2022 ජුනි 26 වන ඉරිදා

ලීසිං වාහනයකට ජීවිතයෙන් වන්දි ගෙවූ මහනුවර තරුණයා

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 197

ජාලිය කුමාර පරාක්‍රම තරුණ ව්‍යාපාරිකයෙකි. ඔහු මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් නොව එදිනෙදා ආදායමක් උපයාගත් බ්ලොක් ගල් වැඩපොළක් පවත්වාගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. බ්ලොක් ගල් වැඩපොළ දියුණු කර ගැනීමේ අදහසින් ලොරි රථයක් මිලදී ගත්තේ අතමිට තිබුණාට නොව කල්බදු හෙවත් ලීසිං පහසුකම යටතේය. ණය වාරික ගෙවීමට යටත්ව ලබාගත් ලොරි රථය ජාලිය පරාක්‍රමගේ ජීවිතයේ අවසානයට හේතුවක් බව ඔහු සිහිනෙකින් හෝ නොසිතන්නට ඇත.

මහනුවරට නුදුරු වත්තේගම පොලිස් වසමේ පොල්ගොල්ල, මීගම්මනවත්ත ප්‍රදේශයේ ජාලිය පරාක්‍රම පදිංචිව සිටියේය. නිවෙස ආසන්නයේම පාරට යාබද ස්ථානයක මොහු බ්ලොක් ගල් වැඩපොළ පවත්වාගෙන ගොස් තිබුණත් කොවිඩ් වසංගතය හා වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සිමෙන්ති හිඟය හා අධික මිල හේතුවෙන් ව්‍යාපාරය අසාර්ථක මට්ටමක පැවතිණි. මේ නිසා ලීසිං පදනම යටතේ මිලට ගත් ලොරි රථයට නියමිත වාරික ගෙවීම ප්‍රමාද වී තිබිණි. එයට හේතුව ජාලිය පරාක්‍රමගේ අසාර්ථකත්වය නොව රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ බලපෑම බවට නිවැසියෝද දැන සිටියහ.

මාස කිහිපයක සිට නියමිත ලීසිං වාරික කිහිපයක් ගෙවීමට ජාලිය පරාක්‍රම අසමත් වී තිබුණි. ඒ සම්බන්ධයෙන් ලද දැනුම්වත් කිරීමේ ලිපි මගින් නිවැසියෝද ඒ බව දැන සිටියහ. මේ අතර නිතිපතා නියමිත ලීසිං වාරික නොලැබීම හේතුවෙන් ඊට පියවරක් ලෙස ලීසිං සමාගම විසින් රථය රැගෙන ඒම සඳහා එම ආයතනය හා කටයුතු කරන බාහිර පාර්ශ්වකරුවකුට (සීසර් කෙනකුට) කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබිණි. ඒ අනුව එම බාහිර පාර්ශ්වයේ පුද්ගලයෙක් දින කිහිපයකට ඉහතදී ව්‍යාපාරික ජාලිය පරාක්‍රමට තර්ජන ස්වරෑපයෙන් කියා තිබුණේ වහාම ලොරි රථය ලබාදෙන ලෙසය. නැතිනම් තමුන්ට කරදර වේ යැයිද අදාළ පුද්ගලයා තර්ජනය කර තිබිණි. එහෙත් තරුණ ව්‍යාපාරිකයා ඔහුගේ ඉල්ලීමට එකඟ වී නොමැත.

අවිවාහකයෙක් වූ ව්‍යාපාරික තරුණයා මව පියා ඇතුළු නිවැසියන් සමඟ නින්දේ පසුවිය. පසුගිය දිනක පාන්දර යාමේ තරුණයාට හදිසියේ ඇහැරී තිබුණේ නිවෙස අසලම නවතා තිබූ සිය ලොරි රථය පණගැන්වෙන ශබ්දය ඇසීමත් සමඟය. ''තාත්තේ... තාත්තේ.. ලොරිය ස්ටාර්ට් කරනවා ඇහෙනවා. සීසර්ලා ඇවිත් වාහනේ ගෙනියන්න හදනවාද කොහෙදෝ..'' යැයි කියා නැගිටගත් තරුණයා වහා නිවෙසින් එළියට පැන්නේය. ඒ වන විටත් ලීසිං ආයතනයේ සීසර්වරු පිරිසක් ලොරි රථය රැගෙන යාමට උත්සාහ කරමින් සිටියහ. එතැනට දිවගිය තරුණයා ඔවුන්ට විරෝධය පාමින් රථය රැගෙන යනවාට විරෝධය ප්‍රකාශ කර ඇතත් ඊට පැමිණි පිරිස අවනත වී නොතිබිණි.

