2022 ජුනි 26 වන ඉරිදා

සලාකයත් අරන් ආපසු 70 දශකයට යන ශ්‍රී ලංකාව

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 125

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා ගෑස් පෝලිම් වර්තමානයේ මෙරට ජනතාවට අලුත් අත්දැකීමක් නොවේ. එය මේ වන විට දෛනික ජීවන චර්යාවේ එක් අංගයක් බවට පත්ව තිබේ.

පවතින තත්ත්වය හමුවේ ලබන මස මුල් සතියේ සිට සතිපතා කෝටාවකට අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය සූදනම් වෙයි.

අවසන් වරට ශ්‍රී ලංකාවේ සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ 1970 දශකයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ පාලන සමය තුළය.

එනමුත් විචාරකයන් පවසන්නේ 70 දශකයේ පැවති සලාක ක්‍රමය හෝ පෝලිම් ක්‍රමය වර්තමානය සමඟ කිසිසේත් සැසඳිය නොහැකි බවයි.

70 දශකයේ මොකද වුණේ?

1972 වසරේ දී, රටේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා සමගි පෙරමුණු රජය පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළේය. ඒ, ආර්ථික වර්ධනය 6%ක මට්ටමකින් පවත්වාගෙන යාම, රුකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ අටකට රුකියා සැපයීම, සහ අපනයන විවිධාංගීකරණය කිරීම අරමුණු කර ගනිමිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක 1970 මහා මැතිවරණ වේදිකාවේ දී ලබාදුන් පොරොන්දුවක් වූයේ හඳෙන් හෝ හාල් ගෙනවිත් දෙන බවයි. ජීවන බර අඩුකර, රටේ රුකියා ප්‍රශ්නවලට ද විසඳුම් ලබාදෙන බවට ඇය දුන් පොරොන්දු නිසා සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි බලයක් හිමිවිය. 

එහෙත් 1971 අප්‍රේල් ඇතිවූ කැරුල්ල නිසා ආණ්ඩුවේ සියලු සැලසුම් වෙනස් කිරීමට සිදුවිය. කැරුල්ල සාර්ථකව අවසන් කළ සමගි පෙරමුණු ආණ්ඩුව රට දියුණු කිරීමට සැලසුම් සකස් කළේය. එහෙත් ආණ්ඩුව බලාපොරොත්තු වූ අයුරින් පස් අවුරුදු සැලැස්ම සාර්ථක එකක් නොවීය.ජනතාවට පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිවීම හේතුවෙන් ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්වූහ. යම් පුද්ගලයකු අත කොපමණ මුදලක් තිබුණත් ප්‍රමාණවත් තරම් ආහාර සහ අනිකුත් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාවක් නොතිබුණි.

මේ හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වූයේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වූ ජනතාවයි. ග්‍රාමීය ජනතාව ගමේ කොරටුවේ හෝ වතුපිටිවලින් අමතර ආහාර සොයාගන්නා විට, නාගරික සහ අර්ධ නාගරික ජනතාවට සිදුවූයේ සලාක ක්‍රමය යටතේ ආහාර ලබාගැනීමටයි.

70 දශකයේ මතකයන් අවධි කිරීමට හේමා වීරසිංහ අප හා එක්වූවාය.

“සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දාට විතරයි බත් කන්න හම්බවුණේ. අනික් දවස්වල අල, බතල, රොටි තමා අම්මා තියන්නේ ඉස්කෝලේ ඇරිලා එනකොට. පොල් දාලා බතල තියෙනවා. නැත්නම් පොල් හරි, ලුණුමිරිසක් එක්ක මඤ්ඤොක්කා තම්බලා තියෙනවා. ඒවා කන්න පුළුවන්."

“හාල් කිලෝ පහකට වඩා ගෙදර ගේන්න බැහැ, පොලිසියෙන් අල්ලනවා. හාල් පොත් තිබුණා ගෙදර. හාල් ගන්න මම පෝලිමේ ඉන්නවා. අම්මා ගෙදර වැඩ ඉවරවෙලා එනවා. ඒ හාල් ටික තමා මාසෙම කන්න ඕනේ,” ඇය එකල මතකයන් ආවර්ජනය කරයි.

“අයියටයි මටයි පාන් බාගයයි හම්බවෙන්නේ. ඉතින් මදි කන්න. පාන් බාගේ ගන්නත් පෝලිමේ හිටගෙන ඉන්නවා,” ඇය පැවසුවාය.

“ආණ්ඩුවෙන් කිරිපිටි පැකට් එකයි දෙන්නේ දරුවට. රටපිටි කඩ එකයි තිබුණේ ටවුන් එකේ. තව කිරිවේලක් දෙන්න පිටි පැකට් එකක් ගන්න ග්‍රාමසේවක අත්සන් කරන්න ඕනේ. අත්සන් කළොත් විතරයි තව පිටි පැකට් එකක් දෙන්නේ. බඩු ගන්න සමූපකාරේ පෝලිම දැක්කම එපා වෙනවා,” තිලකා වීරකෝන් සිය මතකය අවධි කරමින් පැවසුවාය.

සහල් පොලු සහ මිරිස් පොලු

ආහාර සංග්‍රාම වැඩසටහන යටතේ, වගා නොකර පැවති සෑම ඉඩමක්ම වගා කිරීම තුළින් දේශීය පරිභෝජනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට එවකට රජය සැලසුම් කර තිබුණි.

ඒ අනුව මෙරට වගා කළ බෝග වර්ග ආනයනය කිරීම සීමා කෙරිණ. එහෙත් විවිධ හේතු මත දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් නොලැබීම හමුවේ එම වකවානුව තුළ රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් නිර්මාණය විය.

