මේ වනවිට බේකරි කර්මාන්තය අපේ රටෙන් නැත්තටම නැතිව යන තත්ත්වයට පත්ව ඇත. එයට හේතුව පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල පාරිභෝගික ජනතාවට දරාගන්නට බැරිවන තරමට ඉහළ නැග තිබීමය. ඕනෑම භාණ්ඩයකට වෙළෙඳපොළක් ඇතිවන්නේ පාරිභෝගිකයාට ඔරොත්තු දෙන මිලක් ඇතිවිටය. පවතින මිලට භාණ්ඩ ගැනීමට පාරිභෝගිකයාට ක්‍රය ශක්තියක් හෙවත් මූල්‍යමය හැකියාවක් නොමැති වන්නේ නම් එය මිලට ගැනීමෙන් වැළකී සිටීමට මිස වෙන කළ හැක්කක් නැත.
අද පාන් සහ බේකරි නිෂ්පාදන පාරිභෝගිකයා වෙතින් ප්‍රතික්ෂේප වී ඇත්තේ මෙම කාරණය නිසාය. ආර්ථික විද්‍යා සිද්ධාන්ත අනුව පාරිභෝගිකයා භාණ්ඩ මිලට ගන්නේ ඒවාට සමතුලිත මිලක් තිබෙන බැවිනි. තමා වියදම් කරන මිලට සාධාරණ වටිනාකමක් භාණ්ඩයට තිබිය යුතුය. එසේ නොවේ නම් පාරිභෝගිකයා එය මිලට නොගනී. මිල වැඩියි.. ගිනි ගණන්.. මේ ගාණට ගන්න බැහැ.. යනුවෙන් ඔහු කියනවා ඇත. එවිට වෙළෙන්ඳාට සිදුවන්නේ පාරිභෝගිකයාට ගැලපෙන අයුරු මිල සංශෝධනය කිරීමටය. එසේ සිදුනොවන්නේ නම් අලෙවිය නවතී. වැඩි ලාභයක් තබාගෙන භාණ්ඩ කිහිපයක් විකුණනවාට වඩා වැඩි ආදායමක් සුළු ලාභයක් තබාගෙන වැඩි භාණ්ඩ ප්‍රමාණයක් විකිණීමෙන් ලබාගත හැකිය. එයින් පාරිභෝගිකයාටද යහපතක් සිදුවෙයි. එහෙත් අද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන එවැනි සුළු ලාභයක් තබාගෙන හෝ අලෙවි කිරීමට නොහැකි වී ඇති බව බේකරි හිමියෝ පවසති. ඉහළ ගිය ඉල්ලුම මේ වනවිට පහළ යන්නට පටන්ගෙන තිබේ.
මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකක් වෙයි. ඒවා නම් ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම්ය. තිරිඟු පිටි මිල රජයේ පාලනයට නතුව පැවැති අවධියේදී සමාගම්වලට හිතු හිතූ මිලට තිරිඟු පිටි අලෙවි කළ නොහැකි විය. එලෙස අසාධාරණ ලෙස මිල ඉහළ නැංවූ අවස්ථාවලදී රජය මැදිහත් වී එම මිල අඩු කළ අවස්ථා පිළිබඳ අපට මතකය. රජයේ අනුමැතියකින් තොරව මිල ඉහළ දැමූ අවස්ථාවලද සමාගම්වලට එරෙහිව රජය නඩු මගට යොමු වූ අවස්ථා තිබේ. එම නඩු පවත්වාගෙන යන අවස්ථාවලදී නඩු තීන්දු ලැබීමට පෙර සමාගම් මිල අඩුකර අධිකරණයට වාර්තා කළ බව අපට මතකය.
එහෙත් මෙවර මෙම සමාගම් දෙක රජයේ අනුමැතියකින් තොරව හිටිඅඩියේ මිල විශාල ලෙස ඉහළ නංවා තිබේ. එසේ කිරීමට ඔවුනට පහසු වී ඇත්තේ රජය තිරිඟු පිටි සඳහා පැනවූ උපරිම මිල පසුගිය දිනවල ගිලිහී ගොස් තිබුණු නිසාය. ඒ නිසා හිතූ හැටියට මිල ඉහළ නැංවීමට මෙම විදේශ සමාගම් දෙකට අවස්ථාව සැලසී තිබේ. කොතරම් මිල ඉහළ නැංවුවද මෙම විදේශ සමාගම්වලට එරෙහිවීමට ආණ්ඩුවට නොහැකිය. එයට හේතුව ඒවායේ මිලට රජයට මැදිහත්වීමට නොහැකි වීමය.
කෙසේ වුවද මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 280 දක්වා ඉහළ නැග තිබේ. පසුගිය මාස දෙක තුළ කිහිප වතාවක් අදාළ සමාගම් දෙක විවිධ කරුණු දක්වමින් මිල ඉහළ දමා ඇත. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම මෙයට ආසන්නතම හේතුව වී ඇති අතර ආනයනික රටවල් ස්වකීය නිෂ්පාදනවල මිල ඉහළ දමා තිබේ. ප්‍රිමා සමාගම අපේ පිටි අවශ්‍යතාවයෙන් 25%ක් පමණ සපයන අතර වැඩි කොටස ආනයනය කරනුයේ සෙරන්ඩිබ් සමාගම මගිනි. ඒ හැර ස්වල්ප ප්‍රමාණයක් සෙසු අය ආනයනය කරන අතර පසුගිය සමයේ උද්ගත වූ ඩොලර් අර්බුදය හා ණයවර ලිපි ඉදිරිපත් කිරීමේ ගැටලුව නිසා සුළු ආනයනකරුවන් හැලී ගොස් ඇති අතර මේ වනවිට සෙරන්ඩිබ් සමාගම රටේ ප්‍රමුඛතම ආනයනකරු බවට පත්ව තිබේ.
මෙම තත්ත්වය මත පාන් පිටි සඳහා විකල්පයක් සොයාගැනීමට අවස්ථාව එළැඹී තිබේ. පසුගිය ආණ්ඩුව සමයේ තිරිඟු පිටි වෙනුවට හාල් පිටි හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් සතොස හරහා ක්‍රියාත්මක වුවද, එය සාර්ථක වූයේ නැත. පාරිභෝගිකයන් පාන් වෙනුවට ඇට වර්ග, අල බතල ආදී විකල්ප ආහාර කරා යොමු කළ යුතු කාලය දැන් එළැඹ ඇත. එහෙත් වෙළෙඳපොළේ මෙම විකල්ප ආහාර පිටි ආහාර තරමටම ඇතැම්විට එයටත් වඩා මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා වෙළෙන්ඳෝ මිල වැඩිකර පාරිභෝගිකයා සූරා ගනිති. මේ නිසා ඒවාට ජනතාව නැඹුරු කර ගත නොහැකිව තිබේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසන්නේ අද රටේ පවතින තෙල් සහ ගෑස් ගැටලුව විසඳන්නේ නම් බේකරි කර්මාන්තය පිළිබඳ පැන නැගී ඇති ගැටලුවලින් 50%ක් පමණ නැතිවන බවය. තත්ත්වය මෙසේ තිබියදී බේකරි නිෂ්පාදන වැඩි කිරීම හෝ මිල අඩු කිරීමක් ගැන කතා කිරීමෙන් පලක් නොමැති බව ඔහු කියයි.
''අපේ බේකරිවලින් 90%ක් දුවන්නේ තෙල් සහ ගෑස්වලින්. දර පෝරණු නිෂ්පාදන ඇත්තේ 10%ක් පමණයි. පාන් නිෂ්පාදනය සඳහා ගෑස් අත්‍යවශ්‍ය වෙනවා. ඉක්මනින් පිරිසුදුව නිෂ්පාදනය කිරීමට ගෑස් පාවිච්චි කරනවා. දරවලින් බේකරි ක්‍රියාත්මක කරන්න බැහැ. මෙයට ටික කලකට පෙර දර ලොරිය රුපියල් හතළිස් දහසක් වුණා. අද වනවිට මිල ලක්ෂයට වැඩියි. ඉතින් කොහොමද එතරම් මිලකට දර පාවිච්චි කරලා පාන් හදන්නේ. හැදුවත් පාන් ගෙඩිය කීයකට දෙන්නද? කවුද එවැනි අධික මිලකට පාන් ගන්නේ? මේ නිසා ඉල්ලුම සෑහෙන්න අඩුවෙලා.
බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වන පොලිතින්, කාඩ්බෝඩ් ආදියේදී මිල අන්තිමට ඉහළයි. මාගරින් මිල දැන් වසර ගණනක සිට අසාධාරණ ලෙස වැඩිවෙලා. අද එහි උච්ඡතම අවස්ථාවට පත්වෙලා. මේ සඳහා රුපියල් 200ක්ව තිබූ තීරු බද්ද මේ වනවිට රුපියල් 600 දක්වා වැඩි කරලා. බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය මාගරින්, තෙල් සහ තවත් අමුද්‍රව්‍යවල ඒකාධිකාරිය ඇත්තේ පිරමිඩි ඩෙල්ටා කියන සමාගමටයි. පාන් සහ බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවලට සහන මිලක් දෙන්නය කියලා අපි අවුරුදු ගණනක සිට ඉල්ලලා තිබෙනවා. එහෙත් සිදුවූ යහපතක් නැහැ.
අනිත් අතට බිත්තර මිල ඉහළ යාමද බේකරි කර්මාන්තයට ඉතාම අහිතකර ලෙස බලපානවා. අද බිත්තරයක මිල මාස තුනකට පෙර තිබූ මිලට වඩා එකට එකක් වැඩියි. ඉදිරියේදී තවත් ඉහළ යාමට පුළුවන්. නිෂ්පාදන වියදම වැඩිවීම නිසා බේකරි කර්මාන්තකරුවන් පාන් නිෂ්පාදනය අඩු කරලා සෙසු බේකරි නිෂ්පාදන හැකි තරම් වැඩියෙන් නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. මෙම තත්ත්වය වළක්වන්න අපට මැදිහත්වීමට නොහැකියි. මොකද බේකරි රුකියාව ඒ අයගේ ජීවනෝපායයි. ඉතින් එයට බලපෑම් ඇතිකරන්න සංගමයට බැහැ.
මේ වනවිට ත්‍රීවිල්වලින් බේකරි නිෂ්පාදන බෙදාහරින දහස් ගණනකගේ ජීවනෝපායට කණකොකා හඬන්න පටන් අරගෙන. ත්‍රීවිල්කරුවන්ට වැඩි කාලයක් ගත කරන්නට සිදුව ඇත්තේ තෙල් පෝලිම්වලයි. ඔවුන්ට සෙසු වාහන සමඟ දවස් ගණන් පෝලිමේ ඉන්න සිද්ධවෙලා. මෙය ජනතා සේවයක් ලෙසසලකලා ඒ අයට ප්‍රමුඛත්වය දිය යුතු නමුත් එවැන්නක් සිදුවෙන්නේ නැහැ. වෙනදා උදෑසන ගෙවල් අසලටම බේකරි නිෂ්පාදන රුගෙන එන නිසා ජනතාවට පහසුවෙන් ලබාගන්න ඉඩ තිබුණා. එහෙත් අද තත්ත්වය මත ඒ අවස්ථාවද ගිලිහී ගිහින්.''
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ වගකිවයුත්තන්ට තිරිඟු පිටි වෙනුවට දේශීය ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා අද පවතින පාන් මිල ඉහළ යාම ස්වර්ණමය අවස්ථාවක් වන බවය.
''අපේ රටේ තිරිඟු පිටි පාරිභෝජනය 2009 වසරේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 09ක් වුණා. 2015 වනවිට මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් දක්වා වැඩි වුණා. 2015 දී රජය කිලෝවකට රුපියල් 20ක බදු සහනයක් දුන්නා. සමාගම් එම වාසිය ප්‍රයෝජනයට ගෙන තිරිඟු පිටි සහ ආහාර වර්ග ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළා. 2020 වන පාරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් දක්වා ඉහළ නැංවුවා. පාසල් පාදක කරගෙන පාසල් ශිෂ්‍යයන්ට නොමිලේ පේස්ටි වගේ කෙටි කෑම දීම මගින් ප්‍රචාරණය පුළුල් කළා. එහි ප්‍රතිඵල අද වනවිට අපට අත්දකින්න ලැබී තිබෙනවා. ජනතාවට පිටි කෑම මාෆියාවක් බවට පත්වෙලා. අද කොතරම් මිල ඉහළ ගියත් පෝලිමේ ඉඳලා හෝ පාන් මිලට ගැනීමට බොහෝ දෙනා උනන්දු වෙනවා. අම්මා තාත්තා පාසල් යන දරුවාගේ කෑම පෙට්ටියට වැඩි මිල ගෙවලා කිසිම පෝෂණයක් නැති පිටි ගුලි දමනවා.
අද තිරිඟු පිටි මිල වැඩිවීම ආශිර්වාදයක් කරගෙන පාන් ඇතුළු කෙටි කෑමවලින් ඉවත් විය යුතුයි. එහෙත් කනගාටුවට හේතුවක් වන්නේ රජය මේ පිළිබඳ දක්වන උනන්දුව අඩුවීමයි.
පාසල්වල පිටි කෑම තහනම් කළ යුතුයි. ඒ සඳහා විකල්ප ආහාර ප්‍රචලිත කළ යුතුයි. පාසල්වලින් පටන්ගෙන අපේ ආහාර සංස්කෘතිය වෙනස් කළ යුතු වෙනවා.''
යසවර්ධන රුද්රිගූ