ජනතාව ඉන්ධන හිඟයෙන් බලවත් පීඩාවකට පත්ව සිටී. සැතපුම් ගණන් දිග පෝලිම්වල පැය ගණනක් දුක්විඳ ලබාගන්නා ඉන්ධන ප‍්‍රමාණය දවසකට දෙකකට වඩා ප‍්‍රමාණවත් නැත. රට මුහුණ පා ඇති විනිමය අර්බුදයෙහි තරම පෙන්වන ඉන්ධන හිඟය, අද වනවිට පාර්ලිමේන්තුව රැස්වන දින ගණනද සීමා කරන තරමට සංකීර්ණ වී ඇත. මහජන නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටද ඉන්ධන ප‍්‍රශ්නයට පැන නැගී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. පෞද්ගලික වාහන පරිහරණය සීමා කරන්නට සිදුවී ඇති අතර සාමාන්‍ය ජනතාව මුහුණ පා ඇති ගැටලු මහජන නියෝජිතයන් අවබෝධ කරගත යුතුය.
සාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ඉන්දියාව ශ‍්‍රී ලංකාව අත් විඳින ආර්ථික අර්බුදයෙහි තරම වටහා ගත් අතර කුලුනු හතරකින් යුතු සලැස්මක් කෙරෙහි අවධානය යොමු විය. ආහාර හා ඖෂධ සැපයුම සඳහා ණය මුදලක්, ඛනිජ තෙල් සඳහා වෙනම ණය ආධාරයක්, ආයෝජන හා සංචාරක සැලැස්මක් සහ ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ සහනයක් වශයෙන් මෙහි ආවරණයක් සැපයිණ. සරලව ඇරඹුණ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ තැනකට පත්ව ඇත. ජනතාව තව තවත් අපේක්ෂා සහගතව සිටී. ඉන්දියානු ආධාර වැඩපිළිවෙළ අවසන් වන තැන ගැන අදහසක් අවශ්‍යය.
• ඉන්දියන් විරෝධය ආපසු හරවන පියවර
ඉන්දු ලංකා ගිවිසුම මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයකි. ත‍්‍රස්තවාදය විසඳීම සඳහා ඉන්දීය මොඩලයේ ව්‍යවස්ථා සංශෝධනයක් මෙරටට හඳුන්වා දුන් අතර එමගින් පළාත් සභා ක‍්‍රමය යෝජනා කළේය. පළාත් සභා සැලැස්ම පමණක් නොව ඉන්දියාවත් මෙරට ජනතාවට වහකදුරු වූ අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සමහර දේශපාලන පක්ෂ තද ස්ථාවරයක පසුවිය. ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම සහ පසුව එකතු වූ සේවා ගිවිසුම වැනි කරුණු ඉදිරියේ මහා භීතියක් මතු කළ දේශපාලනඥයෝ දෙරට අතර හොඳ හිත පළුදු කළහ. ඉතා වටිනා අවස්ථා රටට මග හැරුණ අතර ඉන්දියාවට දොරටුවක් වශයෙන් කලාපයේ රටවල් අතරින් නැගී දියුණුව කරා ගමන් කරන පහසුව අහිමිවිය. පළාත් සභා ක‍්‍රමය පමණක් නොව ඉන්දියාවේ ආර්ථික ශක්තියද ප‍්‍රතික්ෂේප කළ ජන මතය අත වෙනත් තැනකය. ඉන්දියාවෙන් තෙල් නැවක් එනතුරු බලා සිටිති. පොහොර එන්නේ කවදාදැයි ඇඟිලි ගණිමින් සිටිති. ඉන්දියාවෙන් හෝ සංචාරකයන් ගෙන්වා ගැනීමට උනන්දුවක් දක්වති.
