තෙල් පෝලිම මේ වනවිට බොහෝදෙනාට තමන්ගේ ගෙදර වගේය. එක බත්පත ලෙහාගෙන කන තරමට සෙනෙහෙවන්තකම් ලෙන්ගතුකම් පිරී ඉතිරී ඇත. එය රුදුරු කටුඅත්ත සොඳුරු මල් ඉත්තක් කරගත් ජනතාවක් වෙසෙන මිහිරුති නැවතුම්පොළකි. රටේ බහුතරයකට එසේ වුවද වර්තමානයේ ගමේ ඉන්ධන පිරවුම්හල යනු කළුකඩ මුදලාලිලාට ඉල්ලමකි. ගමේ චණ්ඩින්ට රණබිමකි. දේශපාලක ගෝලබාලයන්ට රඟහලකි.
දිවයින පුරා ඇතැම් ඉන්ධනහල්වල පාලනය සහ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විවිධ බාහිර පුද්ගලයන්ගේ මැරබලය හමුවේ අවුල් ජාලාවක් වී ඇති බවට සිදුවීම් ගණනාවක් අනාවරණය වෙමින් තිබේ. සති ගණන් පෝලිම්වල දවස ගෙවාවත් තෙල් බිඳක්වත් නොමැතිව මාරාවේශ වී හිස් අතින් නිවෙස්වලට යාමට බොහෝදෙනාට සිදුවෙති.
දාමරිකයන් ඉන්ධන පිරවුම්හල්වලට රිංගා විවිධ තර්ජන ගර්ජන සිදුකරමින් බලහත්කාරයෙන් සිය හිතවතුන්ට ඉන්ධන ලබාදෙන බවටත්, පෝලිම්වලට පිටින් ඉන්ධන ලබාදීමේ සිදුවීම් පිළිබඳව ජනතාව චෝදනා කරති. මේවායේ ගමේ චණ්ඩි රජකරන අයුරු දක්නට ලැබෙයි. මේ හේතුවෙන් ඇතැමුන් හිතේ දෙගිඩියාවෙන් පෝලිමේ යන්නේ දවස පුරා හිටියත් කොයි මොහොතේ තෙල් නෑ කියා හැරී ගෙදර යන්නට වේදෝයි සසර කතරේ අනිත්‍ය මෙනෙහි කරමිනි. ඉන්ධන පිරවුම්හල්වලට බීමතින් පැමිණ හිමිකරුවන් සහ සේවකයන් පන්නා දමා බලය අල්ලා ගැනීමටත්, එම බලය උපයෝගී කරගෙන සිය හිතවතුන්ට හිතුමතේ ඉන්ධන ලබාදීමටත් ඇතැම් පිරිස් පියවර ගන්නේ තමන්ගේ බූදලයක් යැයි සිතාගෙන මෙන්ය.
මැජික් අරිෂ්ටය ඉල්ලන්නා සේ බවුසරයක් එනතුරු පාර බලා සිටිනා මෙරට අහිංසක ජනතාව තෙල් බිඳක් හෝ ලබාගැනීමට දවස් ගණන් සති ගණන් මාස ගණන් පෝලිම්වල දුක් විඳින අයුරු දෙස බලා සිටීමට අපහසුය. ඒ ආකාරයට ජනතාව දුක් විඳිද්දී ඇතැම් නිලලත් නිලධාරීන් පවා ගෙදර බල්ලා පූසා හැර අන් සියල්ලේම නම විකුණා බූලි ගණන් ඉන්ධන ගෙනයන අයුරු කනගාටුදායකය. ඒ වගේම පිරවුම්හල් අසල රුස්වන පෝලිමේ හරි ගාණට තෙල් ගෙනිහින් වැඩිගාණට විකුණන කළුකඩ මුදලාලිලාද ඕනෑතරම් සිටිති.
