වර්තමාන දේශපාලන කරළිය හරියට බිම වැටුණු බූරුවා කුට්ටමක් වගේය. ආසියෝ, හේරෝ, පොරව, බුරුවෝ සීසීකඩය. සමහර හොඳම කොළ දිය වී ගොසිනි. ඕන නැතිම කොළ අලුත්ම මුහුණුවරකින් බූරුවා කුට්ටමේ උඩම කොළ අතරය. ඊටත් වඩා සීසිකඩ විසිරුණු බූරුවා කුට්ටමේ ජෝකර්ලා ආසියා තරමට වටිනාකම් අරගෙනය. ඒ නිසා ලංකාවේ දේශපාලනය නැවත නැවතත් කියතොත් බිම වැටුණු බූරුවා කුට්ටම හා සමානය.
කෙසේ වෙතත් වර්තමානයේ මහජනතාව මේ වනවිට මේ රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ඉතිහාසයේ කවරදාවත් නොවී විරූ අයුරෙනි. දේශපාලනඥයන් සතපහකට ගණන් නොගන්නා තැනට ජනතාව අද පත්ව සිටින්නේ එකී දේශපාලනඥයන් විසින්ම එකී සංස්කෘතිය පෝෂණය කළ නිසාය. ඒ නිසා පරණ දේශපාලන සෙල්ලම් ලෙල්ලම් දැන් හරියන්නේ නැති බව සියලුම දේශපාලනඥයන් මේ වනවිට දැනගෙන හමාරය. ඊටත් වඩා පුද්ගලයා නොව ප්‍රතිපත්තිමය කාරණා මත ජනතාව මීළඟ ඡන්දය භාවිත කරන බවත් පරණ මුහුණු වෙනුවට අලුත් මුහුණු සොයන බවත් මේ වනවිට සියලුම දේශපාලනඥයන්ට සක්සුදක් සේ දැනී සිටිය යුතුය. ඒ නිසා දැන් දේශපාලනඥයෝ නිවැරදි පාරවල් සොයමින් ගමන් අරඹන්නට පටන් ගෙන සිටිති. ඒ අලුත්ම අලුත් වැඩපිළිවෙළක් හරහාය.
නවතම දේශපාලන වැඩපිළිවෙළ වී ඇත්තේ අලුත්ම අලුත් සන්ධාන සහ පක්ෂ කිහිපයක් නිර්මාණය කිරීමය. එය විවිධ මුහුණුවරින් කරළියට එමින් ඇත. කාලයක් සජිත් සමඟ මතවාදීව ගැටෙමින් සිටින පාඨලී චම්පික රණවක සජබයෙන් ඉවත්ව ස්වාධීන වුණේය. එලෙස ස්වාධීන වීම ගැන බොහෝදෙනා විවිධ කතා කියූ අතර මෙලෙස වෙන්වූයේ චම්පික අලුත් ගමනක් යාම සඳහා බව කියැවිණි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඒ තොරතුර සත්‍ය බව තහවුරු විය. පක්ෂ කිහිපයක ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් සමඟ ඇති කරගත් එකඟතාවය මත චම්පික විසින් අලුත් දේශපාලන පිම්මක් තැබීමට ආරම්භය ගෙන ඇත. එහි පළමු පියවර වන්නේ මින් ඉදිරියට කිසිදු පක්ෂයක තීන්දු තීරණ මත කටයුතු නොකරන කට්ටියක් නිර්මාණය කර ගැනීමය. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහ තරුණ පිරිසක් එක්ව ආරම්භ කරන මෙම ස්වාධීන කණ්ඩායම ඉදිරියේදී සන්ධානයක් වීමේ ඉඩකඩ ඇත. එපමණක් නොව එහි නායකයාද චම්පික රණවක වීමේ ඉඩ උඩින්ම ඇත. මෙම සන්ධානය පවුල් දේශපාලනයෙන් තොරව නිර්මණය කිරීමට තීරණය වී ඇත.
මීට අමතරව තවත් සන්ධානයක් නිර්මාණය කිරීමට පොහොට්ටුව නිර්මාණය කළ පිරිසක් විසින් තීරණය කර ඇත. විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු කණ්ඩායම විසින් නිර්මාණය කරන එම සන්ධානය සඳහා බොහෝවිට ඩලස් අලහප්පෙරුම මූලිකත්වය ගනු ඇතැයි දේශපාලන කරළිය තුළ කතාවේ. විශේෂයෙන් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා කලකිරීමෙන් සිටින බොහෝ දෙනකුගේ එකම සැනසුම සහ නැවතුම මෙම සන්ධානය වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම සන්ධානය සඳහා බැසිල් රාජපක්ෂ හිතවාදී කණ්ඩායම දැඩි විරෝධයක් දක්වන බවද දැනගන්නට ඇත.
