2022 ජුනි 19 වන ඉරිදා

දුක කියන්න ජිනීවා යන්න හදන පොහොට්ටු මන්ත්‍රීලා

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 121

යුරෝපයේ සීත ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිළිබඳ ලක්වාසීහු නිතර කතාබහ කරති. ඊට හේතුව වසරකට වරක් දෙවරක් පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසියයි. ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහිද ජිනීවා බලපෑම ගෙවුණු දශකය එකහමාර තුළ තීරණාත්මක වූ බව අප දනිමු. දේශපාලන කරළියේ දිගින් දිගටම තඩිබාන මුව හමක් බවට ජිනීවා පත්විය. කෙසේ වෙතත් මෙවර ජිනීවා කරළියට පැමිණ ඇත්තේ වෙනස්ම මුහුණුවරකිනි.

සිය ගේදොර ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමක් සැරසී සිටින බව අපට දැනගන්නට ලැබුණි. මෙරටදී සිදුවන විමර්ශනවලින් මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වූ හානිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවේ යැයි අපේක්ෂා කළ නොහැකි බැවින්, ඔවුන් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට ඔවුන් සූදානම් වන බවක් කියැවුණි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් අපි විමසා සිටියෙමු. ජිනීවා  යෑම පිළිබඳ පළමුවරට තොරතුරු අනාවරණය කර තිබුණේ ඔහුය.

අපි ජිනීවා මානව හිමිකම් කොමිසමට වගේම ජිනීවාවල තියෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් (IPU) යන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ව පසුගිය මැයි නව වැනිදාත් ඊට පසුවත් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවුණු බලපෑම පිළිබඳ දැනුවත් කරන්න. නමවැනිදා සිදුවීමේදී එක් මන්ත්‍රීවරයෙක්  ඝාතනය කෙරුණ, මන්ත්‍රීවරු ප්‍රහාරයට ලක්වුණා, තවත් මන්ත්‍රීවරු අසූ දෙනකුගේ පමණ නිවාස දේපළ විනාශ කළා. ඒ වගේම පොදුජන පෙරමුණ පාක්ෂිකයන්ගේ, පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ නිවාස දේපළ විනාශ කළා. ඒ අනුව මෙම සිදුවීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් අපි එම ආයතන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම අනුව පොදුජන පෙරමුණ ජිනීවා වෙත යාමට සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අටියෙනි. කෙසේ වෙතත් ජිනීවා සම්බන්ධව පසුගිය කාලය වකවානුවේ පොහොට්ටු කණ්ඩායම තුළ වූයේ දැඩි අප්‍රසාදයකි. ජිනීවාවල ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිදුවන ආකාරයත්, ජිනීවා වෙත ගොස් ද්‍රෝහීන් රට පාවාදෙන ආකාරයත් ඔවුහු පැහැදිලි කළෝය. එහෙත් මෙවර ජිනීවා විශ්වාස කරමින් සිය දුක් ගැනවිල්ල ඒ වෙතම රුගෙන යෑමට ඔවුහු උත්සුක වෙති.
මෙවන් වටපිටාවක් තුළ ජිනීවා වෙත යන මෙම කණ්ඩායමේ  බලාපොරොත්තුව කුමක්ද? යන්න අපි සොයා බැලුවෙමු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ සම්බන්ධව මෙසේ පැහැදිලි කරයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරන්නේ අපේ කණ්ඩායම කියලා යම්කිසි මතයක් පිරිසක් විසින් පසුගිය කාලය පුරා ගොඩනැගුවා. ඒ වගේම පසුගිය සිදුවීම ජාත්‍යන්තරව යටපත් කරන්නත් යම්කිසි බලපෑමක් තිබුණා. ඒ නිසාම පසුගිය නම වැනිදා සිදුවීමත් එක්ක ලංකාවේ තිබෙන තානාපති කාර්යාල රුසක් අපි දැනුවත් කරා. අපි පින්තූර තොරතුරු ඔවුන්ට ලබාදුන්නා. මේ සම්බන්ධව ජාත්‍යන්තරය දැනුවත් කිරීම වැදගත්. මන්ත්‍රීවරුන් අසූවකගේ නිවාස එකම දවසක ගිනි තියනවා කියලා කියන්නේම, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවුණු ලොකුම හානියක්. එයින්  නොනැවතුණු පිරිස් දැන් කියමින් ඉන්නවා අර පනතට මේ පනතට ඡන්දෙ දුන්නෙ නැත්තං අඬන්න වෙන්නේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම කිරීමට හැකියාවක් නෑ.

