2022 ජුනි 26 වන ඉරිදා

අර්බුද අස්සේ උණුසුම් පිළිගැනීම් මැද ඇල්ලන ආ අමුත්තෝ

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 66

ඉකුත් සතියේ ඇල්ල ප්‍රදේශයට පැමිණි විදේශ සංචාරක කණ්ඩායමක් පිළිගැනීමට ප්‍රදේශවාසීහු ඇල්ල දුම්රිය ස්ථානයේ රැස්ව සිටියහ. ඔවුන් විසින් එහි පැමිණි සංචාරක කණ්ඩායමක් හරසරින් පිළිගන්නා අයුරු විද්‍යුත් මාධ්‍යයක් වාර්තා කර තිබුණි. එහිදී නර්තන කණ්ඩායමක් සාම්ප්‍රදායික නර්තන අංගයක් ඉදිරිපත් කරමින්ද තවත් ප්‍රදේශවාසී කණ්ඩායමක් සංචාරක පැමිණීම අගයමින්ද පෝස්ටර් ප්‍රදර්ශනය කර සංචාරකයන් පිළිගත්හ. ඉන් ප්‍රබෝධයට පත් සංචාරකයන් මාධ්‍ය අමතමින් සංචාරය කිරීමට කැමැති සියලු විදේශිකයන්ගෙන් ඉල්ලා සිටියේ, ශ්‍රී ලංකාව මුහුණපා සිටින උග්‍ර ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ලංකාවට සංචාරයක් සඳහා පැමිණෙන ලෙසයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය ද ඇගයූ ඔවුහු ලංකාවේ සුන්දරත්වය පිළිබඳවද විශේෂයෙන් අවධාරණය කළහ. ඉතා මනරම් දසුනක් වූ එම පිළිගැනීමේ උත්සවය සංචාරකයන්ගේ සතුටට හේතු වූ අතරම සංචාරක කර්මාන්තය පණගැන්වීමට පුරවැසියන්ගේ ඉතා හොඳ උත්සාහයක් ලෙස බොහෝ දෙනකුගේ පැසසුමට ද ලක් විය.

සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ඩොලර් ප්‍රභවයකි. විදේශ සේවය සහ ඇඟලුම් කර්මාන්තයෙන් අනතුරුව මෙරටට වැඩිම ඩොලර් ප්‍රමාණයක් උපයා දෙන්නේ සංචාරක කර්මාන්තයයි. සංචාරක කර්මාන්තය නිසා රාජ්‍යයක් ලෙස මෙරටට ලැබෙන ඩොලර්වලට අමතරව රටපුරා රියැදුරු මහතුන්, මඟපෙන්වන්නන්, වෙළෙඳුන්, සංචාරක සේවා සපයන්නන් ආදී පවුල් දහස් ගණනකගේ ජීවනෝපාය මෙම කර්මාන්තය මත රුඳී තිබේ. එබැවින් කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය නැවත වේගයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීම රජයේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ද අවශ්‍යතාවකි. එබැවින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සියලු පියවර රජය ගන්නා තුරු බලා නොසිට පුරවැසියාට ද කිසියම් කාර්යයක් කළ හැකි බවට රටටම ආදර්ශයක් දුන් ඇල්ල ප්‍රදේශවාසීන්ගේ ක්‍රියාව ඇගයීමට ලක් කළ යුතුය. 

අද වන විට රටේ ප්‍රමාණවත් ඩොලර් නොමැති වීමෙන් බෙහෙත්, ආහාර, යාන වාහන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය සීමා වී ඇති බව රහසක් නොවේ. ගෑස්, ඉන්ධන ආදිය වෙනුවන් පෝලිම්වල රුඳී සිටීමට සිදුව තිබෙන්නේ ද ප්‍රමාණවත් ඩොලර් නොමැතිවීම නිසා බව කවුරුත් දනිති. එනිසා ඩොලර් උපයා ගැනීමට රජය විවිධ ක්‍රියාමාර්ග සහ තීන්දු තීරණවලට එළැඹී ඇත. විදේශ මාධ්‍යයේ පවා අවධානය යොමු වූ රජයේ එවැනි එක් තීරණයක් වූයේ ගෘහ සේවයට විදෙස්ගත වන මෙරට කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21 දක්වා පහත දැමීමය. එහි යහපත් මෙන්ම අයහපත් ලක්ෂණ ද සමානව තිබෙන බවට ඇතැම්හු චෝදනා කරති. කෙසේ නමුත් ඩොලර් ඉපැයීම සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ සංචාරක කර්මාන්තය අරමුණු කරගෙනය. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නේ ශුද්ධ ලාභයකි. 