මේ අතර බොහෝදෙනා බලා සිටින්නේ පොහොට්ටුවට ඉදිරියේදී කුමකින් කුමක් වේද යන්නය. බැසිල් රාජපක්ෂ මහතා ඉවත්ව ගොස් ඇති නිසා තවදුරටත් පොහොට්ටුවක් නැති බව බොහෝදෙනා කතාවෙන දෙයක් වී ඇත. කෙසේ වෙතත් නැවතත් පොහොට්ටුව නගාසිටුවීම සඳහා අලුත් මුහුණුවරක් හදමින් සිටින බවද දැනගන්නට ඇත. එහි පසුපස සිටින්නේ වෙනින් කවුරුත් නොව බැසිල් රාජපක්ෂමය. බැසිල් රාජපක්ෂ විසින් ඊළඟ මැතිවරණ සඳහා පොහොට්ටුව වෙනත් මුහුණුවරකින් නිර්මාණය කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ නව මුහුණුවරට ධම්මික පෙරේරා නැමති ව්‍යාපාර ලෝකයේ දැවැන්තයාද මුහුණදීමට නියමිතව සිටී.
කෙසේ වෙතත් එලෙස බැසිල් රාජපක්ෂ නැවත පොහොට්ටුවට පණ දෙනවිට පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් නව පක්ෂයක් සඳහා ඔටුණු තනන්නට යන බව දැනගන්නට ඇත. දේශපාලන ලෝකයේ ප්‍රබලයකුගේ පුතෙක් රජ කරවීම සඳහා නිර්මාණය කරන මෙම පක්ෂය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්තක් බව දැනගන්නට ඇත. මේ සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් වන බවද දැනගන්නට ඇත. මේ දේශපාලන පුත්‍රයා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අයෙකි.
සන්ධාන කතාවේ අලුත් දීගයක් හැදෙන්නට යන්නේ කාලයක් නයි මුගටි සේ සිටි දෙපිරිසක් අතරය. දේශපාලනයේදී සදාකාලික මිතුරොත් නෑ හතුරොත් නෑ කිව්වා හා සමානව අද වනවිට ජවිපෙත්, පෙරටුගාමී පක්ෂයත් එක වේදිකාවක සිටිමින් හීන දකින්නට පටන් ගෙන ඇත. ඒ අරගලය හේතුවෙනි. කාලයක් පස මිතුරන් සේ සිටි මේ දෙපිරිස අද වනවිට එක වේදිකාවක සිට බලය ඇල්ලීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත.
මේ අතර අනෙක් සන්ධානය වන්නේ රණවිරු සන්ධානයකි. නැත්නම් පක්ෂයකි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් නිර්මාණය කරන මෙම පක්ෂය සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් යොදවා ගැනීම ඔහුගේ අරමුණ වී තිබේ. දැනටමත් හමුදාවේ සිටින අනාගතයේ දේශපාලන හීන දකින ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම එම පක්ෂය සඳහා එකඟත්වය පළකර ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ ඉක්මනින් මේ රටේ බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගැනීම සඳහාය.
මේ සියල්ල මැද තවත් පිරිසක් පක්ෂ මාරු කරන්නටද කටයුතු කරමින් සිටිති. කාලයක් එජාපයේ සිට වෙන්ව ගිය පිරිසක්, සජිත් හිතවාදීන් දැන් මැති ඇමති පට්ටම් පිටින්ම අලියාගේ සෙවණට යන්නට පටන් ගෙන ඇත. දැන් අලියා නැවත නගා සිටුවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෝ උපරිමව කටයුතු කරමින් සිටිති. කෙසේ වෙතත් රනිල් සජිත් එකතුවක් සඳහා බොහෝ සමාජිකයන් හීන දැක්කත් ඊට සජබයේ කැමැත්ත තවම ලැබී නැත. ඒකට හේතුව කිසිදු විටෙක අලියා සමඟ ජයග්‍රණයක් නොමැති බවට ඔවුන් තුළ පවතින අදහසය.
මේ ආකාරයෙන් පක්ෂ නිර්මාණය කරමින් යන අලුත්ම ගමන අවසන් වන්නේ ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයෙන්ය. ඒ සඳහා මෙකී පක්ෂ තමන්ගේ මොඩලය වෙනස් කරමින් බලය ඇල්ලීම සඳහා පිඹුරුපත් සැකසුවත් මේ ජනතාව අරගලය හරහා ගෙන ආ තර්ක, සංවාද, යෝජනාවලට ලබාදෙන විසඳුම කුමක්ද යන්න අදටත් නිසි පිළිතුරක් නැත. එවන් මොහොතක ජනතාව ඊට කැමැත්‍ත පළ කරයිද, අලුත් සන්ධානවලට ඉඩ ලැබෙයිද යන්න තීරණය වන්නේ ජනතාවගේ කැමැත්ත මතය. ඒ නිසා ජනතා කැමැත්ත නියෝජනය කරන කණ්ඩායමක් මේ මොහොතේ අවශ්‍යමය. එසේ නම් ඒ කවුද..? ඊට නායකත්වය දිය හැක්කේ කාටද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් අද වනවිට ඊට පිළිතුරු ලෙස අරගල භූමිය හරහා අලුත් දේශපාලන සංස්කෘතියක් මේ වනවිට නිර්මාණය වී ඇති නිසා අරගල භූමිය තුළින් පක්ෂයක් එළියට එන දින වැඩි ඈතක නැත. දැනටමත් ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙයි. ඒ නිසා හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බව කිවයුතුය.
ගයාන් ගාල්ලගේ