2022 ජුනි 26 වන ඉරිදා

කොළඹ නගරය දැඩි ඩෙංගු අවදානමක

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 65

රට පුරා පවතින තත්ත්වය හමුවේ මේ වනවිට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඉඳහිට ඇතැම් ප්‍රදේශවලත්, වරින් වර ගිගුරුම් සහිත වැසි වාර්තා වන අතර ඇතැම් ප්‍රදේශවල පවතින තත්ත්වය හමුවේ මෙම වර්ධනය සිදුවෙමින් පවතින බවත්, මෙය ශීඝ්‍රයෙන් ඉහළ යාමට ජනතාවගේ නොසැලකිල්ලද ප්‍රධාන හේතුවන් වන බවත් ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව මේ වනවිටත් 51.8%කට වැඩි ප්‍රතිශතයකින් යුක්ත ඩෙංගු රෝගීන් වාර්තාවක් බස්නාහිර පළාතෙන් පෙන්නුම් කරයි. එයින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ප්‍රතිශතය 6.1%කි. මේ වනවිටත් දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 31,570කට අධිකය. මාස හයක් පුරාවට වාර්තා වූ මෙම සංඛ්‍යාව දළ වශයෙන් ඉතා වැඩිය. මෙතෙක් බස්නාහිර පළාතින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,200කට අධිකය. එයින් 7,800කට අධික පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. රෝගීන් 4,300ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 3000කට අධික රෝගීන් සංඛ්‍යාවක්ද මේ වනවිටත් වාර්තා වී ඇත.

ඩෙංගු රෝගය බෝකරනු ලබන්නේ ඉතා කුඩා මදුරුවෙකි. නමුත් මෙය ජීවිතයත් අහිමි කළ හැකි රෝගී තත්ත්වයකි. මේ දිනවල රටේ බොහෝ දෙනකු පසුවන්නේ දැඩි ආතතියෙනි. නිවෙසක රුකියාවක් කරන සාමාජිකයන් රුකියාවට පිටත්ව යද්දී බහුතරයක් සිටින්නේ දිගු පෝලිම්වලය. මේ නිසාම තම නිවසට මෙන්ම ගෙවත්ත සඳහා අවධානය යොමු කිරීමට ඇති කාලය අඩුවෙමින් පවතී. මෙවන් වතාවරනයක් තුළ මදුරුවකුට තම රෝග බීජ බෝ කිරීමේ ඇති අවස්ථාව වැඩිය. නිවෙස තුළ ඉතා කුඩා ජල බඳුනක පවා ඩෙංගු මදුරුවාට තම වර්ගයා බෝ කිරීමේ හැකියාව ඇත.

ආවරණ නොකළ ළිං, ඉවතලන ටයර්, මල් පෝච්චි, මල් බඳුන් යට තබා ඇති තැටි, ඉවතලන ටින්, කිරි හට්ටි, බෝතල්, වීදුරු බඳුන් වැනි ආවරණ, පොල් කටු, තැඹිලි කෝම්බ, භාවිත නොකරන ලද වැසිකිළි සහ වැසිකිළි උපාංග, කැපූ උණ පුරුක් මෙන්ම සුරතල් සතුන්ට ආහාර පාන දෙනු ලබන බඳුන් මතද ඩෙංගු මදුරුවා බෝවීමේ අවදානම පවතී.

මේ දිනවල රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ ඉදිකිරීම් වැඩබිම් තාවකාලිකව නතර කර ඇත. ඒ හේතුවෙන් තැන තැන තැබූ බැරල්, බාල්දි මෙන්ම පොලිතින්, සිමෙන්ති උර ආදියද වැඩබිම්වල එකතු වී ඇත. පවතින වර්ෂාව සමඟ ඒ තැන්වල වැහි ජලය එක්වීමෙන් එයින්ද ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි ප්‍රවණතාවයක් දැකගත හැකිය. සේවකයන් සේවයට වාර්තා නොවීම හේතුවෙන්ද මෙවැනි වැඩබිම්වලට කිසිවකුට ඇතුළු විය නොහැකිය. අවසානයේ සිදුවන්නේ කිසිවකු නොසිතූ පරිදි මෙම අත්හැර දැමූ වැඩබිම් ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවස්ථාවක් ඇතිවීමයි. මේ හේතුවෙන් මෙවැනි බෝ වන ස්ථානය ඉතා ඉක්මණින් හඳුනාගෙන එය විනාශකර දැමීම කළයුතු වේ.

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ සාමාන්‍ය උණ රෝගයට සමානය. ඇඟපත වේදනාව, හිසරදය, බඩේ කැක්කුම, වමනය, ආහාර අරුචිය, සමේ පැහැය වෙනස්වීම, අත් පා සියුමැලි වීම සහ සීතල බව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යය. මෙහිදී පැරසිටමෝල් ඖෂධයක් ලබාගත්තද අනෙකුත් වේදනා නාශක ඖෂධ ලබා නොගැනීමටද වගබලා ගත යුතුය.

ශ්‍රී ලංකාව තුළ මදුරු වර්ග එකසිය හතළිහක් සොයාගෙන ඇති අතර එයින් ඊඩ්ස්, ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ. සතියකට අධික දින ගණනාවක් බොහෝ නගරාසන්න පාසල් වසා තැබීමත් සමඟ ඩෙංගු මදුරුවාට ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මේ හේතුවෙන් පාසල් ආශ්‍රිත ස්ථාන සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමුකළ යුතුවේ. බොහෝ පාසල්වල ජල ටැංකි මෙන්ම පොකුණු ඉදිකර ඇති අතර ඇතැම් පොකුණුවල ඇත්තේ ජලජ ශාඛ පමණි. මේවාට කුඩා මසුන්ද එකතු කර ගැනීමෙන් ඩෙංගු මදුරුවාගේ බෝවීම පාලනය කරගත හැකිය.

ජලය රුස්කරන බඳුන්, මල් පෝච්චි, ටැංකි මෙන්ම කුරුළු නාන තටාකවල ඇති ජලය සතියකට දින දෙකක්වත් බුරුසුවකින් මැද පිරිසිදු කිරීම කළ යුතුමය. එහි එක්රුස්වන ජලය සම්බන්ධයෙන් විමසිලිමත් වීම ඉතා වැදගත් වේ. තවත් වැදගත් අවවාද කිහිපයක් මෙසේය.

• නිසි ලෙස නඩත්තු නොකළ වැහි පීලිවල ජලය එක්රුස් නොවන ලෙස පිරිසිදු කරන්න.

• ජලය රැඳෙන විසිතුරු ශාක වගා කිරීමෙන් වළකින්න.

• ගස් බෙන, උණ පුරුක් වැනි ස්ථානවල ජලය එක්රුස් නොවන සේ වැලි පුරවන්න.

බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු වර්ධනය වීමේ ප්‍රතිශතය අවම කරගැනීම සඳහා ජූනි මාසයේ 15 වැනිදා සිට 21 වැනිදා දක්වා ඩෙංගු මර්දන සතියක් නම්කර ඇති අතර ඒ කාලය තුළදී ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විවිධ ක්‍රියාකාරකම් සහ මර්දනය සම්බන්ධයෙන් වැඩපිළිවෙළවල් කිහිපයක්ද සිදුකර ඇත. එයින් මහජනතාවද මේ සම්බන්ධයෙන් වැඩි දැනුමක් ලබාදී ඇත. තම ගෙවත්තේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමත්, තම ප්‍රදේශයේත් පොදු ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරමින් ඩෙංගු අවදානම තුරන් කර ගැනීමට දායක වෙන ලෙස ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05