2022 ජුනි 19 වන ඉරිදා

සතුන් වත්තටත් ආහාර හිඟයිද?

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 61

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බොහෝ දෙනකු දිවි ගෙවන්නේ දැඩි ආර්ථික අපහසුතා මැදය. නිසි පෝෂණීය ආහාර වේලක් ගැනීම පසෙකලා දිනකට වේල් තුන වෙනුවට වේල් එකක් හෝ දෙකකින් දවස පියවා ගන්නා අය අද මේ සමාජයේ සිටිති. මේ ආහාර හිඟය සත්ව ලෝකයේ ජීවත්වන සතුන්ටද බලපා තිබෙන බව ජනතාව පවසති. වෙනදාට වීදිවල සිටින සතුන්ට ආහාරපාන ලබාදීමට පැමිණි පිරිසේ අඩුවක්ද පවතී. මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සතුන්ටද ආහාර හිඟයක් පවතින බව විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වුණි.

මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සියලුම සතුන්ට අපි සාමාන්‍යයෙන් ලබාදෙන සියලුම ආහාර වර්ග අපි ලබා දෙනවා. එහි කිසිම අඩුපාඩුවක් නැහැ. මේ දිනවල සත්ව පැටව් කිහිපදෙනෙක්ම දෙහිවල සත්වෝද්‍යානයේ බිහිවුණු නිසාත් වෙනදාටත් වඩා හොඳට ඒ පැටවුන්ගේ දෙමව්පියන්ට සහ පැටවුන්ට ආහාරපාන ලබල දෙනවා. ඔවුන්ට පෝෂණ අගය වැඩිවන ප්‍රමාණයට ආහාර වර්ග වෙනදා වඩා හොඳට ලබාදෙන්න අපි කටයුතු කරල තියෙනවා. ඒ නිසා ආහාර අර්බුදයක් ඇත්තටම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නැහැ.* යැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව ඔවුන් පවසන පරිදි වෙනදාට සතුන්ට ලබාදුන් කෑම වට්ටෝරුව ඒ පරිද්දෙන්ම දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සතුන්ට ලැබේ. ආහාර අර්බුදයක් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නොමැති අතර කවුරුන් හෝ ආහාරපාන හෝ මුදල්මය වශයෙන් යම් ආධාරයක් ලබාදීමට කැමැත්තෙන් සිටී නම් දෙහිවල ජාතික සත්වෝද්‍යානය එය ලබාගැනීමට කැමැත්ත පළකරයි.

කවුරුන් හෝ කෙනෙක් හෝ පිරිසක් මේ සතුන් වෙනුවෙන් ආහාරමය වශයෙන් හෝ මුදල්මය වශයෙන් යම්කිසි ආධාරයක් ලබාදීමට කැමැත්තෙන් සිටී නම් එය අපි සතුටින් බාරගන්නවා. එයින් යම් ඉතිරිවන මුදලක් තිබේ නම් එය මේ සතුන් සුබසාධනය කිරීමේ සංවර්ධන කටයුතුවලට යොදාගන්නට පුළුවන්.* යැයිද දිනුෂිකා මානවඩු මහත්මිය වැඩිදුරටත් පැවසීය.

මේ අනුව යම් කෙනකුට මේ සතුන් වෙනුවෙන් පළතුරු වර්ග, එළවළු වර්ග, මාංශ වර්ග ලබාදීමේ හැකියාව පවතී. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සත්වෝද්‍යානය අමතා ලබාගැනීමට හැකිය. පසුගිය දිනෙක එක්තරා පුද්ගලයකු අලි ඇතුන් සඳහා දිනකට අවශ්‍ය වෙන පළතුරු ලබාදී තිබිණි. මීට අමතරව අලි ඇතුන් සහ අනෙකුත් ශාක භක්ෂක සතුන්ට අවශ්‍ය කරන කොළ අතු ගෙවතුවලින් කපා ඉවත් කරන්නේ නම් ඒවාද බාරගැනීමට හැකි වුවත් ඉන්ධන අර්බුද හේතුවෙන් දෙපාර්තමේන්තුවේ රථවාහන දුර ප්‍රමාණය අනුව සීමාකර ඇති අතර ප්‍රදේශය අවට එවැනි අතු වර්ග තිබේ නම් එය ලබාගැනීමට දෙපාර්තමේන්තුවට හැකියාව ඇත.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන්ට ආහාරපාන සපයනු ලබන්නේ ටෙන්ඩරයන් මඟිනි. වසරක ටෙන්ඩරයන් ඒ අනුව ක්‍රියාත්මක වේ. එම වසර පුරාවට ටෙන්ඩරයේ මිල ගණන් යටතේ මෙම සතුන්ට ඒ අවශ්‍ය ආහාර පාන ලබාදීමට ඔවුන් බැඳී ඇත. ඒ හේතුවෙන් සත්වෝද්‍යානයේ සතුන්ගේ ආහාර පාන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව දෙපාර්තමේන්තුව පවසයි. දිනපතා එම ටෙන්ඩර්කරුවෝ අදාළ ආහාරපාන සත්වෝද්‍යානයට ලබාදෙති.

මේ වනවිට එළවළු, පළතුරු සේම මස්, මාළු බිත්තරවල මිලද ඉහළ ගොස් ඇත. ජාතික රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදෙන ලබන ආහාර වේලේ මේ වනවිටත් මාළු, බිත්තර ලබාදෙන්නේ නැත. එවන් කාලයක ජාතික සත්වෝද්‍යානයේ ජීවත්වෙන මාංශ භක්ෂක සත්වයන්ට අවශ්‍ය මස්, බිත්තර, මාළු, ලැබෙන්නේද යැයි ඇතැම්හු ප්‍රශ්න කරති.

