ඉන්ධන පිළිබඳ ඇතිවන අර්බුදය නිමක් නැත. එක් අර්බුදක් නිමා වනවිට තවත් අර්බුදයක් ඒ ඇසිල්ලේම හටගනියි. ඉකුත්දා ඉන්ධන බවුසර හිමියන් කියා සිටියේ තමන්ට ප්‍රමාණවත් ඉන්ධන සංස්ථාව ලබා නොදෙන බවයි. දහසක් ප්‍රශ්න අතරේ පොදු මහජනයාට විෂය නොවුණු මෙම පුවත පිළිබඳ සවිස්තරාත්මක සොයා බැලීමට අප තීරණය කළෙමු.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රමාණවත් පරිදි බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් නොකරන බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමයයි. ඉන්ධන ඉන්ධන බෙදාහරින ටැංකිය රථ දෙසීයක් තුන්සීයක් සාමාන්‍යයෙන් දිනකට ඇණවුම් ලබාගන්නා බව ඔවුහු කියා සිටිති.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත ද සිල්වා ඒ පිළිබඳ මෙසේ කියා සිටියි.
''වෙනදට අපි සාමාන්‍යයෙන් ටැංකි රථ දෙසිය පහනත් තුන්සීයත් අතර සංඛ්‍යාවක් සේවයට වාර්තා කරනවා. පසුගිය දිනවල ටැංකි රථ සීයක් එකසීය පනහක් වගේ තමා එන්නේ. ඒ සෑම ටැංකි රථයකටම ඇණවුම් ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබෙනවා.''
ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇති බව දිගින් දිගටම බලධාරීන් පවසන පසුබිමක ටැංකි රථ හිමියන්ගේ මෙම ප්‍රකාශය තරමක ගැටලු සහතය. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රකාශයේ යම් සත්‍යතාවක් ඇති බව අවබෝධ කරගැනීමට සරල උදාහරණ මගතොටේදී අපට දැකගත හැකිය. මේ වනවිට නැවත ඩීසල් පෝලිම් රටපුරා දක්නට ලැබේ. සෑම ඉන්ධන පිරවුම්හලක් අසලම පෝලිමක් ඇත.
කෙසේවෙතත් ඇනවුම් නොලැබෙන නිසා ටැංකි රථ ඉන්ධන ලබා ගැනීමට නොපැමිණෙන තත්ත්වයක්ද නිර්මාණය වී ඇතැයි කියවේ. ඉන්ධන ලබා ගැනීමට යෑම වෙනුවෙන්ද සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවීම හේතු කොටගෙන ටැංකි රථ හිමියන් සිය රථ බෙදාහැරීම් සඳහා යෙදවීමේ අඩුවක්ද දැකගත හැකි බව සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
සාමාන්‍යයෙන් සිදුවන්නේ පිරවුම්හල්වලින් සංස්ථාව වෙත ඇණවුම් ලබාදීමයි. අනතුරුව බෙදාහැරීමේ අංශය විසින් එම ඇණවුම් ටැංකි රථ වෙත ලබා දෙයි. ඒ අනුව වෙනදාට දෙසීයක් තුන්සීයක් අතර ප්‍රමාණයක් මෙලෙස ඇණවුම් ටැංකි රථ විසින් රටපුරා බෙදා හැරෙයි. මේ මොහොතේ එම ප්‍රමාණය අඩුවී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට පහනක හැටක අඩුවීමක් බව ටැංකි රථ හිමියෝ කියා සිටිති.
මෙහිදී තේරුම් ගත යුතු සරල සත්‍ය නම් ඇණවුම් අඩුවීමට හේතුව ඉන්ධන ප්‍රමාණවත් පරිදි සංස්ථාව තුළ නොවීම බවයි. කෙසේ වෙතත් මේ දක්වා අමාත්‍යවරයාගේ සිට බලධාරීන් එම තත්වය පිළිබඳ නිසි පැහැදිලි කිරීම සිදුකොට නොමැත. විටෙක තමන් සතු ඉන්ධන ප්‍රමාණයන් ඔවුන් ප්‍රකාශ කළද ''ඉන්ධන තියෙනවා ගැටලුවක් නෑ. අද බෙදනවා, හෙට බෙදනවා'' වැනි පැහැදිලි කිරීම ඔවුන්ගෙන් නිරන්තර අසන්නට ලැබේ.
