2022 ජුනි 26 වන ඉරිදා

දමනය නොවන උද්ධමනය!

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 285

උද්ධමනය පිළිබඳ නැසූ කෙනකු ලොව නොමැති තරම්ය. ශ්‍රී ලංකාව නම් වූ දූපතේ වෙසෙන අපිද උද්ධමනය පිළිබඳව කතා අනේක වාරයක් අසා ඇත්තෙමු. එහෙත් ආර්ථික විද්‍යාව පිළිබඳ උගතුන් උද්ධමනය න්‍යායාත්මකව පැහැදිලි කරන විට අප රටේ බොහෝ දෙනකුට එය හරි හැටි නොවැටහිණි. එසේම ඔවුන් උද්ධමනය හරි හැටි අත්විඳ නොතිබුණි. අත්විඳ තිබුණද එය උද්ධමනය යැයි ඔවුහු නොදත්හ. ජීවන වියදම ඉහළ යෑම, බඩු මිල ඉහළ යෑම ආදී සරල වචන අපි සැවොම ඊට භාවිත කරමු.

එහෙත් මෙවර තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් විය. ලොව උද්ධමනය අතින් දෙවැනි තෙවැනි තැන වැජඹෙන රටක් බවට අද අපි පත්වී සිටිමු. දැන් උද්ධමනය පිළිබඳ නොදන්නා කෙනෙක් නැත.  න්‍යායාත්මක ශාස්ත්‍රීය පැහැදිලි කිරීම් වැටහුණද නොවැටහුණ ද ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනාම අද උද්ධමනය අත්විදිමින් සිටිති. පසුගියදා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ වාර්තාවක් ප්‍රකාශ කළේය. උද්ධමනය පිළිබඳ එහි සටහන් වූ අගයන් ආර්ථිකය පිළිබඳ සරල අවබෝධයක් ඇති ඕනෑම අයකුට අප වැටී සිටින වලේ ගැඹුර පසක් කරයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙම වාර්තාවට අනුව මෙරට මැයි මාසයේ  වාර්ෂික ලක්ෂ්‍යමය  උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇත. එය ඉකුත් අප්‍රේල් මාසයේ සටහන් වී තිබුණේ 33.8‍% ක් ලෙසය. ඒ බව ජන හා  සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වේ. මසක් ඇතුළත මෙම වැඩිවීම සැබැවින්ම විශ්මයජනකය. එසේම එහි මහජනයා කෙරෙහි වන බලපෑම ඛේදජනකය.

ඉතා සරලව පැහැදිලි කළහොත් උද්ධමනය යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යෑමක් ලෙස නිර්වචනය කළ හැක. ඒ අනුව යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැඳින්වේ. එසේ වුවත් තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස නොසලකයි.

“හැමදේම ගණන් ගිහිල්ලා, අතට ගන්න සල්ලි ඉවර වෙනවා තේරෙන්නේ නැහැ"  මෙවන් කතා මේ දිනවල නිරන්තර අපට අසන්නට ලැබේ. සැබවින්ම උද්ධමනය පිළිබද මහජන දුක්ගැනවිල්ලයි. 

තවත් සරලව දැක්වුවහොත්  සාමාන්‍යයෙන් පසුගිය වසරේ  ඔබ රුපියල් 100කට ලබාගත් ඕනෑම භාණ්ඩයක් සේවාවක් වර්තමානයේ රුපියල් 145.30කට ලබාගැනීමට ඔබට සිදුවී ඇති අතර රුපියල් 1000ට ලබාගත් භාණ්ඩයක් හෝ සේවාවක් රුපියල් 1453 වී ඇත. කෙසේ වෙතත් මෙය භාණ්ඩ හා සේවා පිළිබඳ පොදු තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමකි. එය නිශ්චිත අගයක් නොවේ. අදාළ වාර්තාවේම ආහාර, ප්‍රවාහන ආදී විවිධ අංශ කෙරෙහි උද්ධමනය බලපා ඇති ආකරය දක්වා තිබේ. එම අංශ කෙරෙහිද අප අවධානය යොමු කළ යුතුය.

ඒ අනුව මෙම වාර්තා ඔස්සේ පැහැදිලි වෙන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය  58% ක් වන බවකි. ආහාර  නොවන කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 34.2% ක්  වන බව ඔවුහු කියා සිටිති. ආහාර උද්ධමනය මසක් තුළදී 45.1% සිට  58% ක් දක්වා ඉහළ ගිය බව ඇසීම තැතිගන්වන සුළුය. 

