2022 ජුනි 12 වන ඉරිදා

ආණ්ඩුවටත් උත්තර නැති බඩු මිල නැගීම

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 117

රටේ භාණ්ඩ මිල වෙළෙඳුන්ට ඕනෑ හැටියට ඉහළ දමන්නට ඉඩ දී රජය නිකම් බලා සිටින බවට ජනතාව මැසිවිලි නගන බවක් පෙනේ. අද රටේ බඩු මිල තීරණය කරන බලධාරියා වන්නේ වෙළෙඳුන් සහ අතරමැදියන්ය. ඔවුන් භාණ්ඩ මිල ඉහළ දමා රිසි සේ පාරිභෝගිකයාගේ රුහිරු උරා බොන බවක් දක්නට ඇත. අද මිල හෙට වෙනස්ය. මිල දැනගත හැකි වන්නේ වෙළෙඳපොළට පැමිණියාට පසුය. මිල වැඩි යැයි පවසා මිලට නොගෙන ආපසු යාමට පාරිභෝගිකයාට නොහැක්කේ ඔහු ආහාර නිසා ජීවත් වන බැවිනි. ඒ නිසා වෙළෙඳුන් කියන මිලට මිල දී ගැනීමට සිදුවේ. භාණ්ඩ මිල ගැන කේවෙල් කිරීමට පාරිභෝගිකයාට තිබූ අයිතිය අද ව්‍යාපාරිකයන් විසින් පැහැරගනු ලැබ තිබේ. ඒ නිසා ගත යුත්තේ ඔවුන් කියන මිලටය.

අද වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අසාධාරණ ලෙස වැඩි වී ඇත. විශේෂයෙන් සහල්, මාළු, මස්, බිත්තර ආදියේ මිල අහස උසට නැග ඇත. පසුගිය 07දා වනවිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පවසන පරිදි තලපත් මාළු කිලෝව රුපියල් 1700 – 2000 දක්වාද සාලයා ලින්නා වැනි කුඩා මසුන් කිලෝව රුපියල් 800 – 900 දක්වාද, හුරුල්ලා කිලෝව රුපියල් 1000ටද, කුම්බලා මාළු කිලෝව රුපියල් 900 – 1000 දක්වාද මිල ඉහළ ගොස් ඇත. මාළු මිල සමඟම සැමන් ටින් එකක මිල රුපියල් 450 සිට රුපියල් 600ක් වී ඇත. බිත්තරය රුපියල් 50 සීමාවට ළං වී තිබේ.

ආහාර මිල පිළිබඳ තවත් ලිවිය හැකි නමුත් පසුගිය 7දා සිට කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3000 දක්වා ඉහළ ගොස් ඇත අතර වැලි කියුබය රුපියල් 10,000 දක්වාද ගල් වර්ගවල මිල සහ යකඩ මිලද 200% පමණ ඉහළ දමා තිබෙන බවද පැවසිය යුතුය. මෙම ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අසාධාරණ ලෙස ඉහළ යාම නිසා වැඩබිම් මුඩු බිම් බවට පත්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දහස් ගණනකට රැකියා අහිමි වී ඇත.

කෙසේ වුවද ආහාර ද්‍රව්‍යවල මෙන්ම වෙනත් ඉදිකිරීම් ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩවල මිල ඉහළ ගියද ඒවා පහළ හෙලීමට වගකිවයුත්තන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. එයට හේතුව වන්නේ වෙළෙඳපොළේ මිල අඩුකිරීමට වගකිවයුත්තන්ට ක්‍රම සහ විධි නොමැතිවීම විය හැකිය. මෙයට පෙරද පත්වූ මුදල් ඇමැතිවරුන් සතිපතා ගැසට් නිකුත් කර විවිධ මිල ගණන් ප්‍රකාශයට පත් කළද ඒවා සතියක්වත් එලෙස තබාගැනීමට නුපුළුවන් විය. වෙළෙන්ඳෝ උපරිම සිල්ලර මිල සතයකටවත් මායිම් නොකර හිතූ හිතූ ගණන්වලට එළිපිටම අලෙවි කළහ. ආහාර මිල පිළිබඳ වගකිවයුතු රාජ්‍ය ආයතන වටින් ගොඩින් වැටලීමක් දෙකක් සිදු කර පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් දුන්නද ඒවා සංදර්ශන විනා ලැබුණු ප්‍රතිඵලයක් නොමැත. සහල් මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට දුන්නා සේ වෙනත් ආනයනික සහ දේශීය භාණ්ඩවල මිල තීරණය කිරීමට වෙළෙන්ඳෝ වාසනාව ලබා ඇත්තහ.

