2022 ජුනි 12 වන ඉරිදා

ගාස්තු වැඩි නොකළොත් කඩා වැටෙන්න යන තැපෑල

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 93

දැන් රටේ පහළ යන එකම දෙය ජනතාවගේ ආදායම වන අතර අනෙක් සෑම දෙයක්ම ඉහළ යාම සිදුවේ. පසුගියදා වාර්තා වුණේ රටේ ඉහළ යන ගාස්තු අතරට තැපැල් ගාස්තුත් එක්වන බවයි. තැපැල් ගාස්තු වහාම සංශෝධනය කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව අපට අසන්නට ලැබුණු කතාවකි. එහි ප්‍රකාශකයකු පවසා සිටියේ ගාස්තු වැඩි නොකළොත් තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම දුෂ්කර වන බවය. මේ අතර විදුලිබල මණ්ඩලය පවසන්නේ බිල වැඩි නොකළොත් මණ්ඩලයත් පවත්වාගෙන යාම දුෂ්කර බවයි. පවත්වාගෙන යාම දුෂ්කරයි යන බයිලාව ගැසීම දැන් රටේ එක් විලාසිතාවක් වී අවසන්ය. 

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා දැන් පොදු ජනතාව අතර එතරම් භාවිත නොවේ. බොහෝ නිවෙස්වලට තැපෑලෙන් එන්නේ සැප සනීප අහන ලියුම්, වෙසක් පත් නොව ජල බිල්, විදුලි බිල් ආදියයි. මේ අතර කඩදාසි හිඟය නිසා බැංකු සහ වෙනත් ආයතනවලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපි ප්‍රමාණයද විශාල වශයෙන් අඩු වී ඇතැයි වාර්තා වේ. පාඩුව අවම කර ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතියකට එක් දිනක් වසා තැබීමටද රජයට නිර්දේශ ඉදිරිපත් වී ඇත.

තැපැල් ගාස්තු සංශෝධනය ඉදිරිපත් වුණේ අද ඊයේ නොවේ. 2021 පෙබරවාරියේ ද තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන බව තැපැල් දෙපාර්තමේන්තුවෙන් අසන්නට ලැබුණි. දෙපාර්තමේන්තුවේ අලාභය අවම කර ගැනීමත් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ගැනීමත් එවකට එම තීරණයට හේතු වූ බව පැවසුණි. නමුත් එම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක වුණේ නැත. 

සාමාන්‍ය ලිපියක් සඳහා තැපැල් මුද්දර ගාස්තුව රුපියල් පහළොවකි. නමුත් ඒ සඳහා දෙපාර්තමේන්තුවට 2021 දී රුපියල් විසි දෙකයි ශත හැත්තෑ පහක් වැය වන බව පැවසුණු අතර මේ වනවිට එම මුදල රු. 60ක් දක්වා ඉහළ ගොස් ඇතැයි තැපැල් වෘත්තීය සමිති අප සමඟ පැවසුවේය. සීඝ්‍රගාමී තැපැල් සේවාව සඳහා දෙපාර්තමේන්තුව රුපියල් පනහක් වැනි අඩු මුදලක් අය කළ ද පෞද්ගලික අංශය ඒ සඳහා රුපියල් දෙසිය පනහක් පමණ අය කරන බවත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් පැවසුණි.
තැපැල් සේවාවේ අනෙකුත් ගාස්තු ද ඉතාම අවම මට්ටමක පවතින බවත් වර්තමාන අධික වියදම්කාරී වටපිටාව නිසා දෙපාර්තමේන්තුව දිගින් දිගටම අලාභ ලබමින් තිබීම නොවැළැක්විය හැකි බවත් එහි නිලධාරීහු පවසති. 

තැපැල් ගාස්තු වැඩිකිරීම සාධාරණදැයි අප ඇසුවේ තැපැල් හා විදුලි සංදේශ ඒකාබද්ධ විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාරගෙනි: &තැපැල් ගාස්තු වැඩිකිරීම කියන කාරණය කොටස් දෙකක් යටතේ සලකා බලන්න ඕනෑ. මේ වෙලාවේ තැපැල් දෙපාර්තමේන්තුව සේවා සපයන්නේ අධික පාඩුවකට. තැපැල් දෙපාර්තමේන්තුව මේ වනවිට තැපැල් භාණ්ඩයක් සැපයීමට යන වියදමෙන් 30% ක් පමණයි පාරිභෝගිකයන්ගෙන් අයකරන්නේ. ඒ කියන්නේ අපි 70% ක පාඩුවට දුවන ආයතනයක්. ඉන්ධන, සේවක වැටුප්, සේවා ගාස්තු වැඩිවන විට තැපැල් ගාස්තුවලට යන වියදමත් ඉහළ යාම සිදුවෙනවා. මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවට විශාල ආදායම් හිඟයක් පවතිනවා. අපි හිතන විදිහට තැපැල් සේවයේ පාඩුව අතිවිශාලයි. මේක ආයතනයේ පැවැත්මට විශාල හානියක්. එමෙන්ම අපෙන් පාරිභෝගිකයාට නිසි සේවයක් සැපයීමටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. 