පසුගිය වසරේ රුපියල් විසි දහසක් මසකට ආහාරපාන සඳහා වියදම් කළ පවුලකට දළ වශයෙන් මේ වන විට එම ආහාරපාන ප්‍රමාණය ලබාගැනීම සඳහා  රුපියල් 31,600 ක් පමණ වැය වනු ඇත. මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු කරුණ වන්නේ මේ තාක් රටේ කිසිදු පුරවැසියකුගේ වැටුප් හෝ ආදායම වැඩි වී නොමැති බවයි. උද්ගතව ඇත්තේ ණය වීමට පවා නොහැකි තත්ත්වයකි. එවන් වටපිටාවක් තුළ ආහාර උද්ධමනයේ ප්‍රතිඵලයක් ලෙස දරුවන් කෙරෙහි මන්දපෝෂණ තත්ත්වයන් ද වැඩිහිටියන් කෙරෙහි පෝෂණ ඌනතා ද වර්ධනය විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

මීට අමතරව  ප්‍රවාහන උද්ධමනය ද  75% ක් බව අදාළ වාර්තාව දක්වයි. ප්‍රධාන වශයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවාහන උද්ධමනය කෙරෙහි බලපා ඇත. 2021 වසරේ දෙසැම්බරය වන විට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 කි. එහෙත් මේ වන විට පෙට්රල් ලීටරයක මිල කියවෙන්නේ රුපියල් 420 ක් ලෙසය. 2021 දෙසැම්බර් මාසය වන විට අවම බස් ගාස්තුව රුපියල් 16 කි. එහෙත් අද වන විට අවම බස් ගාස්තුව රුපියල් 32 කි. මෙම ඉහළ යෑම කිසිවිටක පොදු මහජනයාට දැරිය හැක්කක් නොවේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම මෙම තත්ත්වය මත දැඩි අභියෝගයක් වී ඇත.

අදාළ වාර්තාව නිකුත් වීමත් සමඟ රටේ විවිධ විද්වත්හු පවතින තත්ත්වය පිළිබඳ අදහස් දක්වන්නට වූහ. ඒ සියල්ල හරහාම පැහැදිලි වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බරපතළ බවයි. ජූනි මාසය අවසන් වන විට රටේ උද්ධමනය 75%ක් විය හැකි බව මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ නීතිඥ නිමලා සිරිවර්ධන මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් අනතුරු අඟවා තිබුණි. එසේම මෙම බරපතළ උද්ධමනයට අප දෙවැනි වන්නේ සිම්බාබ්වේ ‍රටට පමණක් බවත් එය ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවත් නිමලා සිරිවර්ධන මහත්මිය එහිදී පැවසුවාය.

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක් බව වාර්තා වෙනවා. ජූනි මාසය අවසන් වන විට 75%කට විතර කිට්ටුවෙයි කියලා මම හිතනවා. මේ උද්ධමනයට මහජනතාව මුහුණ දෙන්නේ කොහොමද? අනෙක් පැත්තෙන් ලොකුම ගැටලුව තමයි ප්‍රවාහනය. බස් ගාස්තුව දරාගන්න බැහැ. වාහනයට පෙට්‍රල් ගහගන්න බැහැ. අප්‍රේල් මාසයේදී ප්‍රවාහන වියදම 68%කින් වැඩිවෙලා. මැයි මාසය වන විට 91%ක් වෙලා තිබෙනවා. 

තව පැත්තකින් රජයේ වියදම් සඳහා රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කරන්න කැබිනට් අනුමැතිය දුන්නා. ඒ මුදල් එන විට රටේ උද්ධමනය කොයිතරම් වැඩි වේවිද? එවැනි තත්ත්වයක් මහජනතාව දරාගන්නේ කොහොමද? වාහන තියෙන අය කොට්ට පැදුරුත් අරගෙන කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල ඉන්නවා. මේ රටේ කාන්තාවන්, ළමයින්, මහලු පුද්ගලයන්, තරුණයන් වශයෙන් කිසිම වෙනසක් නැතිව සියලු දෙනාම පෝලිමේ."

සැබැවින්ම භාණ්ඩ හිඟය නිර්මාණය වන්නේ ද ඒ හරහා පෝලිම් ඇතිවන්නේ ද උද්ධමනයේ ප්‍රතිඵලයක් ලෙසය. රටේ වර්තමාන ආර්ථික තත්ත්වය කොතරම් භයානක අදියරක පවතින්නේ ද යන්න පහදා දීමට තවත් උදාහරණ අවශ්‍ය නැත. විසඳුමක් පේන මානේ නොවීම සියලු බලාපොරොත්තු බිඳ දමයි. අප ගිලී යන අගාධයේ ගැඹුර පවා අපට නොපෙනෙයි. පවතින ඉහළ උද්ධමනකාරී තත්ත්වය තවත් වසර දෙකහමාරක පමණ කාලයක් පවතිනු ඇති බව බොහෝ ආර්ථික විශේෂඥයෝ පවසති. මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති. එහෙත් එවන් වැඩපිළිවෙළකට යාමට රජය සතු හැකියාව ද ගැටලු සහගතය.

 චමිඳු නිසල් ද සිල්වා