ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කරයක ආයෝජනය කළ ඇමෙරිකානු බැංකුවක් වන හැමිල්ටන් රිසව් බෑංකුව තමන් ආයෝජනය කළ මුදල හා ඒ සඳහා වන පොලිය ගෙවන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ නිව්යෝක් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබේ.
1948දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව සිදුකරන ලද පළමු ස්වෛරී ණය පැහැර හැරීම මෙය බවත් ඒ සම්බන්ධයෙන් බැඳුම්කර හිමියකු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජනපදයේ නඩු පවරා ඇති බවත් අල් ජසීරා වෙබ් අඩවිය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ප්‍රමාණයෙන් 5.875%ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට අධික ප්‍රමාණයක් හිමි හැමිල්ටන් රිසව් බැංකුව පසුගිය අඟහරුවාදා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරමින් ඉල්ලා ඇත්තේ තමන්ට හිමි ස්වෛරී බැඳුම්කරය ජූලි 25 දින කල්පිරීමට නියමිත හෙයින් තමන් ආයෝජනය කර ඇති මුදල හා ඊට ලැබිය යුතු පොලිය සම්පූර්ණයෙන්ම ගෙවන ලෙසටය.
වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව තවත් ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහාද ගෙවීම් පැහැර හැර ඇතැයි එම බැංකුව ප්‍රකාශ කර තිබේ ඒ සඳහා පොලිය ගෙවීමට ලබාදුන් දින 30ක සහන කාලයද පසුගිය මැයි මාසයේ අවසන් වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන්ය.
සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්හි පිහිටි හැමිල්ටන් රිසව් බැංකුව එම නඩුවේදී කියා ඇත්තේ, මෙම ණය ගෙවීම පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සිදුකර ඇති බවයි. ශ්‍රී ලංකාව ප්‍රකාශිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ දේශීය බැංකු සහ උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්ව විසින් තබා ඇති බැඳුම්කර බැහැර කර ඇති බවටද ඔවුන් චෝදනා කර තිබේ. මෙම බැඳුම්කර සඳහා ආයෝජනය කර ඇත්තේ Fidelity Investments, BlackRock, T. Rowe Price, Lord Abbett, JPMorgan, PIMCO, Neuberger, Berman වැනි එක්සත් ජනපදයේ විශ්‍රාමික පද්ධතිවලට සම්බන්ධ ආයෝජකයන් විසිනි. ශ්‍රී ලංකාව ණය ගෙවීම දින නියමයක් නොමැතිව කල් දැමීම මත ඇමරිකානු විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ මුල් ආයෝජන වටිනාකමෙන් 80% පමණ අලාභයක් විඳින්නට සිදුවනු ඇතැයි හැමිල්ටන් රිසව් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
දි ඉකොනොමිස්ට් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි බැඳුම්කර හිමියන් 30කට වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සිය විදේශ ණය පැහැර හැරීමෙන් පසුව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට කණ්ඩායමක් යොදවා ඇති නමුත් අවම වශයෙන් එක් කොටසක් හෝ තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජනපද අධිකරණයක නඩු පැවරීමට පියවර ගත් බවටය. කෙසේ නමුදු ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිදු කෙරෙන සාකච්ඡා සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සෞභාග්‍යයට සහාය වීම සඳහා තිරසර කොන්දේසි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අර්ථවත් ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ගැලපුම් පැකේජයක් සකස් කර ක්‍රියාත්මක කිරීමට බලධාරීන් දිරිමත් කළ යුතු බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
ශ්‍රී ලංකාව සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6ක බැඳුම්කර පවතී. ඇතැම් බැඳුම්කර, 2015ට පෙර නිකුත් කරන ලද ඒවාය. ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය අප්‍රෙල් 12 වැනිදාය.
