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම අර්බුදය කඩිනමින් නිරාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව පියවර ගත යුතු බවත්, එසේ නොවුණහොත් මෙම සිදුවීම ශ්‍රී ලංකාවට බරපතළ සමාජ, ආර්ථික, දේශපාලනික බලපෑම් ඇතිකරමින් නිමාවට පත් විය හැකි බවත්ය.
ඒ බව සනාථ කරමින් රුසියානු රජය ශ්‍රී ලංකාව සමඟ පවත්වන සිය ගුවන් ගමන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව දෙරට අතර ගුවන් ගමන් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවිය ද නවතා දැමීමට පියවර ගෙන තිබුණි.
මීට අමතරව දැනට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින රුසියානු ජාතිකයන්ට තම සංචාරයන් වහාම අත්හිටුවා යළිත් ආපසු රුසියාව බලා පැමිණෙන ලෙසද එරට රජය මෙහි සිටින රුසියානු ජාතිකයන්ට නියෝග කර තිබුණි.
06/02 දින රුසියාව බලා පිටත්ව යාමට නොහැකි වූ රුසියානු ජාතික ගුවන් මගීන් 191 දෙනා සහ දැනට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි සියලුම රුසියානු ජාතිකයන් එරටට රැගෙන යාමට කාර්යය මණ්ඩලය පමණක් සිටින හිස්, විශේෂ ගුවන් යානා 02 ක් අවසාන වශයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවීමට රුසියානු රජය තීරණය කර තිබුණි.
06/04 දින පැමිණි ගුවන් යානයෙන් රුසියානු ජාතිකයන් 289 දෙනෙක් ද, 06/05 දින එවා තිබූ ගුවන් යානයෙන් රුසියානු ජාතිකයන් 300 දෙනෙක් ද රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගියහ.
එසේ පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි රුසියානු ජාතික ගුවන් මගීන් මෙන්ම ඔවුන්ගේ සංචාරක මගපෙන්වන්නන්, ඔවුන් පැමිණි බස් රථ රියැදුරන් සහ එම බස් රථ සහායකයන් ඉතාමත් දුක්බරව එම සංවේදී මොහොත තුළ රුඳී සිටීම හැඟුම්බර අවස්ථාවක් විය. එහිදී බොහෝ රුසියානු සංචාරකයන් කඳුළු පිරි දෙනෙතින් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු වනු දක්නට ලැබිණි.
එම අවස්ථාවේ මෙම රුසියානු ජාතික ගුවන් මගීන් අතර සිටි එලේනා මෙසෙන්කෝවා මහත්මිය මෙසේ පැවසුවාය.
අපි ආවෙ දින 14 ක ශ්‍රී ලංකාවේ සංචාරයක. ඒත් මේ සිදුවීමත් සමඟ දින 07කට පසුව අපිට ආපසු යන්න වෙලා. අපිට ලයිට් තිබුණෙ නැහැ. ඇවිදින්න යන්න ඩීසල් තිබුණෙත් නැහැ. ඒත් අපි සතුටින් හිටියා. මේ ඇතිවුණු සිදුවීම ඉතාම කනගාටුදායකයි. ඒ නිසා යළිත් රුසියානු ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට එන එකක් නැහැ. අපිට මේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාව ගැන තිබුණු විශ්වාසය නැතිවෙලා ගියා. අපි ආව ගුවන් යානයත් මේ විදියට රඳවා ගත්තොත් යන බියක් සෑම රුසියානු ජාතිකයකුගේම දැන් සිතේ තියෙනවා.* යැයි ද එලේනා මෙසෙන්කෝවා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, මෙය රාජ්‍යයන් දෙකක් අතර සිද්ධියක් නොව, ව්‍යාපාරික ආයතන දෙකක් අතර ඇති වී තිබෙන ගැටලුවක් බවයි. මේ බව තමන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා තෙවරක්ම හමුවී අවධාරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙම සිදුවීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
මෙම සිදුවීම හුදෙක්ම කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුවණ, අමනෝඥ ක්‍රියා කලාපය නිසා ඇතිවුවක්. ඔවුන් මෙම ලිපි ලේඛන නිසි අධ්‍යයනයකට ලක් නොකර, වාචික කරුණු දැක්වීම් මත පදනම් වෙමින් දුරදිග සොයා නොබලා ගත් තීරණයක්. ගුවන් තොටුපොළ බලධාරීන්ට ඔවුන්ගේ නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳව විමසා නිවැරදි තීරණයක් ගැනීමට අවස්ථාව තිබුණා. එසේ වූවා නම් මෙම අවාසනාවන්ත සිදුවීම කල් ඇතිවම වලකා ගන්නට තිබුණා.* යැයි ද උදයංග වීරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
එහෙත් මේ වනවිට රුසියානු රජය ද මෙම සිදුවීම මෙසේ නිමාවට පත්වීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබිණි.
එසේම මෙම සිදුවීමට ප්‍රධාන ලෙස සම්බන්ධ වූ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරිවරයාට එරෙහිව මේ වනවිට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහුගේ සේවය අත්හිටුවා විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එමෙන්ම අයර්ලන්ත ගුවන් සමාගම වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයාටද ඒ ආකාරයටම නීතිය අවභාවිත කිරීම වෙනුවෙන් විමර්ශනයක් ද ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ අතර මෙම සිදුවීම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් මුදල් ගෙවා මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් බවට තොරතුරු රාශියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම රුසියානු ගුවන් යානා අර්බුදය එදා මෙදාතුර ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ඇති නොවූ සිදුවීමකි. එහෙත් දැනට ශ්‍රී ලංකාව පත්වී සිටින වර්තමාන දේශපාලනික, සමාජ සහ ආර්ථික අර්බුදයෙන් තව තවත් දරුණු ප්‍රපාතයකට වැටීමට තිබූ අවස්ථාවෙන් නූලට ගැලවී යාමට අවසානයේ දී හැකිවිය.
කටුනායක ටී.කේ.ජී. කපිල