පසුගිය දශකය පුරාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමානයේ නියෝජනය කරන පිරිස් ජිනීවාහිදී විවේචනයට ලක්විය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා වන මූලධර්ම ඔවුන් බිඳදමා ඇති බව ජිනීවා ජාත්‍යන්තර කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදය බලාත්මක කිරීම සඳහා වන විවිධ යෝජනාද මෙම කණ්ඩායම් විසින් ඉදිරිපත් කලින් කලට කොට තිබුණි. කෙසේ වෙතත් වර්තමාන සිදුවීම් ජිනීවා වෙත රුගෙන යන්නේ එදා චෝදනාවට ලක් වූ පිරිසයි. එය තරමක් දෛවෝපගත සිදුවීමකි.

කෙසේවෙතත් ප්‍රජාතන්ත්‍රවාදය නොතකා හැරීමට හෝ නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නොමැති බව පැහැදිලිවම සඳහන් කළ යුතුවේ. එසේම මැයි නව වැනිදා සිදුවීම් පෙලෙන් කිසිදු කොටසක් සාධාරණ කොට දැක්වීම යුක්ති යුක්ත නොවේ. සාමකාමී විරෝධතාවයකට අත තබා අදූරදර්ශී දේශපාලන නායකයන් විසින් සිදුකරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව අප අමතක කළ යුතු නැත. ඒත් ඊට ලැබෙන ප්‍රතිචාරය තවදුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් එය සාධාරණීයකරණය කිරීම නොවිය යුත්තකි.

කෙසේ වෙතත් බොහෝ දෙනකුට ඇතිවන පැණය නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම කණ්ඩායම ජිනීවා වෙත යාමට සැරසෙන්නේ, මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ අවිශ්වාසය හේතුවෙන්ද යන්නයි. මන්ද එම සිදුවීම සිදුවන මොහොතේ මෙන්ම වර්තමානයේද මෙම මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ මෙරට ආණ්ඩු පක්ෂයයි. එවන් වටපිටාවක් තුළ අප ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ ඔවුනට නීතිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධව ඇති විශ්වාසය තරමයි.

මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි කොහොමද විශ්වාසයක් තියන්නේ. මේ නිවාස 80ම ගිනි තියද්දී පොලිසිය ඒ ස්ථානවල හිටියා. පොලිසිය බලාගෙන හිටියත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ ඒව නවත්තන්න. ඒ නිසා අපි මේ සම්බන්ධව විශ්වාසයක් තියන්නේ කොහොමද? දැන් අත්අඩංගුවට ගැනීම්වලත් මන්දගාමී බවක් තියනවා. විශේෂයෙන්ම නම වැනිදා උදෑසන අපි අනුමත කරන්නේ නෑ. එය විශේෂයෙන් සඳහන් කළ යුතුයි. හැබැයි නව වැනිදා උදෑසන කතාවක් කරපු අයත් අත්අඩංගුවට ගත්තා. එහෙත් ගිනිතියපු මිනීමරපු මංකොල්ලකාපු අයට එහෙම නීතිය ක්‍රියාත්මක වුණේ නෑ.

පොලිසිය සම්බන්ධයෙන් තම කණ්ඩායමට ගැටලුවක් ඇති බවත් ඒ පිළිබඳ පොලිස්පතිවරයාද දැනුවත් කළ බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියි. එහෙත් පොලිස්පතිවරයා දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ඔහු විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදුකරයි. එසේම මෙම කටයුතුවලට සම්බන්ධ වූ පිරිස් වෙත පැය විසිහතරෙන් අධිකරණ ඇප ලැබීම පිළිබඳවද ගැටලුවක් ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එළඹෙන සැප්තැම්බර් මාසයේදී ජගත් මානව හිමිකම් කවුන්සිලය රුස් වනවිට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තම පැමිණිල්ල ඔවුන් වෙත ඉදිරිපත් කරනු ඇත. සැසිය තුළ සිය කරුණු දැක්වීම් සඳහා කාලයන් ලබා ගැනීම ඔවුන් මේ වනවිටත් ඉල්ලීම් සිදුකර ඇති බව කියැවේ. මෙම කටයුත්ත සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ජිනීවා වෙත පිටත්ව යෑමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ආරංචි මාර්ග සනාථ කරයි.

■  චමිඳු නිසල් ද සිල්වා