2022 ජුනි 12 වන ඉරිදා

අපට ඩීසල් නෑ: මෙහෙම ගියොත් පෞද්ගලික බස් හාන්සියි

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 48

''අද අපේ රටේ පෞද්ගලික බස් සේවයට ලොකු හානියක් වෙලා තිබෙන්නේ. අද බස් කම්බස් වෙලයි තියෙන්නේ. දවසින් දවස රටේ තියෙන බස් ටික නැත්තටම නැතිවෙන තත්ත්වයට තමයි දැන් රට පත්වෙලා තියෙන්නේ.'' යැයි සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

පෞද්ගලික බස් රථවලට ඉන්ධන සහනයක් ලෙසින් ඉන්ධන පිරිවුම්හල් වෙත පෝලිම්වල නොසිට ඩිපෝ මාර්ගයෙන් ඉන්ධන ලබාදීමේ පහසුකම් සලසා දීමට රජය තීරණය කළද අදටත් සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඇති දිගු පෝලිම්වලද පෞද්ගලික බස් රථ එක්ව ඇති බව දක්නට ලැබුණි. මේ නිසාම වෙනත් පෞද්ගලික බස් හිමියන් චෝදනා කරනු ලබන්නේ රජය විසින් දැනුම් දෙන ලද එම තීරණය මේ වනවිට ක්‍රියාත්මක නොවන බවය.

''අපි බොහෝ දවසක් ඉල්ලලා රජයෙන් ලබාදුන් පහසුකම වන ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබාගැනීම පෞද්ගලික බස් රථවලට නොදී වෙනත් වාහන ලබාගන්නවා ඇත්තම කිව්වොත් අත්‍යවශ්‍ය සේවාවල වාහනවලට එම පහසුකම ලබාදීම සම්බන්ධයෙන් අපෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති ගිලන්රථ ඇතුළු අත්‍යවශ්‍ය වාහනවලට ඉන්ධන ලබාදිය යුතුවෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ රථවාහනවලට සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හල් වෙන්කරලා තියෙනවා. ඒ ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් නොව ඇතැම් ඉහළ නිලධාරීන්ගේ අනුමැතියෙන් ඩිපෝවලින්ද ඉන්ධන ලබාගන්නා රථවාහන තියෙනවා. ඇත්තම කිව්වොත් අද අත්‍යවශ්‍ය සේවා විදිහට අපේ බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් මූලික තැනක් ලබාදිය යුතුවෙනවා. නමුත් එවැනි තත්ත්වයන් අදටත් අපිට ලබා දෙන්නේ නැහැ.'' යැයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

පසුගිය දිනෙක එක්තරා ලංගම ඩිපෝවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා බොහෝ පෞද්ගලික බස් රථ සංඛ්‍යාවක් දිගු පෝලිමක පැය ගණනක් තිස්සේ සිටියද එක්වරම පැමිණ එක්තරා අමාත්‍යංශයක රථවාහන කිහිපයක්ම පෝලිමේ නොසිට පැමිණ ඉන්ධන ලබාගෙන තිබිණි. මේ අතරේ අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික රථවාහන කිහිපයක්ද අමාත්‍යංශයේ නාමපුවරුව සහිතව පැමිණ ඉන්ධන ලබාගෙන ඇත. පැය ගණනක් දිගු පෝලිමේ සිටි බස් සේවකයෝ මෙයින් කෝපයට පත්වූහ. එයින්ද ඇතිවූයේ ගැටුමකි. දින පැය ගණනාවක් තිස්සේ පෝලිම්වල සිටි බස් සේවකයන්ට අවසානයේදී තම රථවාහනයට ඉන්ධන නොමැතිව නැවතත් හිස් අතින් ඒමට සිදුවීම හේතුවෙන් කලකිරීම සාධාරණය.

''රූපවාහිනියෙන්, පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු දීලා සහනයක් බස් රථවලට ලබාදෙනවා කියලා කිව්වට පසුවදාට ආයෙත් ඉන්ධන ටික බස් රථවලට ලබා ගැනීමේදී විඳින්නට වෙන දුක දන්නේ බස් හිමියන් සහ සේවකයන් විතරයි. පසුගියදා එක්තරා ඩිපෝවකින් එක්තරා ආයතනයකට බැරල් දහයකට පෝලිමේ නොසිට පිටින් තෙල් ලබාදීලා තියෙනවා. තෙල් බැරල් එකකට ඉන්ධන ලීටර් දෙසීයක් අල්ලනවා. ඉතින් එක ආයතනයකට විතරක් ලීටර් දෙදහක් ලබා දුන්නම බස් රථවලට තෙල් ලබලා දෙන්නට පුළුවන්ද? එතැනදීත් ගැටුමක් ඇතිවෙලා තිබුණ. ඇත්තටම කිව්වොත් මේක හරියට රූ දනියෙල් දවල් මිගෙල් වගේ වැඩක්. ප්‍රවෘත්තිවලට රූට කියන දේ උදේට සිදුවෙන්නේ නැහැ.'' යැයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
අද වනවිට ලංකාව පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ පන්දහකට පමණ අඩුවී ඇත. ලංකාවේ පෞද්ගලික බස් රථ දහඅටදහසක් තිබිණි. පසුගිය කාලය පුරාවට රට පුරා ඇතිවුණ කොවිඩ් වසංගතයෙන් පසුව පෞද්ගලික බස් රථ දහතුන්දහස දක්වා එම බස් රථ සංඛ්‍යාව අඩු වී තිබුණි. ඒ අනුව කොවිඩ් හේතුවෙන් බස් රථ පන්දහසක් ධාවනය නතර කර තිබුණි. ඒවායින් ඇතැම් බස් රථ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව නතර වී ඇති අතර ඇතැම් බස් රථ අලුත්වැඩියා කටයුතු සිදු නොවීම හේතුවෙන් බස් හිමියන්ගේ නිවෙස ඉදිරිපිට ගාල් වී තිබුණි. දුරගමන් ධාවනයේ යෙදුණු පෞද්ගලික බස් රථවලින් සියයට පනහක් පමණ අද නතර වී ඇත. වැඩි වශයෙන් පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ බස්නාහිර පළාතේදීය. එය බස් රථ හයදහසක් පමණය. නමුත් අද වනවිට එයද 50% දක්වා අඩු වී ඇත. සමස්තයක් ලෙසින් බස් පන්දහසක් පමණ උදේ කාලයේ ධාවනය වුවද පළමු ගමන් වාරයෙන් පසුව බස් රථවලට සිදුව ඇත්තේ ඉන්ධන පෝලිමක් වෙතට යාමය. මේ නිසාම ඇතැම් මාර්ගවල බස් රථ ධාවනය වෙන්නේ නැති තරම්ය.

''මෙතැන ලොකු අර්බුදයක් තිබෙනවා. සල්ලි අච්චු ගහනකම් රටවල්වලින් අරගෙන, ආධාර අරගෙන තමයි අපිට ජීවත් වෙන්න සිදුවෙලා තිබෙන්නේ. ඒත් ඒ කොච්චර කාලයකටද? ගැටලුව ඇතිවෙන්න මූලිකව හේතුවට උත්තර හොයාගන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳගන්න බැහැ. කොවිඩ් කාලයේදී බස් රථ හිමියන් සහ සේවකයින්ට විශාල පාඩුවක් ඇතිවුණා. අපිට විතරය් ජීවත් වෙන ආදායමක් නොතිබුණේ. රාජ්‍ය සේවකයින්ට සල්ලි අච්චු ගසමින් පඩි හරි වේලාවට දුන්නා. නිලධාරීන්ට රස්සාවට නොගියත් ගෙදර ඉඳගෙනම ඉන්ධන දීමනා පවා ලැබුණා. එහෙම වුණාම රටක් ඉතිරි වේවිද? අද මේ රටේ නගර සභා ඇතුළු රාජ්‍ය ආයතන කීයක නම් සේවක් අතිරික්තයක් තිබෙනවාද? ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් මාර්ගයෙන්, ඒ අයට ඡන්දයට උදව් කරපු, අධ්‍යාපන සුදුසුකම් පවා නැති කී දෙනකුට අද මේ රටේ රාජ්‍ය ආයතන කීයක නම් රස්සාවක් ලබලා දීලා තියෙනවාද? ඒ අය ඒ රස්සාව හරියට කරනවාද? උදේට අත්සන් කරලා කී දෙනෙක් නම් ගෙවල්වලට ගිහින් වෙන වෙන රස්සාවක් කරනවද? හැබැයි නිසි වේලාවට ඒ අයට රජයෙන් පඩි ලැබෙනවා. මේ අතිරික්තවලට පිළියම් නොකොට මේ රට හදන්න බැහැ. ඉදිරියේදී නව බස් රථ සංඛ්‍යාවක් මේ විදිහට ගියොත් නැත්තටම නැතිවේවි...'' යැයි සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05