ශ‍්‍රී ලංකාවේ දේශපාලන අංශවල පටු තීරණ කෙසේ වෙතත් ඉන්දියාව ප‍්‍රසිද්ධියේ කරන ප‍්‍රකාශයක් ඇත. අසල්වැසියාට පළමුවෙන් යන සැලැස්මය. කලාපයේ රටවල් සමඟ ආර්ථික ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති ඉන්දියාව පළමුවෙන් එවැනි ගිවිසුමක් අත්සන් කරන්නේ ශ‍්‍රී ලංකාව සමගය. ධීවර කටයුතු, ආරක්ෂක සබඳතා, ගුවන් අවකාශය යනාදි කරුණු ඉදිරියේ පරස්පරතා නැගෙන නමුත් ඉන්දියාව සිය සමීපභාවය අත්හැර දමා නැත. මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස් ධුරයට නම් කළ අතර එම තීරණයට පවා මෙරට සමහර පිරිස් තද විරුද්ධත්වයක් පළ කළහ. පත්කළ මන්ත‍්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට ගිය මිලින්ද පළමුවෙන් සිය නිල වාහනය වශයෙන් භාවිත කළේ ඇම්බැසිඩර් වර්ගයේ ඉන්දියාවේ නිෂ්පාදිත සරල කාර් එකකි. අද මෙන්ම එකලද අනෙක් මැති ඇමැතිවරු ඔහු පසුකරමින් අති සුඛෝපභෝගී වාහනවල ගමන් කළ අතර ඉන්දියාවට එරෙහිව තිබුණ විරෝධය ආපසු හරවන අතර ඉතාම දුෂ්කර අවස්ථාවක ශ‍්‍රී ලංකාවට අවශ්‍යම කරන සහාය ලබාගන්නට ඇම්බසිඩර් වාහනයෙන් ගමන් කළ මිලින්ද මොරගොඩ මහතාට අද හැකියාව ලැබී තිබේ.
• බිලියන ගණනින් රටට ආධාර ක‍්‍රම
විදේශ අමාත්‍යංශ වාර්තා දක්වන පරිදි පසුගිය මාස හයක පමණ කාලය තුළ ඉන්දියාව සපයා ඇති ආධාර ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හය ඉක්මවයි. බිලියනයක ණය මුදලක් ශ‍්‍රී ලංකාවට අනුමත කළ අතර වසර තුනකින් ආපසු ගෙවන එමගින් සියයට හැත්තෑපහක ප‍්‍රතිශතයක් ඉන්දියාවෙන් මිල දී ගන්නා භාණ්ඩවලට ගෙවිය හැකි විය. ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීමට එම ණය ඉවහල් වූ බව මතක් කළ යුතුය. ඛනිජ තෙල් මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් එහි දෙවැනි කොටසය. මෙම පහසුව සම්බන්ධයෙන් සාකච්ඡා අරඹන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් හැටක සීමාවේ තිබුණ අතර පළමු ඉන්ධන තොගය ලංකාවට ළඟාවන මොහොත වනවිට බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 දක්වා නැග තිබුණි. රුසියාව හා යුක්රේනය අතර යුද්ධය තෙල් මිල ඉහළ යන්නට මුලික හේතුව වූ බව පෙනේ.
පළමු වටයේ ඉන්ධන සහනය මුලින් ගණනය කරන ලද ප‍්‍රමාණය ඉක්මවා යන අවස්ථාවේ දී රාජ්‍යතාන්ත‍්‍රික මටට්මින් කරන ලද සාකච්ඡා අනුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අනුමත කරගන්නට සමත් වූ අතර දැන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ගැන සාකච්ඡා කෙරේ. දෙරට අතර ඉන්ධන වෙළඳාම හා සංචිත පවත්වාගෙන යෑම පුළුල් සංධිස්ථානයකට කැඳවමින් ත‍්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය වැඩි දියුණු කිරීම සඳහා රටට වැඩි කොටස් හිමි සමාගමක් පිහිටුවන්නේද මෙම අතරවාරයේය.
පොහොර සැපයුම සඳහා ද ඉන්දියාව සහාය විය. පොහොර අපනයනය තහනම් කර තිබුණ නමුත් ඉන්දීය කැබිනට් මණ්ඩලය එම තීරණ වෙනස් කර ඔවුන් ආනයනය කරන ඕමානයෙන් ශ‍්‍රී ලංකාවට කෙලින්ම යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් හැරවීය. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් යන මහත්ම මහත්මීහු මෙම කර්තව්‍ය සඳහා සෑහෙන කැපවීමකින් ක‍්‍රියා කරන ලද බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ආසියානු රටවල ණය හා වෙළෙඳ කටයුතු සඳහා ගෙවීම් කරන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර ඉකුත් කාලය තුළ ශ‍්‍රී ලංකාව කරන ලද ගනුදෙනුවල පියැවීම් එතැන එකතු වී තිබුණි. මහ බැංකුව විදේශ සංචිත පිරිහි ඇති බව නිවේදනය කළ පසු ශ‍්‍රී ලංකාව ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ මුදල් ඔවුන් පියවන ලද අතර එය අවුරුදු තුනකින් ගෙවන ණය මුදලක් බවට හැරවීය.
• තතු විමසන විශේෂ නියෝජිතයෝ තිදෙනෙක්
ඉකුත් බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ ඉන්දියානු විශේෂ නියෝජිතයන් තිදෙනෙක් මෙරටට පැමිණියහ. ඉන්දියාවේ විදේශ ලේකම් ධුරයට අලූතින් පත්ව සිටින ශ‍්‍රී විනේ ක්වාත‍්‍රා මහතා මෙම කණ්ඩායමේ වැදගත් සාමාජිකයෙකි. මුදල් අමාත්‍යංශයේ උපදේශක ආනන්ද නාගේශ්වරන්ද එහි වෙති. මෙම තිදෙන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් මුණගැසුණ අතර මෙම විශේෂ සංචාරය ඉන්දු ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඉදිරි කාලයේ දී තවත් යහපත් ලෙස පවත්වා ගෙන යා හැකි බවට විශ්වාසය පළ කිරීමක් සේ සැලකෙයි.
ඉන්දීය රජයේ විශේෂ රජයේ නිලධාරීන් තිදෙන ශ‍්‍රී ලංකාවේ ගත කරනද කාලය තුළ දැනට ක‍්‍රියාත්මක හදිසි ආධාර වැඩපිළිවෙළ දෙස පුළුල් ද්‍රෘෂ්ඨි කෝණයකින් සලකා බලන ලද බව වාර්තා වේ. වරින්වර ශ‍්‍රී ලංකාව ඉල්ලන ආධාර, ඛනිජ තෙල් තොග ගැන සලකා බැලුවහොත් සමහරවිට වසර අවසන් වනවිට දැනට නිකුත් කර ඇති ආධාර ප‍්‍රමාණය මෙන් දෙගුණයක් විය හැකි අතර ඒවා ආපසු ගෙවීම ශ‍්‍රී ලංකාව මුහුණ දෙන බරපතල ප‍්‍රශ්නයක් වනු ඇතැයි සැලකේ. ශ‍්‍රී ලංකාවේ අභිමතය හා ඉදිරි මාර්ග සිතියම ගැන ඉන්දීය රජය මහත් අවධානයක් යොමු කරන බව නිසැකය.
ශ‍්‍රී ලංකාව සිය ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය ඉදිරියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ඉල්ලා ඇති අතර එය ජූලි අවසානය වනවිට ලබාගත හැකි වෙතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට කියා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවට මානුෂීය ආධාර සපයන සේ ඉල්ලීමක් කර ඇත. චීනය රටට ආධාර ගණනාවක් සපයන ලද නමුත් චීන පොහොර නැව සම්බන්ධයෙන් ක‍්‍රියාකළ ආකාරය අමතක කර නැති බව පෙනේ. ජපානයද ඔවුන්ගේ සැහැල්ලු දුම්රිය යෝජනාව අවලංගු කළ කර්කෂ විලාසය මතක තබාගෙන සිටී. රාජ්‍ය තාන්ත‍්‍රික දූත පිරිස් ලෝකය පුරා විසුරුවා සිටින ශ‍්‍රී ලංකාව එම කාර්යාලවලින්ද ඉන්දියාවෙන් හා සමාන සහායක් ලබාගත හැකි වුවහොත් රටට යම් අස්වැසිල්ලක් ලබා ගත හැක.