ඉකුත් 18 වැනිදා අලුයම වූ එම බහින්බස් වීමත් සමඟ සීසර්වරුන් බලහත්කාරයෙන් ලොරි රථය රැගෙන ගොස් තිබුණි. ඒ අවස්ථාවේ විරෝධය පාමින් රථය පසුපස දිවගිය ව්‍යාපාරිකයා රථයට ගොඩවී හෝ එහි එල්ලී සිට ඇතැයි කියති. මේ ආකාරයට මීටර් 350ක් පමණ රථය ධාවනය වූ පසුව තරුණයා ලොරි රථයෙන් ඇදවැටී හෝ සීසර්වරුන් විසින් පහර දී ඇද දමන්නට ඇතැයි කියැවේ. මේ අතර ඔහුගේ ඥාතීන් හා මිතුරන් පවසන්නේ ලොරි රථයෙන් ඇදවැටුණු පසුව හෝ ඇද දැමුණු පසුව ඔහු එම රථයටම හෝ වෙනත් රථයකට යටවී තුවාල සිදුවූ බවකි.

කෙසේ හෝ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් තරුණයා සොයා පාර දිගේ ඇවිද යාමේදී නිවෙසේ සිට මීටර් 350ක පමණ දුරක ඔහු තුවාල සහිතව සිහිසුන්ව සිටිනු දැක තිබිණි. එහිදී තුවාලකරු කටුගස්තොට රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය. ඒ වන විටත් බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු මියගොස් ඇතැයි තහවුරු කෙරිණි. මියගිය අයගේ ඉලඇට කිහිපයක් කැඩී තිබූ අතර හිස පිටුපසට දැඩි පහරක් එල්ලවීම නිසා දරුණු තුවාල සිදුව ඇති බවද තහවුරු විය.

වාරික ගෙවීම ප්‍රමාද වී තිබූ ලොරි රථය පැහැරගැනීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ මහනුවර ආයතනයක් මගිනි. සිදුවීම සම්බන්ධයෙන් එම ශාඛා කළමනාකරු ඇතුළු දෙදෙනෙක් වත්තේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

බලහත්කාරයෙන් රථය රුගෙන යන අවස්ථාවේ ''වාහනය අරන් යන්න එපා.. ගෙවන්න අතේ සල්ලි නෑ..'' යැයි කෑගසමින් පුතා දිවගිය බව මියගිය තරුණයාගේ පියා පැවසීය. මේ අතර කියැවෙන්නේ ඔහු එල්ලී ගිය ලොරි රථයෙන් වැටී ඊට යටවී තිබෙන බවකි. මියගිය 35 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් රථය පැහැරගැනීමට පැමිණි බව කියන ගලගෙදර හා පේරාදෙණිය ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඔවුන් පැමිණි මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය. සිදුවීමට එරෙහිව මීගම්මනවත්ත ප්‍රදේශවාසීන් පිරිසක් මහනුවර අදාළ ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබුණි.

අදාළ ලීසිං සමාගම මෙන්ම සෙසු ලීසිං සමාගම්ද මෙසේ වාහන උස්සමින් සීසර්වරුන් යොදවා කටයුතු කරන්නේ ලීසිං වාහන බලහත්කාරයෙන් රුගෙන යා නොහැකි බවට වන නීතියද නොතකමිනි. එමෙන්ම කල්බදු මූල්‍යකරණ පනත යටතේ අදාළ වාහනය හිමිකරු සන්තකයෙන් ලබාගැනීමේදී බදු දීමනාකරු විසින් එම ප්‍රදේශයේ පොලිස් ස්ථානය භාර නිලධාරී වෙත පෙර දැනුම්දීමක් සිදු කළ යුතුය.

වත්තේගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගංසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

■   සමන්ත ප්‍රදීප් විල්තෙර