රටේ භාණ්ඩ මිල තව තවත් ඉහළ යනු විනා ඉදිරියේදී යම් සුළු වශයෙන් හෝ පහළ බැසීමක් සිදුවේ යැයි සිතීම උගහටය. භාණ්ඩ මිලට රජයේ මැදිහත්වීම කෙලෙස සිදුවිය යුතුද යන්න පිළිබඳ අපි මෙලෙස විවිධ අංශ සමඟ සාකච්ඡාවක නිරත වීමු.

ගැසට් ගහලා මිල බස්සන්න බෑ

භාණ්ඩවල මිල රජය මගින් නියම කිරීම මේ අවස්ථාවේ සුදුසුද, කළ හැකි දෙයක්ද යන්න පිළිබඳ කරුණු දක්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මෙසේ අදහස් පළ කරයි.

භාණ්ඩ ආනයනය සඳහා අමෙරිකානු ඩොලරය අනුව රුපියලේ මිල තීරණය වීම දැඩිව බලපානවා. රුපියල දුර්වල වූ විට ඩොලරයක් සඳහා වැඩි මිලක් ගෙවන්න වෙනවා. මොකද ආනයන භාණ්ඩවලට ගෙවිය යුතු වන්නේ ඩොලර්වලින් මිස රුපියල්වලින් නෙවෙයි. ආණ්ඩුවට මිල තීරණය කරලා ඕනෑ තරම් ගැසට් ගහන්න පුළුවන්. ඉස්සර කොච්චර ගැසට් ගැහුවද? එහෙම ගැසට්වලින් මිල බස්සන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒත් එය කළ හැකි දෙයක් නෙවෙයි. ගැසට් එක ගැහුවට පස්සෙ ඩොලරය රුපියල් හාරසීයට ගියොත් මොකද වෙන්නෙ. ඒ මිලටයි භාණ්ඩවලට ගෙවන්න වෙන්නෙ. එවිට ගැසට් එකෙන් වැඩක් වෙන්නෙ නැහැ.

මේ දිනවල විදේශවල භාණ්ඩ මිල ඉක්මනින් ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනය අඩුවීමයි. සමහර භාණ්ඩවලට අපනයන තහනම් කරලා තියෙනවා. පසුගිය දිනවල ඉන්දියාව සීනි අපනයනය නැවැත්වුවා. දැන් අපට තායිලන්තයෙන් සීනි ගන්න වෙලා තියෙනවා. ඉන්දියාවෙන් සීනි මිලට ගන්නේ මෙට්‍රික් ටොන් එක ඩොලර් 550 මිලකටයි. දැන් තායිලන්තයේ 750 වෙනවා. එතකොට ඩොලර් 200ක් වැඩි වෙනවා. ඩොලරය රුපියල් 400 ගණනේ මිල කළොත් මෙහිදී සීනි කිලෝවක මිල රුපියල් 80 කින් වැඩි කරන්න වෙනවා. එහෙම නැතිව වෙන කරන්න දෙයක් නැහැ. අල, ලූනු, පරිප්පු, කරවල වගේ දේවලටත් වෙලා තියෙන්නේ මේ දේම තමයි.