ආහාර අර්බුදය සමනය කිරීම සඳහා රජය ගත් එක් පියවරක් වූයේ සහල් පොලු සහ මිරිස් පොලු දැමීමයි. ඒ අනුව එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ගෙන යාම තහනම් විය. එම භාණ්ඩ රජයේ ඍජු පාලනය හා අධීක්ෂණය යටතේ බෙදාහරිනු ලැබුණි.

සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ආපනශාලාවල බත් අලෙවියට අවසර හිමි නොවීය. පාන් නිෂ්පාදනය ද සීමා කෙරුණු අතර පාන් බෙදාහැරුණේ ද සලාක ක්‍රමය යටතේයි. පාන්වලට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුසක් එවකට බෙදාහැර ඇත්තේ සලාක ක්‍රමය යටතේ, රජයේ විවිධ සේවා සමූපකාර මගිනි.

සරල ජීවන ක්‍රමයක්

“කොළඹ තිබුණු උසම ගොඩනැගිල්ල තමා ආකාස කඩේ. කොළඹ තිබුණු ජනප්‍රියම තැන්වල තිබුණේ එක්කෝ ආප්ප. ඒ වගේ පොඩි පොඩි දේවල්. මේ වගේ විස්තීර්ණ සමාජයක් නොවෙයි ඒක ඇත්තටම. ඒ කාලේ ගෑස්වලින් ඉව්වේ නැහැ. මිනිසුන්ට ටෙලිෆෝන් තිබුණෙත් නැහැ. ටෙලිෆෝන් තිබුණේ ඉතාම සුළු පිරිසකට. හෑන්ඩ්ෆෝන් මොනවත් තිබුණෙත් නැහැ. අන්තර්ජාලය කියලා එකකුත් අපි දැනගෙන හිටියේ නැහැ. ඒකත් හුඟක් පස්සේ ආවේ. ඔය ගෝලීයකරණයට ලක්වෙලා, ආර්ථිකය විවෘත වෙලා, ගෝලීයකරණ ලෝකයකට ලක්වෙලා ඒ ආවට පස්සේ ඇතිවුණු තත්ත්වයක් තමා මේ තත්ත්වය,” ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පෙන්වා දුන්නේය.

“1960 වෙනකම් ලංකාව රසායනික පොහොරවත් දැනගෙන හිටියේ නැහැ. පාවිච්චි කළේ ගෙරිකටු පොහොර කියලා එකක්. හරක්ගේ කටු පොඩිකරලා, ඒවයින් හදාගත්තු පොහොර තමා ලංකාවේ තිබුණු එකම පොහොර වර්ගය. ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් පිටරටින් ගෙනාවේ. අස්වැන්න ඉතාම පහළ මට්ටමක තිබුණේ.

“මේ වගේ වාහන තිබුණේ නැහැ. බොහොම කලාතුරකින් තිබුණේ වාහන. රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් වාහන පාවිච්චි කළේ කිහිපදෙනයි. ඒගොල්ලොත් ඇත්තටම වාහනවලින් පාර්ලිමේන්තුවට ආවේ නැහැ ගමේ ඉඳලා. ඒගොල්ලෝ කළේ, ඒගොල්ලන්ට පාස් එකක් තිබුණා කෝච්චියේ වාහනය දාගෙන එන්න පුළුවන්. එතකොට වාහන කොච්චියේ දාගෙන කොළඹ ඇවිල්ලා, මරදානේ හරි කොටුවේ හරි බැහැලා ආපහු කාර් එක එළියට අරගෙන, ඒකෙ නැගලා සාවස්ත්‍රියට ගිහිල්ලා තමා ඊට පහුවෙනිදා පාර්ලිමේන්තුවට යන්නේ. ආපහු පාර්ලිමේන්තුවෙන් කොටුවට හරි මරදානට කාර් එකේ ඇවිල්ලා, මෝටර් රථය අර පාස් එක යටතේ ආපහු කෝච්චියේ දාගෙන තමා ගාල්ල, මහනුවර හෝ කුරුණෑගල හෝ ඕන ගමකට යන්නේ. ඒක තමයි තිබුණු ක්‍රමය,” වික්ටර් අයිවන් පැහැදිලි කළේය.

එකල පෝලිම්වල ගැටුම් ඇතිවූයේ නැති බවද මාධ්‍යවේදී වික්ටර් අයිවන් කියා සිටියේය.

“රට තියෙන්නේ බොහොම බිහිසුණු තත්ත්වයක. දැන් ඉන්නේ අපි අගාධයක. ඒ අගාධයේ අපි ඉන්නෙත් තව අගාධයකට වැටෙන්න ඔන්න මෙන්න කියන තත්ත්වයක. ඒක මහජනයා දන්නේ නැහැ. සමහරවිට දේශපාලකයෝ දන්නෙත් නැහැ. ඒ අගාධයට වැටුණොත් ශීලාචාර තත්ත්වය අපිට අහිමිවෙනවා. එතකොට රජයක් අවශ්‍ය වන්නේ නැහැ. රජය බිඳවැටෙනවා. නීතියේ ආධිපත්‍යය විතරක් නොවෙයි, ශීලාචාරත්වය බිඳ වැටෙනවා. ඒක දේශපාලනඥයාගේ වරදින් පමණක් නොවෙයි මහජනයාගේ වරදින් සිදුවන දෙයක්,” වික්ටර් අයිවන් පැවසුවේය. 

■   BBC සිංහල ඇසුරිණිß‚ß

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05