රටේ ආර්ථිකය මේ වනවිට බිඳවැටිලා. ඒ නිසා දෙවැනි කාරණය විදිහට වැඩි කරන ගාස්තු අතරට තැපැල් ගාස්තුත් එකතුවීම අපේ පාරිභෝගික ජනතාව කොහොම දරාගනීවිද කියන එක ප්‍රශ්නයක්. ගාස්තු වැඩිකිරීමෙන් අපි වැය කරන මුළු පිරිවැය ලබාගන්නවාද පාරිභෝගියන් අප සමඟ රඳවාගත හැකි විසඳුමකට යනවාද යන්න බලධාරින් සලකා බැලිය යුතුයි.*  

මෑත අතීතයේ දී තැපැල් ගාස්තු සංශෝධනයක් සිදුවූයේ මීට අවුරුදු හතරකට පෙර 2018 ජූනිවලදීය. රු. 10ට තිබූ සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව දැනට පවතින රු. 15 බවට පත්වූයේ එම ගාස්තු වැඩිවීමේදීය. ඊට පෙර 2014 දී ද තැපැල් ගාස්තු වැඩිකිරීමක් සිදුවිය. එහිදී රු. 5කට තිබූ ලිපියක් තැපැල් කිරීමේ මුද්දර ගාස්තුව රු. 10 දක්වා 100% කින් වැඩි කෙරිණි. සාමාන්‍ය ලියුමක බර ලෙස එතෙක් පැවතියේ ග්‍රෑම් 30කි. එය ග්‍රෑම් 20ක් දක්වා අඩුකිරීම ද එහිදී සිදුකෙරිණි. 

මේ වනවිට ක්‍රියාත්මක ගාස්තු අනුව ලිපියක බර ග්‍රෑම් 40ක් නම් රු. 25ක්ද ග්‍රෑම් 80ක් නම් රු. 55ක් ද අයකෙරේ. ග්‍රෑම් 1750කට අයකිරීම රු. 720කි. පාර්සල් තැපැල් ගාස්තුව ග්‍රෑම් 250කට රු. 90කි. කි. ග්‍රෑම් 1කට රු. 150කි. ටෙලිමේල් පණිඩුඩයක පළමු වචන 10 සඳහා අයකිරීම රු. 30කි. 

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම තැපැල් දෙපාර්තමේන්තුවේ අරමුණ ලෙස සඳහන්ය. නමුත් පාඩුවට පවත්වාගෙන යාම නිසා මේ අරමුණ ඉටුකර ගැනීම අසීරු බව තැපැල් වෘත්තීය සමිති පවසයි. අප රටේ දිගු ඉතිහාසයක් තැපෑලට හිමිය. මුලින්ම තැපැල් කාර්යාල ආරම්භ කර ඇත්තේ වර්ෂ 1798 තරම් ඈත කාලයේ දී ලන්දේසින් විසිනි. අද එය සේවකයන් 19000 කට වඩා සේවය කරන විශාල දෙපාර්තමේන්තුවකි.  

2004 වසරේදී මේ රටේ ජනගහණයෙන් සෑම පුරවැසියන් 2400 දෙනකුට එක් තැපැල් කාර්යාලයක් බැගින් තිබුණු අතර මෙය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරන්නේ නම් සෑම කි.මි. 14ක වර්ග ප්‍රමාණයකටම එක් තැපැල් කාර්යාලයක් බැගින් පිහිටා තිබුණි.  අද වනවිට තැපැල් කාර්යාල 4,692 ක් ලංකාව පුරා පිහිටුවා තිබේ. විද්‍යුත් තැපෑල වැනි  තොරතුරු තාක්ෂණ සේවා සහ සමාජ මාධ්‍ය නිසා අද වනවිට තැපෑල එතරම් ජනතා අවධානයකට ලක්වූ තැනක් නොවේ. 

තැපැල් ගාස්තු පසුගිය කාලයේ වැඩි කර ඇත්තේ වසර හතරින් හතර බව පෙනේ.  පෙනෙන විදිහට තැපෑලත් ළඟදීම ගාස්තු ඉහළ දමනු ඇත. එහෙත් තැපැල් ගාස්තු වැඩිකිරීමට එරෙහිව ජනතාව පාරට බැස විරෝධතා නම් නොකරනු ඇත. 

 කුසුම්සිරි විජයවර්ධන