ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන් දැන් ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකාවේ දරුවන්ද මන්දපෝෂණයට ලක්ව ඇති බවට වාර්තා ගණනාවක්ම මේ වන විට ඉදිරිපත්ව තිබේ. යුනිසෙෆ් ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තාවක කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ළමුන් ලක්ෂ 48න් ලක්ෂ 23ක්ම මන්දපෝෂණයට ගොදුරුවීමේ අවදානමක් ඇති බවකි. යුනිසෙෆ් සංවිධානයම පවසන පරිදි ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 7 වැනි ස්ථානයේ පසුවෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පසුගියදා පෙන්වා දුන්නේ ළමා මන්දපෝෂණය අතින් අප දකුණු ආසියා කලාපයේ දෙවැනි තැන පසුවන බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කතාව කීවේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ 2017” වාර්තාවේ සඳහන් කරුණු සලකා බැලීමෙනි. ඒ අතර ලංකාවේ වයස අවුරුදු 14ට වැඩි ජනයාගෙන් 22% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ලෝක බැංකු වාර්තා මගින්ද පෙන්වා දී තිබුණි. තවත් ස්වාධීන සහ රාජ්‍ය අංශ වාර්තා කිහිපයකම දත්ත සනාථ කර ඇත්තේ ලංකාවේ වියළි කලාපය සහ උතුරු නැගෙනහිර කලාප ආශ්‍රිතවත් වතු ප්‍රජාව අතරත් මේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවය.
වසර කිහිපයකට පෙර නිකුත්ව ඇති පාර්ලිමේන්තු වාර්තාවකට අනුව වයසට නිසි බර නොමැති දරුවන් 243066ක්ද, මිටි තත්ත්වය (වයසට නිසි උස නොමැති දරුවන්) සහිත 143955ක්ද, කෘෂ බව (උසට සරිලන බර නොමැති දරුවන්) සහිත අය 177267ක්ද, වූ බව දක්වා ඇත. දැන් මේ තත්ත්වය මෙයට වඩා උග්‍රය.
මේ වනවිට ලෝකයේ කුසගින්න, සාගින්න එසේත් නොමැති නම් ආහාර අර්බුදය විශාල ගැටලුවක් වී ඇත. සාගින්නේ මූලිකම ස්වරෑපය වන්නේ මන්ද පෝෂණයයි. පෝෂණීය ආහාර ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා මන්දපෝෂණය හටගන්නා අතර ලෝකයේ සෑම පුද්ගලයන් පස්දෙනකුගෙන් එක් අයකුම මන්දපෝෂණයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය කාලයේ පෙන්වා දී තිබිණි.
මන්දපෝෂණය යනු අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා සිරුරේ ඇතිවන තත්ත්වය විග්‍රහ කිරීමට භාවිත කෙරෙන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමකි. මෙය බොහෝ අවස්ථාවලදී යොදාගනුයේ අවපෝෂණය විග්‍රහ කිරීමටය. මෙහිදී ප්‍රමාණවත් නොවූ ආහාර පරිභෝජනය, ආහාර අවශෝෂණයේදී ඇතිවන ගැටලු හා පෝෂක ද්‍රව්‍ය සිරුරෙන් අධිකව ඉවත් වී යාම බලපෑමට හැකිය. සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය නිසා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දේහ ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීමට තරම් ප්‍රමාණාත්මක අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා මන්දපෝෂණය ඇතිවේ. ලංකාව තුළ ද මන්දපෝෂණයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නිසි සමබල පෝෂණයක් සහිත ආහාරවේලක් සැමටම සැමවිටම නොලැබීමය. මෙයට ප්‍රධාන වශයෙන් දිළිඳු ආර්ථිකය බලපාන අතර නිසි අධ්‍යාපනයක්, දැනුම්වත් බවක් නොමැතිවීම සහ අක්‍රමවත් සහ බඩජහරි ආහාර පුරුදු හේතු වී ඇත.
මේ මොන යම් හේතුවක් නිසා හෝ මන්දපෝෂණයට ලක්වූ ජනතාවගේ ආහාරවේලෙහි මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට සුදුසු මට්ටමේ ප්‍රමාණාත්මක කැලරි ප්‍රමාණයක් ඇතුළත් නොවන අතර ආහාරවේලෙහි ප්‍රෝටීන්, විටමින් හා අනෙකුත් අත්‍යවශ්‍ය සංඝටකවලින්ද ඌණ වේ. එහෙයින්ම මන්දපෝෂණය නිසා හටගන්නා රෝගී තත්ත්වයන් ඌණතා රෝග නම් වේ.