විදේශවල බොහෝ ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදන අඩුවෙලා සමහර රටවල් ඒ රටවල පාරිභෝජනයට රඳවා ගන්නවා. ඒ නිසාද ආනයන ප්‍රමාණය අඩුවෙනවා. එවිට අපට අවශ්‍ය ප්‍රමාණය වෙනත් රටකින් වැඩි මිලට ගන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් මෙහේ හිඟයක් ඇතිවෙනවා. මෙහේ භාණ්ඩ හිඟ වුණාම වෙළෙන්ඳන් මිල ඉහළ දමනවා. ඇතැම් වෙලාවට පිටරටින් වැඩි මිලට ගෙනාවටත් වැඩිය මිල වැඩිවෙන්න පුළුවන්.

ජනතාව හිරිහැරයට ලක්වෙනවා. ඒ නිසා භාණ්ඩ ආනයනය අඩු කරනවා වෙනුවට වැඩි මිලට හෝ තියෙන තැනකින් ගන්න වෙනවා. ඒ අතර අපේ රුපියල අවප්‍රමාණ වීමද භාණ්ඩ මිල කෙරෙහි අයහපත් ලෙස බලපානවා. රුපියල ස්ථාවරව තබාගන්න පුළුවන් නම් යම් සහනයක් ලැබෙයි. ඒත් පාලන මිල ගැසට් කරලා තිබියදී රුපියල නැග්ගා නම් මොකද වෙන්නේ? පිටරටවල මිල ඉහළ නොගියත් රුපියල නිසා අපේ රටේ භාණ්ඩ මිල ඉහළ යනවා. හැම පැත්තෙන්ම අපටයි වදින්නේ. ඒ නිසයි මිල ස්ථාවරව තබාගන්න බැරි. ඉල්ලුම සැපයුමට වඩා බාහිර බලවේගයි මිලට බලපාන්නේ. එය වළක්වන්න අපහසුයි.

අපි ඇමැතිවරයා සමඟ මේ වනවිට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. හෙට අනිද්දා සාකච්ඡාවලට යාමට සිදුවෙනවා. අපි එහිදී අවධාරණය කරන්නේ මිල පාලනය බලපවත්වනවා නම් සාධාරණ මිලකට භාණ්ඩ ආනයනය කිරීමට අවස්ථාව දිය යුතු බවයි. ගෙන්වන භාණ්ඩවලට ණයවර ලිපි අප්‍රමාදව විවෘත කරලා ඒවා ප්‍රමාදයකින් තොරව රට තුළට ගෙන යාමට අවස්ථාව දිය යුතුයි. මේ ප්‍රායෝගික තත්ත්වය නැතිනම් කොතරම් ගැසට් ගැහුවත් ඒවා ක්‍රියාත්මක කරන්න බැරි බව අපි පෙන්වා දෙනවා. මෙහිදී ආණ්ඩුව මැදිහත් විය යුතුයි. එසේ නැතිනම් දිගින් දිගටම මිල ඉහළ යාම පාලනය කිරීම අපහසුයි.

බඩු මිලේ බර වසර දෙක තුනක් දරාගන්න වෙනවා

මිල පාලනය කර අද රටේ ඉහළ යන බඩු මිල පාලනය කළ හැකිද යන්න ගැන අදහස් දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩැනී අතපත්තු මෙසේ පවසයි.