&1948 නිදහස ලැබීමේ සිට ශ්‍රී ලංකාව විදේශ ණය සේවා පිළිබඳ නොකැළැල් වාර්තාවක් තබා ඇත. කෙසේ වෙතත්, Covid-19 වසංගතයේ බලපෑම් සහ යුක්රේනයේ යුද ගැටුම් ඇතුළු මෑත සිදුවීම්, සාමාන්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන ගිය ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය අර්බුදයට ලක්ව ඇත. බාහිර රාජ්‍ය ණය බැඳීම් පූර්ණය කළ නොහැකි වී ඇති බව* මුදල් අමාත්‍යංශය කළේය.
&පසුගිය මස අගදී, IMF විසින් ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන ලෙස තක්සේරු කරන ලදී. ආණ්‌ඩුව සිය සියලු බාහිර ණයගැතිභාවය මත රුඳී සිටීමේ ප්‍රයත්නය සඳහා අසාමාන්‍ය පියවර ගෙන ඇතත්, මෙය තවදුරටත් දරාගත හැකි ප්‍රතිපත්තියක් නොවන බවත්, මෙම බැඳීම්වල පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වන බවත් දැන් පැහැදිලි* යැයි එහිදී මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය..
මෙම දුෂ්කර යථාර්ථයට මුහුණ දී සිටින රජය, ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනක් සැලසුම් කිරීමේ සහ හදිසි මූල්‍ය ආධාර සහය සඳහා IMF වෙත යොමු වී තිබේ. මෙම අසාමාන්‍ය තත්ත්වය ශ්‍රී ලංකාවේ පුරවැසියන් මත පටවා ඇති දුක් වේදනා සමනය කිරීම සඳහා රජය අනෙකුත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් ද මූල්‍ය ආධාර අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය ණය පූර්ණ තිරසර තත්ත්වයකට ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පුළුල් සැලැස්මක් රටේ ණය හිමියන් වෙත සම්පාදනය කර ඉදිරිපත් කිරීමේ අරමුණින් හැකි ඉක්මනින් IMF සමඟ සාකච්ඡා කිරීමට රජය අදහස් කරන බවද මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.
රජයේ නව ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ එහි රාජ්‍ය අංශයේ ණය ගැණුම්කරුවන්ගේ පහත දැක්වෙන බාහිර රාජ්‍ය ණය වර්ග සඳහා අදාළ වේ:
(i) ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළේ නිකුත් කර ඇති සියලුම කැපී පෙනෙන බැඳුම්කර,
(ii) ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශීය මහ බැංකු අතර විනිමය හුවමාරු පහසුකම් හැර, සියලුම ද්විපාර්ශ්වික (රජයෙන් රජයට) ණය,
(iii) ජනරජය හෝ රාජ්‍ය අංශයේ ආයතනයක් බැඳී සිටින හෝ ඇපකරු වන වාණිජ බැංකු හෝ ආයතනික ණය දෙන්නන් (විදේශ රජයන්ට අයත්/පාලනය වන එවැනි ආයතන ඇතුළුව) සමඟ ඇති සියලුම විදේශ මුදල්වලින් නම් කරන ලද ණය ගිවිසුම් හෝ ණය පහසුකම්; හා
(iv) තුන්වැනි පාර්ශ්වයක ණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද ඇපකරයක් (හෝ ඊට සමාන මූල්‍ය වගකීමක්) මත අතුරු කාලසීමාව තුළ ඇමතුමකින් පසු ජනරජය හෝ රාජ්‍ය අංශයේ ආයතනයක් විසින් ගෙවිය යුතු සියලුම මුදල් වශයෙනි.
මේ වනවිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නීතිමය සහ මූල්‍ය උපදේශකයන් ලෙස Lazard Ltd සහ Clifford Chance LLP නමැති මූල්‍ය හා නීති උපදේශක සමාගම් දෙක බඳවාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ උද්ධමනය 40% දක්වා වර්ධනය වී ඇති අතර ආනයනික ආහාර සහ ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැතිකමින් දිවයිනේ ජනජීවිතය ඉතා නරක තත්ත්වයකට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර තිබේ. දෛනික ජීවිතය අඩාල නොවන බවට සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5ක් අවශ්‍ය වන අතර රුපියල ශක්තිමත් කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇතැයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටී. සාකච්ඡා පැවැත්වීම සඳහා එහි නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා