2022 ජුනි 12 වන ඉරිදා

ආණ්ඩුවත් එක්ක හැප්පෙන විදුලි ඉංජිනේරුවෝ

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 177

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අවුරුදු 26කට පසුව පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීන්දු කළේය. ඒ විදුලිබල පනත, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් වෙනස් කිරීමට ගත් තීන්දුවකට එරෙහිවය. ඔවුන් පවසන්නේ එය සිදුනොකරන ලෙසත් එසේ සිදුකළහොත් විශාල පාඩු සිදුවිය හැකි බවත්ය.

2009 අංක 20 දරන විදුලි බල පනතේ 43 වගන්තියේ උප වගන්ති 3 තාක්ෂණික පිළිගත හැකි ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලබන තැනැත්තන් අතුරෙන් අඩුම පිරිවැයකින් සැපයිය හැකි තැනැත්තකු කොමිෂන් සභාවේ කැමැත්ත ඇතුව සම්ප්‍රේෂණය කිරීමේ බලපත්‍රලාභියා විසින් තෝරාගනු ලැබිය යුතුය* යන වගන්තිය නව සංශෝධනය හරහා ඉවත් කර ඇත. එසේම තවත් වගන්ති කිහිපයක් නව සංශෝධනය හරහා ඉවත්කර තිබීම මෙම වර්ජනයට මූලික හේතුව වී තිබිණි. කෙසේ වෙතත් මෙම වර්ජනය සඳහා විදුලි ඉංජිනේරු සංගමය මූලිකත්වය ගැනීමත් සමඟ අනෙකුත් ලංවිම වෘත්තීය සමිතිද ඒ සඳහා සහයෝගය දැක්වීමට එක්විය. ඒ ඉංජිනේරු සංගමය වසර ගණනාවකට පසුව මූලිකත්වය ගත් නිසාය.

ඔවුන් සඳහන් කරන්නේ පසුගිය කාලයේ විදුලිය මිලදී ගැනීම් සිදුකළේ තරගකාරී මිල ගණන් කැඳවා අඩුම අය කිරීමට බවත් ඒ නිසා ජනතාවට සහනයක් බවත් ඔවුන් සඳහන් කරයි. එහෙත් අලුත් සංශෝධනයත් සමඟ කැමති ගණනකට කැමති කණ්ඩායමකට ලබාදීමේ කුමන්ත්‍රණය මේ හරහා ක්‍රියාත්මක වන බවද ඔවුන්ගේ චෝදනාව වී ඇත. ඒ නිසා ඊට විරුද්ධව පසුගිය 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සියලුදෙනාම රාජකාරියෙන් ඉවත් වීමට වෘත්තීය සමිති සියල්ල තීරණය කළේය. කෙසේ වෙතත් කාංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේ මේ වර්ජනය පැහැදිලිව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් මේ සංශෝධනය රටේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක කරන එකක් බවත්ය. කෙසේ වෙතත් අමාත්‍යවරයා සිටි ස්ථාවරය වූයේ මෙම සංශෝධිත පනත කෙසේ හෝ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නටය. එයට එකහෙළා විරුද්ධ වූ ඉංජිනේරු සංගමය වහාම වැඩවර්ජනයකට යාමට තීරණය කළේය.

ඉංජිනේරු සංගමය මාධ්‍ය අමතා කීවේ ඔවුන් රාත්‍රී 12න් පසුව රුකියාවෙන් ඉවත්වෙන බවත් උදෑසන වනවිට විදුලිය බිඳවැටීම සිදුවිය හැකි බවත්ය. මෙය ලැව්ගින්නක් සේ පැතිර ගිය අතර බහුතර ජනතාවක් සමාජ මාධ්‍ය හරහා මේ වෘත්තීය අරගලයට විරුද්ධව නැගී සිටින්නට වූහ. ජනතාව දැඩි අපහසුතා මැද සිටින මොහොතක මේ ආකාරයෙන් වර්ජනයන් සිදුකිරීම ජනතාවට කිසිසේත් රැස්සන කාරණයක් වුණේ නැත. ඒ නිසා ජනතා විරෝධය ක්‍රමයෙන් ඉංජිනේරුවන්ගේ නිවෙස් අසලට ගොස් විරෝධය පාන තැනට සමාජ මාධ්‍ය ප්‍රචාරණය දියත් විය.