මාවරමණ්ඩියේ පිරවුම්හල මේ සඳහා හොඳම උදාහරණයකි. එම පිරවුම්හලට ගෙනා තෙල් බවුසරය ගොඩබෑමෙන් පසු ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට ඉන්ධන ලබා නොදී ප්‍රදේශයේ නමගිය මැර කණ්ඩායමක් විසින් ඔවුන්ගේ වාහනවලට හා හිතවතුන්ගේ වාහන සියයකට පමණ ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබූ අමානුෂික සිදුවීම මතකයට නැගෙයි. එසේම පැලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු විසින් පැලවත්තේ පිරවුම්හලට පැන සිය හිතවතුන්ගේ යාන වාහනවලට තෙල් ගැසීම නිසා ලොකු ආරවුලක් ඇති විය. බූලිවලට තෙල් ලබාගැනීමට පැමිණීම හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලකයකුගේ සොහොයුරෙකු විසින් පහරදුන් බව කියන සිද්ධියක්ද ආරච්චිකට්ටුවෙන් වාර්තා විය.
මහනුවර නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අයත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක බලය දේශපාලන බලවතුන්ගේ ගෝලයන්‌ගේ මැර අණසකට යටත් වී ඇතැයිද ඒ හමුවේ හිමිකරුවන් සහ ආරක්ෂක අංශ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද එමගින් ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවද සමස්ත ලංකා ත්‍රිරෝද රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය සහ ප්‍රචාරක ලේකම්, මහනුවර ත්‍රිරෝද රථ සංගමයේ වැඩබලන ප්‍රධාන ලේකම් කපිල ගලපිටගේ මහතා දේශයට පැවසීය.
මෙම තත්ත්වය මහනුවර සුදුහුම්පොළ, බූවැලිකඩ සහ කුණ්ඩසාලේ අවට ප්‍රදේශ ආශ්‍රිත පිරවුම්හල් කිහිපයක සිදුවන බවත් ජනතාව දින හතර පහ පෝලිමේ සිටින විට ප්‍රදේශයේ මැරවරයන්, චණ්ඩින්, දේශපාලකයන්ගේ ගෝලයන් බව කියන පුද්ගලයන් බීමතින් පැමිණ ඔවුන්ගේ හිතවතුන්ගේ වාහන බරගණන් ගෙනත් දමා පෝලිමේත් ඉස්සරහට දමන බවත් හෙතෙම චෝදනා කරයි.
එසේම මැරවරයන් පැමිණ ලොකු බූලි සහ කෑන් ගෙනත් පොම්පකරුවන්ගේ පොම්පය අරගෙන බලහත්කාරයෙන් ඉන්ධන ලබාගැනීම, මිලමුදල්වලට වාහන ඇතුළු කර ඒවාට ඉන්ධන ලබාදීම ආදී අනවසර ක්‍රියා මගින් ඉන්ධන හලේම පාලනය ඔවුන්ගේ සන්තකයට ගනිද්දී හිමිකරුවන්, පොලිසිය සහ හමුදාව බලාගෙන සිටින බවටත් මැර ක්‍රියා හමුවේ තමන්ටත් ඉවසා සිටීමට සිදුවන බවත් රියැදුරෝ සහ ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මහනුවර ඉන්ධන පිරවුම්හල්වල මැරයන්ගේ අණසකට නතු වීමෙන් ජනතාවට එල්ල වන පීඩාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ජලසම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැඩි චෝදනාවක් එල්ල වෙයි. එසේ චෝදනා එල්ල වන්නේ අමාත්‍යවරයාගේ නම විකුණමින් අමාත්‍යවරයාගේ ගෝලබාලයන් බව කියා ජනතාවට තර්ජනය කර පිරවුම්හල්වල යකා නටන නිසාය. මෙසේ එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූයේ මෙවැන්නකි.