2018 වසර මෙරට සංචාරක කර්මාන්තය විශාල ලෙස වර්ධනයට පත් වූ වර්ෂයයි. එම වර්ෂයේ සංචාරක කර්මාන්තයෙන් අපට ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.3කි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අපට ලබා දෙනු ඇතැයි අප සිතූ මුදලට වඩා වැඩි ප්‍රමාණයකි. 2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයත් සමඟ එය බිලියන 3.6ක් දක්වා පහත වැටුණු අතර සංචාරක කර්මාන්තයේ ආදායම 2020 සහ 2021 වර්ෂවලදී තවදුරටත් කඩා වැටී ඩොලර් මිලියන 500කට පමණක් සීමා විය.
නමුත් කොවිඩ් තත්ත්වය පහව යාමත් සමඟ 2022 වර්ෂයේ මුල් මාස 03ක කාලය තුළ නැවත සංචාරක කර්මාන්තය වේගයෙන් ඉදිරියට පැමිණිය ද ඇතැම් දේශපාලනඥයන්ගේ මෙන්ම පුරවැසියන්ගේද අමනෝඥ ක්‍රියා හේතුවෙන් නැවත වරක් එය ශීඝ්‍ර කඩා වැටීමකට මුහුණ පෑවේය. ඉකුත් මැයි 09දා රටපුරා පැතිර ගිය නොසන්සුන්කාරී තත්ත්වයේ දී සංචාරකයෝ දැඩි අපහසුතාවයට ලක් වූහ. එමෙන්ම රජයට විරෝධය පාමින් පාරවල් වසා දැමීම මෙන්ම වාහන ප්‍රවාහනයට ඉඩ නොදීම නිසා ද සංචාරකයන්ට ගමන්මලු රුගෙන පාර දිගේ ඇවිද යාමට සිදු වූ අවස්ථා මාධ්‍ය වාර්තා කළේය. 

මීට අමතරව මෙහි පැමිණ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරුණ සංචාරකයෙක් පැය 5-7ක් තරම් දිගු වේලාවක් පැවති විදුලිය කප්පාදුව නිසා මුහුණ පෑමට සිදු වූ අපහුසතා හේතුවෙන් මෙහි මාසයක් ගත කිරීමට සැලසුම් කර තිබූ සිය සංචාරය දින කිහිපයකින් අවසන් කර තම යූටියුබ් නාලිකාව හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි අනතුරු අඟවා මෙරටින් පිටව ගියේය. එමෙන්ම තවත් සංචාරකයෝ කිහිප දෙනකුටම ඉන්ධන හල් අසල පෝලිමේ රුඳී සිටීමට සිදු වූ අවස්ථා ද වාර්තා විය. මෙවැනි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ සංචාරක කර්මාන්තය මුළුමනිනම බිඳනොවැටෙන්නට රජය, පුරවැසියන් පමණක් නොව විදෙස්ගතව ජීවත් වන මෙරට ඩයස්පෝරාවට ගත හැකි පියවර කිහිපයකි.

මෙහි පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තර කිරීම, සංචාරකයන්ට ප්‍රමුඛතාව දීම, සංචාරකයන්ට බාධා නොවන පරිදි විරෝධතා පෑම, සංචාරකයන් රුවටීම් මුලා කිරීම් ආදියෙන් වැළකී සිටීම විශේෂයෙන් මේ දිනවල සැලකිලිමත් විය යුතු කරුණුය. බොහෝ සංචාරකයන් දින 10ක් 12ක් මෙහි ගත කිරීමට පැමිණෙන අතර ඉන් දින දෙකක කාලයක් ඉන්ධන ලබාගැනීමට පෝලිමේ රුඳී සිටීමට සිදුවන්නේ නම් ඔවුහු නිසැකව නැවත මෙහි පැමිණෙන්නේ හෝ මෙරට පැමිණීමට සිටින වෙනත් සංචාරකයකු දිරිගැන්වීම හෝ නොකරති. එබැවින් ඉන්ධන ලබාදීමේදී විදේශ සංචාර රථ සඳහා ප්‍රමුඛතාව සැපයිය යුතුය. විදේශිකයන් ලැඟුම්ගන්නා හෝටල් සඳහා ගෑස් නිකුත් කිරීම ද ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුය.