• හදිසි ණය ආධාර සමඟ ආයෝජන
ආහාර සඳහා මාළුවකු තෑගි කරනවාට වඩා බිලී පිත්තක් සැපැයීම සුදුසු බව බටහිර කියමනකි. ආහාරය සඳහා යමක් සපයා ගන්නා තැනින් ඔබ්බට ඉන්දියාවේ කෘතවේදීභාවය යා යුතුය. ආයෝජන කෙරෙහි නැඹුරුව වැදගත්ය. ඉන්දියානු ප‍්‍රධාන කර්මාන්ත හා ව්‍යාපාර අංශ ලෝකයේ පළමු තැනට පත්ව ඇත. ටාටා සමාගම එයින් එකකි. ඉන්දියානු ජාතික ගුවන් සේවය මිල දී ගන්නට තරම් ශක්තිමත් බවක් දක්වන ලද සමාගමකි. ශ‍්‍රී ලංකාවේ දැනටත් ආයෝජනය කර ඇති අදානි සමුහ ව්‍යාපාරය ඉතාම ප‍්‍රබල ව්‍යවසායයකි. ෆෝබ්ස් වාර්තා අනුව ගෞතම් අදානි ලෝකයේ පස්වැනි පොහොසත් පුද්ගලයා බවට පත්ව ඇත. සුප‍්‍රකට බිලියනපති වොරන් බෆට් පසුකර ඉහළට පැමිණ ඇති හෙතෙම ලෝකය පුරා සිය වත්කම් විසුරුවා හැර සිටී.බිලියනපතියන්ගේ ලේඛනය සලකා බලන පසු ඉන්දියාවෙන් 166 දෙනකු වාර්තා වන බව ෆෝබ්ස් වාර්තාව තවදුරටත් සඳහන් කරයි. මෙම ලැයිස්තුවෙන් කිහිපදෙනකු මෙරටට ව්‍යවසායවල ආයෝජනය කළහොත් රටට අවශ්‍ය විනිමය උපයා ගැනීමේදී ප‍්‍රධාන මෙහෙවරක් වනු ඇත.
ඛනිජ තෙල්, ගෑස්, ගුවන් ගමන් හා ගුවන් තොටුපොළ, විදුලිය සංදේශ සේවා, වරාය සහ සංචාරක හෝටල පහසුවෙන් ද්විපාර්ශ්වික ආයෝජන බවට හැරවිය හැක. දැනට ඉන්දියාවෙන් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය සලකන කල පසුව මේවා ආපසු ගෙවන්නට සිදුවේ. උත්පාදනයකින් තොරව ආපසු ගෙවන හැකියාවක් නැත. අපට අවශ්‍ය ව්‍යවසායකත්වයකි. මෙරට නිපදවන දේ සඳහා වැඩ පිළිවෙළකි. ශ‍්‍රී ලංකාව අපනයනය කරන්නේ මොනවාද? විශාල ඉඩම් ප‍්‍රමාණයක තේ වගා කරන අතර එහි නිරත ශ‍්‍රම බලකාය ලක්ෂ අටක් පමණ වේ. තේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයකි. බංගලා දේශය ඇඟළුම්වලින් ඇමරිකානු ඩොලර් බිලියන හතලිස් පහක් උපයන විට ශ‍්‍රී ලංකාවේ ආදායම ඩොලර් බිලියන පහකි. මෙම රාමුව වෙනස් කරන්නට අපට අවශ්‍ය කර තිබේ.
සාරා කන්දෙගොඩ