කෙසේ වෙතත් අපට අවබෝධ වන පරිදි බෙදාහැරීම සීමාකිරීම තුළින් දැනට පවතින සංචිත ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයකට බලධාරීන් අවතීරණ වී ඇත. සැබවින්ම එය දෝෂදර්ශනයට බඳුන් කළ හැක්කක් නොවේ. ගැටලුව වී ඇත්තේ ඔවුන් අනුගමනය කරන සැබෑ ක්‍රමවේදය ජනගත නොකිරීමයි. පෝලිම්වල පිච්චි යන්නේ ඉන්ධන නොව ජීවත්වීම උදෙසා මිනිසුන්ට ඇති කාලයි. එම නිසාම බලධාරීන් නොවලහා සැබෑ තතු ජනතාවට පැවසිය යුතුමය. කළමනාකරණ ක්‍රමවේදය නිසි පරිදි ජනගත කොට රටම පොදු වැඩපිළිවෙළකට පැමිණිය යුතුව තිබේ.
මේ අතර ඉන්ධන ටැංකි රථ සම්බන්ධව විවිධ ගැටලු සාකච්ඡා වෙමින් ඇත. පිරවුම්හල් වෙත ඉන්ධන ලැබීමට පමාවීම සම්බන්ධව සාකච්ඡාවක්ද ඒ අතර වේ. කෙසේ වෙතත් ටැංකි රථ හිමියන් පවසනුයේ එහි වරද තමන් අත නොවන බවකි. ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් පැය හතරක පමණ පෝලිමේ සිටීමට සිදුවන බවත් ඇණවුම ලබාගැනීමත් තවත් පැය දෙකක් පමණ ගතවන බවත් ඔවුහු පෙන්වා දෙති.
මීට විසඳුමක් ලෙස නව ටැංකි රථ ප්‍රමාණයට එක් කිරීමටද මේ වනවිට සාකච්ඡා වෙමින් තිබේ. එය කොතරම් ප්‍රායෝගිකද යන්න සැබැවින්ම ගැටලු සහගතය. ටැංකි රථ සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය සංවිධාත්මක සිදුකිරීම පළමු සිදුවිය යුතුය. එසේම ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධන කිරීම අත්‍යවශ්‍ය වේ. ටැංකි රථ සඳහා ඉන්ධන ලබා දෙන පොම්ප ප්‍රමාණය ඉහළ නැංවීම ඇණවුම් භාරදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම විසඳුම් ලෙස ඇතැම් ටැංකි රථ හිමියෝ යෝජනා කරති.
ටැංකි රථ මිලට ගැනීම සම්බන්ධ යෝජනාව කවුරු විසින් කාහට සිදුකිරීම ලැබූවක්ද යන්න පැහැදිලි නැත. නමුත් එවන් යෝජනාවක් පිළිබඳ කතිකාවක් තිබේ. ඉන්ධන ලබා ගැනීමට පවා ඩොලර් නොමැති පසුබිමක රථ වාහන ආනයනයද නවතා දමා තිබියදී එවන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත්නම් එය විහිළු සහතය.
සංස්ථාවේ ඇතැම් ආරංචි මාර්ගවලට අනුව ටැංකි අපි හිමියන්ගේ ඒකාධිකාරිය බිඳ දැමීම මෙම යෝජනාවේ බලාපොරොත්තු වී ඇති බව කියැවේ. එහිද යම් පදනමක් නැත්තේ නොවේ. ඒ කෙසේ වෙතත් ඊට සුදුසු අවස්ථාව මෙය නොවන බව කිවයුතුය. මීට අමතරව ඉන්ධන ඇණවුම් ලබාදීමේ ක්‍රියාවලිය තුළ පසුගිය සමයේ සිදුවූ අකටයුතුකම් පිළිබඳවද තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමයද ඒ සම්බන්ධ කරුණු දැක්වීමක් සිදුකොට ඇත. අවසානයේ කිව යුත්තේ ඒ පිළිබඳවද නිසි විමර්ශන සිදුවිය යුතු බවයි.
ඉන්ධන සම්බන්ධ අර්බුද කලමණාකරණ කර ගැනීම බලධාරීන් සතු ප්‍රමුඛ වගකීමකි. ආර්ථික අර්බුදය හේතුවෙන් විසඳීමට අපහසු ප්‍රධාන ගැටලු බලධාරීන්ට ඇති බව සැබෑය. ඒත් විසඳිය හැකිද නොවිසඳා බලා සිටීමට එය හේතුවක් නොවේ.
චමිඳු නිසල් ද සිල්වා