&මිල පාලනයට ඩොලර් ප්‍රශ්නය තදින්ම බලපානවා. අද අපට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ඩොලර් නැහැ. මහ බැංකුවට නියම මිලට ආනයනවලට ඩොලර් නිකුත් කරන්න බැහැ. ආනයනකරුවන්ට පෞද්ගලික අංශයෙන් වැඩි මිලට ඩොලර් ලබාගෙන ආනයන භාණ්ඩවලට ගෙවීමටයි සිදුව ඇත්තේ. එවැනි පරිසරයක භාණ්ඩ මිලට මැදිහත් වෙන්න රජයට බැහැ. එහෙම මිල පාලනය කළහොත් ලැබෙන ආනයන භාණ්ඩද නැති වී විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකද රජය නියම කරන උපරිම මිලට භාණ්ඩ සපයන්න වෙළෙඳුන්ට බැරිවෙනවා. ආනයනකරුවන් වැඩි මිලට ගෙන එන භාණ්ඩ පාලන මිලට දෙන්න බැහැ. ඒ හින්දා මේ අවස්ථාවේ භාණ්ඩ මිල පාලනයක් කරන්න රජයට බැහැ. එය ප්‍රායෝගික නැහැ. භාණ්ඩ හිඟය තවත් උපරිම වෙයි. ඒ නිසා ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වෙන්නට ඉඩ දීමට සිදුවෙලා තියෙනවා. එහිදී සැපයුම අඩු වූ විට මිල ඉහළ යනවා. එය වැළැක්වීමට අපහසුයි. එය ආර්ථික න්‍යායක්.

මිල පාලනය කළ විට ඩොලර් ඉල්ලුම අඩුවෙලා සැපයුමට බාධා වෙනවා. ඩොලරයට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබෙනවා. එවිට රට තුළට ඩොලර් ලැබීම වැඩිවීම යහපත් ප්‍රවණතාවක්. එසේ වුවද ඒ මතම පිහිටලා මිල පාලනය කිරීම ප්‍රඥා ගෝචර වන්නේ නැහැ. සැපයුම අඩාල වෙනවා. පාලන මිලට දෙන්න බැරි නිසා භාණ්ඩ ගෙන්වන්න බැරිවෙනවා. මෙයට පෙර උපරිම මිල නියම කර තිබුණු සහල්, අල, ලූනු, පරිප්පු, තිරිඟු පිටි, මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල එම මිල ගණන් අවලංගු කරන්න රජයට සිදුවූයේ ඒ නිසයි.

ඒ නිසයි උපරිම සිල්ලර මිල ඉවත් කරන්න සිදු වූයේ. භාණ්ඩ සැපයීම අඩුවීම නිසා කළුකඩ මිල ඇතිවීම වළක්වන්න බැහැ. කොහොම වුණත් භාණ්ඩ මිල පාලනය අසාර්ථක ක්‍රමවේදයක්. විවිධ හේතු නිසා පාලන මිල දිගටම එක ලෙස පවත්වාගෙන යන්නට රජයට පුළුවන්කමක් නැහැ. ආනයන භාණ්ඩවල මිල එම රටවල වැඩිවෙන්න පුළුවන්. එවිට ඒ මිලට ගෙන්න වෙනවා. එහෙම ගෙනත් මෙහේ පාලන මිලට දෙන්න බැහැ. එවැනි අවස්ථාවල ආනයනකරුවන් ආනයනය කිරීම නවත්වනවා. එවිට භාණ්ඩ හිඟ වී අනිවාර්යයෙන්ම මිල ඉහළ යන්න පුළුවන්. මිල පාලනය ඉස්සර කාලයට ඔබින්න පුළුවන්. එහෙත් අද පවතින ලෝක ආර්ථික ප්‍රවණතා මත එය අදට ගලපාගන්න අපහසුයි.

මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අපනයන දිරිමත් කිරීමට රජය කටයුතු කළ යුතුයි. විදේශ ප්‍රේෂණ වැඩිපුර ගෙන්වා ගැනීමට උත්සාහ කළ යුතු වෙනවා. එවිට අපට ඩොලර් ලැබීම වැඩිවෙලා භාණ්ඩ මිල පහළ වැටෙන්න පුළුවන්. එහෙත් මේ තත්ත්වය එකවරම කළ හැක්කක් නොවෙයි. සෑහෙන කාලයක් යාවි. ඇතැම් වෙලාවට අවුරුදු දෙක තුනක් යාවි. එතෙක් ඒ බර දරාගන්න ජනතාවට සිදුවනවා ඇති. ජනතාවට රටේ අනාගතය ගැන සලකලා ඉදිරියේදී දුක් විඳින්න සිදුවෙනවා. එයට වෙන විකල්පයක් නැහැ. අනාගතය උදෙසා අද පටි තද කරගන්න වෙනවා. මෙහිදී බඩු ගණන් වැඩි යැයි දේශපාලකයන්ට දොස් කියලා වැඩක් නැහැ. එසේම මිල පාලනය වැනි කෙටිකාලීන උපක්‍රමවලින් පිටිවහලක් වන්නේ නැහැ. භාණ්ඩ මිල තද කරගෙන සිට අතහැරිය පසු රබර් බෝලයක් දිය මතුපිටට පනිනවා වගේ එක්වරම මිල ඉහළ යාවි. එය දුප්පත් ජනතාවට දරාගන්න බැහැ. පසුගිය දිනවල සිදුවූයේ එයයි. පාරිභෝගිකයා හිරිහැරයට පාත්‍ර වෙනවා විතරයි.

එහෙත් මෙහිදී ආණ්ඩුව නිකම් බලා නොසිට ගත හැකි වාසි ලබාගැනීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතිව භාණ්ඩ මිල තීරණය වෙන්නට ඉඩ දීලා බලා සිටීම වැරදියි. කොහොමත් අපට යහපත් අනාගතයක් උදෙසා අද කැපකිරීම් කරන්න වෙනවා.

සහල් හිඟයක් හදලා මිල නග්ගන්න හදනවා

මේ අතර සහල් උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය කිසිදු ආකාරයකින් සංශෝධනයට හෝ අවලංගු කිරීමට කටයුතු කර නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක පවසයි. 
පසුගිය මැයි මස 2දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව නාඩු සහල් කිලෝව රුපියල් 220ක්, සම්බා කිලෝව 230ක්, කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ලෙස මිල නියම කර ඇත. මේ මිල මට්ටම්වලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා වැටලීම් සිදු කරන අතර, මෙලෙස වැඩි මිලට සහල් අලෙවි කර අධිකරණයේ වරදකරුවකු වන තනි පුද්ගලික ව්‍යාපාරයක් සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදලක් හෝ මාස හයක සිරදඬුවමක් හෝ නැතිනම් දඬුවම් දෙකටම යටත්වීමට සිදුවෙයි. පුද්ගලික සමාගමකට ගෙවන්න සිදුවන දඩ මුදල මෙයට වැඩි අතර එය අවමය ලක්ෂ පහේ සිට උපරිමය රුපියල් මිලියන පහ දක්වා ඉහළ දමා ඇති බවද අධිකාරිය වැඩිදුරටත් කියයි.

මහා පරිමාණ මෝල් හිමියන් සහල් කෘත්‍රිමව හිඟයක් ඇතිකර කිලෝව රුපියල් 300 දක්වා මිල ඉහළ දැමීමට උත්සාහ ගන්නා බව දැනගැනීමට ඇතැයි කී විට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පැවසුවේ එම කතා අසත්‍ය වන අතර ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන මිලට වඩා සහල් වැඩි මිලට අලෙවි කිරීමට ඉඩ නොතබන බවය. ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නන් වැටලීම් මේ වනවිට වැඩිකර ඇති බවද සභාපතිවරයා පවසයි. එසේ වුවද සහල් වෙළෙඳුන් පවසන්නේ මහා පරිමාණ මෝල් හිමියන් සහල් වෙළෙඳපොළට මුදා නොහැර කෘත්‍රිම හිඟයක් ඇතිකර මිල වැඩි කිරීමට කටයුතු කරන බවය. පසුගිය සතියක කාලයක් ඔවුන් සහල් වෙළෙඳපොළට එවා නොමැතිවීම නිසා මේ වනවිට සහල් හිඟයක් නිර්මාණය වී ඇතැයි ඔවුහු කියති.

 යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05