මෙරට සංචාරක කර්මාන්තය බිඳවැටීමට පෙර කර්මාන්තය තුළ තිබූ එක් ප්‍රධාන ගැටලුවක් වූයේ මුලා කිරීම්, රුවටීම්, මං පැහැරීම් ආදී විවිධ ක්‍රමවලින් සංචාරකයන් සූරාකෑමේ ව්‍යාපාරයයි. එහෙත් අතීතයේ සිට ආගන්තුක සත්කාරය අතින් ඉහළ  කීර්තියක් දිනා සිටි මෙරට පිළිබඳව තවමත් හොඳ ප්‍රතිරෑපයක් විදේශිකයන් අතර පවතී. එබැවින් පවතින අර්බුදකාරී සමයේ සංචාරකයන් සූරාකෑම වෙනුවට ආගන්තුක සත්කාර හා ඉතා හොඳ ගතිගුණ පෙන්වීම තුළින් තවත් සංචාරකයන් රටට ඇදගැනීමට නිසැකවම සිදු කළ හැකිය.

ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් අතුරින් වැඩිම පිරිසක් පැමිණ සිටින්නේ ඉන්දියාව, රුසියාව සහ එංගලන්තයෙනි. ඊට අමතරව පෘතුගාලය, යුක්රේනය, ප්‍රංශය හා ජර්මනියෙන් ද සැලකිය යුතු සංචාරක පිරිසක් මෙහි පැමිණ සිටිති. 2018 වර්ෂයේ ලක්ෂ 21ක් පමණ මෙහි පැමිණි අතර දිනකට පැමිණෙන සාමාන්‍ය සංචාරක පිරිස 10000ක් පමණ වූහ. එහෙත් මැයි මාසයේ සිදුවීමෙන් පසු දෛනිකව මෙහි පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබෙන්නේ දින කිහිපයකදී පමණි. එබැවින් වේගවත් පිම්මක් ඉදිරියට නොතැබුවහොත් රටේ ආර්ථික අර්බුදය තව තව තවත් තිව්ර වීම වැළැක්වීම අපහසුය. එබැවින් සංචාරකයන් සම්බන්ධයෙන් ඉතා ප්‍රවේශමෙන් මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම වගකීම වේ.

රජයට අමතරව සංචාරක කර්මාන්තය වේගවත් කළ හැකි පාර්ශ්වකරුවෝ කිහිප දෙනෙක්ම වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ සඳහා වන ප්‍රධාන තුරුම්පුවක් වන අතර මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමි‍ණ සිටී. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමිණීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ධනාත්මක බලපෑමක් ඇතිකොට තිබේ. තරගාවලිය නැරඹීමට පැමිණි ඔස්ට්‍රේලියානුවන් නිසා ද රටට ඩොලර් ප්‍රමාණයක් සම්ප්‍රේෂණය වී ඇත. එමෙන්ම මෙම තරගාවලිය අතරතුර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේ ලංකාවට පැමිණෙන ලෙසය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ද ඔස්ට්‍රේලියානුවන්ට කෘතුගුණ සැලකීමක් වශයෙන් ක්‍රීඩාගාරයේ සිට දැක්වූ ගෞරවය ප්‍රශංසනීයය.

එමෙන්ම විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ටද මෙරට සංචාරක කර්මාන්තය යථාවත් කර ගැනීමට දායක විය හැකිය. ඔවුන් මෙරටට සංචාරයක් සඳහා පැමිණීම මෙන්ම දැනට පදිංචිව සිටින රට තුළ ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමත් වැදගත් පියවරකි. මිලියන දෙකක් පමණ විදෙස්ගත ලංකා ඩයස්පෝරාවක් සිටින බැවින් එම ශක්තිය උපරිමයෙන් භාවිතයට ගන්නේ නම් වේගවත් පිම්මක් ඉදිරියට තැබීම අපහසු නොවේ.

 සටහන - සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05