සාමාන්‍යයෙන් ටෙන්ඩරයක් දමද්දී එම ආයතනය විසින් ඒ අවුරුද්ද පුරාවට අවශ්‍ය ආහාරපාන ලබාදීමට බැඳිලා ඉන්නවා. මස්, මාළු, බිත්තර ආදී ආහාරපාන සම්බන්ධවත් තත්ත්වය එසේමයි. තාක්ෂණික ඇගයීම් කමිටුවකින් අනුමැතිය අරගෙනයි ටෙන්ඩරය ලබලා දෙන්නේ. ඒ වගේම ආහාරපාන උසස් තත්ත්වයෙන් ගන්නේ. ඒ නිසා මාංශ භක්ෂක සතුන්ට වුණත් ආහාර ප්‍රශ්නයත් ඇතිවෙලා නැහැ. ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් කවදාවත් ඇතිවෙන්නේ නැහැ. ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් සොයා බලනවා. සත්වෝද්‍යානයේ පෝෂණ අංශය සහ පශු වෛද්‍යවරුන් විසින් ආහාර නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබනවා. ඒ වගේම ආහාරවල ප්‍රමාණයත් අපගේ ගබඩාවෙන් පරීක්ෂා කර බලනවා. ඒ වගේම කෑම ටික සත්වයා ළඟට පැමිණියාට පසුව සත්ව බාරකරු විසින් එක එක පළතුරු ගෙඩිය කපලා නිරීක්ෂණය කරල බලලා තමයි සත්වයන්ට ඒ ආහාරපාන ලබලා දෙන්නේ. පළතුරුවල වර්ණය, ප්‍රමාණවල වෙනස්කම් පවතී නම් ඒ සම්බන්ධයෙන් ඒ සත්ව බාරකරු විසින් සොයා බලනවා. එලෙස යම් අඩුපාඩුවක් තියෙනවා නම් එය ඒ මොහොතේම නිවැරදි කරනවා* යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මානවඩු මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ අතරේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සත්වයින්ගෙන් කොටසක් සත්වෝද්‍යානයෙන් ඉවත් කිරීමට සූදානම් වන බවද සමහරු ප්‍රකාශ කරති. මේ සම්බන්ධයෙන්ද දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළෙමු.
මෙය විද්‍යාත්මකව බොහෝ කාලයක් තිස්සේ අපි ක්‍රියාත්මක කරපු දෙයක්. මෙය සත්ව ගහනය පාලනය සඳහා සිදුකරපු දෙයක්. කිසිම වෙලාවක මිනිසුන් සිටින, ඔවුන්ට කරදරයක් වෙන දෙයක් සිදු කරන්නේ නැහැ. වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරය ගෙන පශු වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සහතික ලබාදීලයි ඒ සතුන්ට කැලෑවලට මුදා හරින්නේ. ඒ මුදා හරිද්දී මහා පරිමාණයෙන් සතුන්ව මුදා හරින්නේ නැහැ. මේ ක්‍රියාවලිය වසර ගණනාවක් සිටම ක්‍රියාත්මක වන දෙයක්. ඒ වගේම මෙහිදී මුදාහරිනු ලබන්නේ ශ්‍රී ලාංකිය සතුන් පමණයි. විදෙස් රටවලින් ගෙන්වූ සතුන් කිසිවෙක් අපි මෙහිදී මුදාහරින්නේ නැහැ. ආයතනය පවත්වාගෙන යද්දී ලංකා නීතිරීති වගේම ලෝක නීති රීති, අන්තර්ජාතික නීති රීති වගේම අන්තර්ජාතික සංගම්වල නීති රීතිවලට අනුකූලවයි ක්‍රියා කරන්නේ.* ඇය සඳහන් කළාය.

අද වනවිට බෙංගාලි වර්ගයේ ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනකු මහජන ප්‍රදර්ශනය සඳහා වෙන්කර ඇත. මෙම ව්‍යාඝ්‍ර පැටවුන් රුකබලාගන්නේ එරංග මහතා විසිනි. ව්‍යාඝ්‍ර පැටව් තිදෙනාම දඟකාර පිරිමි පැටව් තිදෙනෙකි. කෙල්ල නම් මවට දාව උපන් මෙම ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ පියා රොබින්ය. මුල් දින කිහිපය තුළදී කෙල්ල තම පැටව් තිදෙනාට කිරිදීම මඳක් ප්‍රතික්ෂේප කර තිබිණි. එහිදී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම ඇතුළු සත්ව බාරකරු වගේ විසින් පැටව් තිදෙනාට කිරි වේල් කිහිපයක් ලබාදී ඇත. මෙය කුඩා පැටවුන්ට ලබාදුන් විදෙස් රටවලින් ගෙන්වන ලද කිරිපිටි වර්ගයකි. දින තුනක් යද්දී කුඩා මස් කැබලිද පැටවු තිදෙනා ආහාරයට ගත්හ. මෙම පැටව් සඳහා ලබාදෙනු ලබන කිරිපිටි වර්ගවලද කිසිදු අඩුවක් නොමැති බව දෙපාර්තමේන්තුව පවසයි. මෙය විදෙස් රටවලින් ගෙන්වන පිටි වර්ගයකි. මේ වනවිට අවශ්‍ය තරම් පිටි දෙපාර්තමේන්තුව සතුව පවතී.

විශේෂ ස්තූතිය: තිලක් ප්‍රේමකාන්ත මහතාට
අධ්‍යක්ෂ ජනරාල්, දෙහිවල සත්වෝද්‍යානය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ: සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05