මේ අතර ජනාධිපතිවරයා විසින් විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කරනු ලැබීය. එසේ ගැසට් කර විදුලි ඉංජිනේරුවන් සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදුන්නේය. ඒ දුරකථනය හරහාය. ජනාධිපතිවරයා අතර සාකච්ඡාව සමඟ මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු විදුලිබල වර්ජනය තාවකාලිකව අවසන් කරනු ලැබීය. මේ අතර වර්ජනය නැවතුණත් 9 වැනිදා අලුයම හදිසියේ විදුලි බිඳ වැටීමක් සිදුවිය. එය පාන්දර හතරට පමණ සිදුවූ අතර දිවයිනේ ප්‍රදේශ රුසකට ඒ හරහා විදුලිය අහිමි විය. කෙසේ වෙතත් මෙලෙස විදුලිය බිඳවැටීමට හේතුවී ඇත්තේ විදුලි ඉංජිනේරුවරු විසින් සිදුකළ වර්ජනය බව පසුව අනාවරණය විය. එහෙත් ඒ සම්බන්ධයෙන් මණ්ඩලය නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළේ නැත. කෙසේ වෙතත් ඉංජිනේරුවන් සහ තවත් සංගම් කිහිපයක් විසින් ආරම්භ කරන ලද වර්ජනය සඳහා ස්වාධීන ඉංජිනේරු සංගමය සහ ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය සහාය දැක්වූයේ නැත.

ආණ්ඩුව මෙහෙයුම අත්හැරියේ නැත. උදෑසනම කොළඹ දිසා අධිකරණය විසින් වර්ජනයේ නියැලී සිටින සියලුම සංගම්වලට වාරණයක් නිකුත් කරනු ලැබීය. ඒ අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟය. ඒ අනුව දවස් 14ක් වර්ජනයට වාරණයක් නිකුත් කරනු ලැබීය. එය ආණ්ඩුව විසින් පනත සම්මත කරගැනීමට ලබාගත් හොඳම ජයග්‍රහණය විය. මෙලෙස සිදුකිරීමට ප්‍රධාන හේතුව වූයේ වෘත්තීය සමිති බලශක්ති අමාත්‍යවරයා සහ රජය බිත්තියට හේත්තු කිරීමට ගත් උත්සාහය නිසාය. එනම් සංගමය ඉල්ලා සිටියේ කෙසේ කෝ පනත කල්දමන ලෙසය. එහෙත් අමාත්‍යවරයා කීවේ කෙසේ හෝ පනත සම්මත කරන බවය. එහිදී ඔවුන්ගේ තීරණය වූයේ යම් හෙයකින් සම්මත වුවහොත් පනත හකුලා ගන්නා තෙක් වර්ජනය දියත් කරන බවය.

කෙසේ වෙතත් බොහෝදෙනාට ඇති ප්‍රශ්නය වන්නේ මේ වර්ජනයට හේතුව කුමක්ද මෙයින් ඇතිවන ගැටුම කුමක්ද යන්නය. මෙරට කුඩා ජල විදුලිබලාගාර, පුනර්ජනනීය බලාගාර සියල්ල නිෂ්පාදනය කළත් ඒ විදුලිය මිලදී ගැනීමය විදුලිබල මණ්ඩලය ක්‍රියා කළේ නැත. ඒ ඔවුන් සතු මිල ගණන් විවිධ නිසාය. එය ඇත්තය. එම බලාගාර නිෂ්පාදනය කරන පිරිවැය සමඟ විදුලි ඒකකයක් වීකිණිමේ ගණන් වෙනස් විය හැක. එහෙත් ජාතික විදුලි බල පද්ධතිය මේ හරහා ශක්තිමත් වීමේ ඉඩ වැඩිය. එනම් කුඩාබලාගාර හරහා විදුලිය මිලදී ගැනීමත් සමඟ විදුලි බල හිඟයක් ඇති වන්නේ නැත. මේ පනත හරහා තරගකාරී මිල ගණන් ඉවත් කෙරෙන්නේ ඒ ඉඩ ලබාගැනීමටය. එහෙත් ඊට විදුලි ඉංජිනේරුවෝ විරුද්ධය. ඒ විදුලි මාෆියාව ප්‍රබල නිසාය. ඒ ගැන අප වෙනම ලිවිය යුතුය.

කෙසේ වෙතත් අවසානයේ ඇමැතිවරයා කෙසේ හෝ පනත සම්මත කරගත්තේ විදුලි ඉංජිනේරුවන් බිත්තියට හේත්තු කරමිනි. නමුත් එය දවස් 14 කටය. එතැනින් පසුව සිදුවන දේ අප දන්නේ නැත. එය කෙතරම් අවුල් සහගට වෙයිද යන්නත් දන්නේ නැත. එහෙත් ජනතාව අමාරුවේ දමන විදුලිය වර්ජනයකට ගියහොත් ජනතා විරෝධය නියත වශයෙන් වෘත්තීය සමිති වෙත එල්ල වීම බලාපොරොත්තු විය යුතුය.

■   ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05