“මෙය සම්පූර්ණ අසත්‍යයක්. එහෙම කිසිවකු හෝ කරනවා නම් පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මේ වගේ කාලෙක මිනිසුන් සිටින පීඩනයත් එක්ක එය එහෙම ඉඩ දෙන්න පුළුවන්ද? මේ දවස්වල හැටියට මගේ නම කිව්වොත් මිනිස්සු තවත් ගහලා එළවයි.”
මේ ආකාරයට රටපුරා ඉන්ධනහල්වල මැර ක්‍රියා සිදුවීම් වාර්තා වූ ප්‍රදේශ අතර පුත්තලම, අනුරාධපුරය, හෙම්මාතගම, මහනුවර, පැලවත්ත, බංගදෙනිය, අතුරුගිරිය, මැදිරිගිරිය, ජූල්පල්ලම, විශ්වමඩු, ආණමඩුව, වාඩිගල, බෙලිගම්මන, ආනවිළුන්දාව, මදුරන්කුලිය, ආරච්චිකට්ටුව සහ නුවරඑළිය ඇතුළු රටපුරා පිරවුම්හල් ගණනාවක් වෙයි. මෙවැනි බාහිර මැරයන්ගේ චණ්ඩිකම් හමුවේ පිරවුම්හල් හිමිකරුවන් නිහඬව බලා සිටින බව පෙනෙයි. පානදුර ඇතුළු සමහර ඉන්ධන පිරවුම්හල්වල සහායට සිටිනුයේ පාතාල ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ සමීපතමයන් බවත් ඔවුන් සිය පාතාල මැර බලය උපයෝගී කරගෙන සිය අවශ්‍යතා රිසි සේ ඉටුකරගන්නා බව ප්‍රදේශවාසීහු පවසති. එසේම මාස්පොත, අතුරුගිරිය ආදී පිරවුම්හල් අසලදී සේවයේ යොදවා සිටි ආරක්ෂක අංශ පවා සිය බලය ඉක්මවා කටයුතු කරන ආකාරය රටම දුටුවෙමු.
කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඇති පිරවුම්හලක අත්‍යවශ්‍ය සේවා සඳහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් පෝලිමේ සිටියදී බීමතින් අශිලාචාරව හැසිරෙන මැරයන් පැමිණ දොස්තරලාගේ හැඳුනුම්පත් පවා පරීක්ෂා කරන බවටත් තොරතුරු අනාවරණය වෙයි. ඉන්ධනහල් හිමිකරුගේ නොදැනුවත්කමින් මෙවන් ක්‍රියාවලියක් සිදුවීමට නොහැකි බව ජනතාව කියති. යම් හේතුවකින් එසේ වෙනවානම් එයම බරපතළ ප්‍රශ්නයකි. මහජන සාමය ආරක්ෂා කිරීමට රටපුරා පිරවුම්හල්වලට ආරක්ෂක අංශ සේවයේ යොදවා සිටියදී මෙවැනි චණ්ඩින්ට, පාතාල කෙරුමන්ට ලයිසන් ලැබුණේ කෙසේදැයි ඇත්තේ විශාල ප්‍රශ්නයකි.
මෙවැනි දාමරික ක්‍රියා හේතුවෙන් ඇතැම් පිරවුම්හල් හිමිකරුවෝ පසුගිය කාලයේදී තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තාවකාලිකව වැළකී සිටියහ. එයට හේතුවී ඇත්තේ විවිධ දේශපාලක ගෝලබාලයන් පැමිණ පිරවුම්හලේ සේවය කළ පොම්පකරුවන් එළවා දමා සිය ආධිපත්‍යය හසුරුවන්නට සහ ඔවුන්ට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාගැනීමට උත්සාහ දැරීමයි. මෙවැනි මැර ක්‍රියා හේතුවෙන් පිරවුම්හල් හිමිකරුවන්ට මෙයින් ලක්ෂ ගණනක පාඩු සිදු වී තිබූ බවටද වාර්තා විය.
“මම පැය 12ක් තෙල් පෝලිමේ හිටියා. මම යද්දී යතුරුපැදි පෝලිම මට ඉස්සරහින් යතුරුපැදි 40ක් විතර තිබුණේ. පැය දෙක තුනක් ඇතුළත පිටුපසින් යතුරුපැදි 400 කට වඩා එකතු වුණා. තෙල් බවුසරය ආවේ සවස 4.00ට. එක බවුසරයේ ඩීසල් පෙට්‍රල් දෙකම ආවේ. මුලින් ඩීසල් ගහලයි පෙට්‍රල් ගහන්න ගත්තේ. පෙට්‍රල් ගහන්න ගත්තේ රාත්‍රී 8.00 ට විතර. බයික් පෝලිම අතුරු පාරක් දිගේ කිලෝමීටර 3ක් 4ක් දිගට හැදුණා. යතුරු පැදි පෝලිමේ අසාධාරණකම් ගොඩාක් වෙනවා. අතුරු පාරේ කෙනෙක් තමන්ගේ ගේ ඉස්සරහින් යන පෝලිමට තමන්ගේ වැඩපළට හදන්න ගෙනත් තියෙන යතුරුපැදි දාලා තියෙනවා. කවුරුහරි කෙනෙක් ඇවිත් ඉල්ලුවාම ඔහු එතැනින් ඔහුගේ යතුරුපැදි පෝලිමෙන් ඉවත් කර ඉඩ දෙනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවා වගේ තෙල් පෝලිම්වල මහරූට අමුතු ජාතියේ වැඩ වෙනවා. තෙල් පෝලිම්වල ඉඩ අල්ලගන්න යතුරුපැදි කුලියට දෙන අය වෙනම ඉන්නවා. තෙල් පෝලිම් හසුරවනවාට ගමේ චණ්ඩින්ට බේබද්දන්ට, මැරයන්ට දවසකට රුපියල් 2000 ගානේ ලැබෙනවා. ඔවුන් ඔවුන්ගේ හිතවතුන් පෝලිමට දාගන්නවා. නැතිනම් හොරෙන් තෙල් අරන් දෙනවා. ඒ වගේ වැඩවලින් අපිට පසුව පැමිණි බොහෝ දෙනා පෝලිම පැන්නා.* මෙසේ සිය අත්දැකීම පැවසූයේ හලාවත බංගදෙනිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක දුක්විඳි පාරිභෝගිකයෙකි.
මෙවැනි මැර කණ්ඩායම්වල හැසිරවීම හමුවේ පිරවුම්හල් හිමිකරුවන් නිහඬව ඔවුන් රකින බවට ජනතාව දිගින් දිගටම චෝදනා කරති. ඔවුන් පවසනුයේ මෙවැනි මැරවරයන්ට පාතාලයන්ට මුදල් ලබාදී පිරවුම්හල් හිමිකරුවන්ගේ ආරක්ෂාවට ඔවුන් රකිමින් සිටින බවයි. මෙම කරුණේ සත්‍යාසත්‍යතාව සම්බන්ධයෙන් අප කළ විමසීමේදී නම සඳහන් කිරීමට අකැමැති වූ වයඹ පළාතේ පිහිටි ඉන්ධන පිරවුම්හලක හිමිකරුවෙක් මෙසේ අදහස් දැක්වීය.
“මෙවැනි ආකාරයට අනවශ්‍ය බලපෑම් බොහෝ විට සිදුවනුයේ ඉන්ධන අවසන් වූවාට පසුව පැමිණෙන පිරිස්වලින්. බවුසරයකින් ගෙනෙන තෙල් ප්‍රමාණය අඩුවූවාට පෝලිමේ අඩුවක් නෑ. සමහරු ඉන්නවා පසුව ඇවිත් කෑ කෝ ගහනවා පැය ගණන් පෝලිමේ සිටියා වගේ. කවුරුන් ඒ මොනවා කිව්වාත් අපිට ආපු තෙල් ටික ලබාදෙනවා හැර වෙන විකල්පයක් නෑ. දේශපාලක බලය පෙන්වා එන ඔවුන්ගේ ගෝලබාලයන් නිසා තමයි පිරවුම්හල් බොහොමයක අනවශ්‍ය ගැටුම් ඇතිවන්නේ.එය තමා ප්‍රධානම ගැටලුව. ඒ වගේම ඔය අතරවාරයේ නිතරම පිරවුම්හලට පැමිණ ජනතාව කුපිත කිරීම් සිදුකර තෙල් නොමැතිනම් මාර්ගය වැසිය යුතු බවට අනිසි බලපෑම් සිදුකරන කාන්තාවක පිළිබඳ අපි හඳුනාගෙන තිබෙනවා. ඉන්ධන නොමැතිවීමට පාර වැසීම විසඳුමක් නොවෙයිනෙ. අපේ පිරවුම්හලට දෙසැරයක්ම ප්‍රශ්නය වුණේ එවැනි අයගෙන්. අන්තිම වතාවේ නම් සිදුවූයේ දේශපාලන පක්ෂයකට ගැති පිරිසක් මත්පැන් පානය කර පැමිණ ඔවුන්ගේ බලය පෙන්වීමක්. එහෙත් අපේ පිරවුම්හලට එවැනි චෝදනාවක් ඇතැයි මා සිතන්නේ නෑ. මට මෙතැන උදව්වට පැමිණෙන කිහිපදෙනකු සිටිනවා.
පිරවුම්හල්වල මහජන සාමය කඩවීමේ සිදුවීම් ඇති වූ අවස්ථාවලදී ආරක්ෂක අංශ නිලධාරීන් අහක බලා සිටින බවට ජනතාව චෝදනාවක් කරති. පොල් ගෙඩියක් හොරාගත් පුද්ගලයාට ක්‍රියාත්මක වන නීතිය මෙවැනි ප්‍රභූ දාමරිකයන්ට චණ්ඩින්ට ක්‍රියාත්මක නොවන බවත් පොලිසිය ඔවුන් රකින බවටත් ජනතාව බරපතළ චෝදනාවක් කරති. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මෙසේ පැවසීය.
“සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්ධනහල්වලින් බලහත්කාරයෙන් ඉන්ධන ලබාගත් බව කියන සිද්ධි සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලින් විමසීමක් සිදුකළද එවැනි ආකාරයක බලෙන් තෙල් ලබාගැනීමේ කිසිදු සිදුවීමක් අපට මේ වනතෙක් වාර්තා වී නෑ. එවැනි සිදුවීම් සිදුවෙනවා නම් ළඟම පිහිටි පොලිස් ස්ථානයට දන්වන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොලීසිය කිසිදු අවස්ථාවක කිසිදු ලෙසකින් ප්‍රචණ්ඩකාරී පුද්ගලයන්ට ආධාර අනුබල දීමට සූදානම් නෑ. මීගහතැන්න ආදී සමහර ඉන්ධනහල්වල යම් යම් බලපෑම් සිදුකර ඉන්ධන ලබාගැනීමේ සුළු සිද්ධි කිහිපයක් වාර්තා වී තිබෙනවා. ඒ හැරෙන්නට වෙනයම් සිදුවීම් වාර්තා වෙලා නෑ. කෙසේ වුවත් මෙහි සත්‍යතාව තහවුරු කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානවලින් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිදු පොලිස් ස්ථානයකින් මෙවැනි දරුණු සිදුවීමක් වාර්තා වී නොමැති බවට පැවසුවද රටපුරා සිදුවීම් ගණනාවක් වාර්තා විය. ජනතාව පවසනුයේ මෙවැනි චණ්ඩි පිළිබඳ පොලීසියට පවසා වැඩක් නොමැති බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් බවත්ය.
සසංක චලන ගිම්හාන