බහුලවම දක්නට ලැබෙන මන්දපෝෂණ තත්ත්වය වන්නේ ප්‍රෝටීන - ශක්ති - මන්දපෝෂණය හා ක්ෂුද්‍ර පෝෂකවල ඇති ඌනතාව නිසා හටගන්නා මන්දපෝෂණයයි. ප්‍රෝටීන - ශක්ති - මන්දපෝෂණය යනු ශක්ති ජනක ආහාර ද්‍රව්‍ය හා ප්‍රෝටීන නිසි පරිදි නොලැබී යාම හා අවශෝෂණය නොවීම නිසා ඇතිවන තත්ත්වයකි. සිරුරේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය සදහා සුළු ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලවණවල ඌණතාවය නිසා ඇතිවන රෝග ක්ෂුද්‍ර පෝෂක ඌණතාවය නම් වේ. මෙමගින් විවිධාකාර වූ රෝගාබාධ හා සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිදුවේ. යකඩ, අයඩීන් හා විටමින් A ඌණතාවය බහුලව දක්නට ඇති අතර ප්‍රධානතම ප්‍රජා සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇත. විටමින් A ඌණතාවය නිසා සිරුරේ රෝගවලට ඇති ප්‍රතිරෝධීතාවය අඩු වේ. යකඩ ඌණතාව නිරක්තියට හේතු වේ. ජීවිතයේ මුල් කාලයේදීම හටගන්නා මෙබඳු ඌණතාවයන් නිසා කුරු බව ඇතිවීම, බුද්ධි මට්ටම හීන වීම, සමාජශීලි බව අඩුවීම පෞරුෂ වර්ධනය අඩාල වීම, ශක්ති සම්පන්න බව අඩුවීම හා මාංශ පේශීවල වර්ධනය අඩපණ වීම ඇතුළුව සමස්ත සෞඛ්‍ය මට්ටම අඩාල වීමක් සිදුවේ.
මේ ඌණතා රෝග නිසාම පසුව නිදන්ගත රෝග බහුලව ජන සමාජය තුළ පැතිර යන අතර එය ප්‍රබල පෝෂණ සහ සමාජයීය ගැටලුවක් මතු කරයි. ජන සමාජය තුළ හටගන්නා මේ ගැටලුකාරී තත්ත්වයේ අවසන් ප්‍රතිඵලය දුර්වල බෙලහීන රටකි. මේ නිසාම මන්දපෝෂණය යනු වහාම පිළියම් යෙදිය යුතු, සොයා - සැලසුම් සහගතව පහර දී වැනසිය යුතු සැඟවුණු ත්‍රස්තවාදියෙකි.
මේ නිසාම අපේ දරුවන් මුහුණ දී සිටින මන්දපෝෂණ තත්ත්වයෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට යෙදුණි.
ආර්ථික අර්බුදය හමුවේ පවතින තත්ත්වයට නිවැරදි හා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් දැනටමත් යම් මට්ටමකින් පවතින පෝෂණ ගැටලු මන්දපෝෂිත අනාගත පරපුක් බිහිකිරීම දක්වා ඔඩුදුවා යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී අවධාරණය කර තිබුණි.
සමස්තයක් වශයෙන් මිලියන 1.7කට වැඩි ළමා ජනගහණයක් පෝෂණ ගැටලු හරහා මන්දපෝෂණ තත්ත්වයක් කරා ගමන් කිරීමේ අවදානමට ලක්ව ඇති බව ඉතා බැරූරුම් ලෙස සැලකිල්ලට ගත යුතු බව ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමනාකරණය කර ගනිමින් පෝෂණ ගැටලුවල බලපෑම් අවම කර ගැනීමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සඳහා ඔවුන් මේ පස්වැදෑරුම් යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මුලින්ම පවතින තත්ත්වය පිළිබඳව විද්‍යාත්මක පදනමකින් යුත් පසු විපරමක් සිදුකර දිවයින පුරා ළදරු ළමා පෝෂණ තත්ත්වයන් හා ඒ හරහා මන්දපෝෂණයට ඇති සැබෑ අවදානම තක්සේරු කළ යුතුය.
ආහාර පිළිබඳව ඇති මිත්‍යා මත ගැන සැබෑ අවබෝධයක් ලබා දීමත් විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාරවේලක් සහතික කර ගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමත් කළ යුතුය. ඒ මගින් පෝෂදායී ආහාරවේලක් පිළිබඳ මූලික සංකල්ප ජනතාව වෙත ලබා දිය යුතුය.
ගෙවතු වගාව හා සත්ත්ව පාලනය (ධීවර කර්මාන්තය ද ඇතුළත්ව) පිළිබඳව දැනටමත් ක්‍රියාත්මක දිරිගැන්වීමේ වැඩපිළිවෙළ කඩිනම් ජාතික වැඩසටහනක් දක්වා පුළුල් කොට ප්‍රකාශයට පත් කළ යුතුය.
ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත (උදා:- මස්/ මාළු/ කිරි/ බිත්තර/ කරවල) ආහාරවේලක් පිළිබඳව ජනතාව දැනුවත් කර අඩු ආදායම් පවුල් සඳහා විශේෂයෙන් ඉලක්ක කරගත් ඒ සඳහා වන සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඉදිරි අතුරු අයවැය හරහා මේ සඳහා මුදල් වෙන් කළ යුතුය.
ගර්භණී මව්වරුන් හා ගැහැනු දරුවන් විශේෂයෙන් ඉලක්ක කරගත් පෝෂණය ඉහළ නැංවීමේ වැඩසටහනක් මගින් මන්දපෝෂණයේ විෂම චක්‍රය බිඳ දැමීමට මැදිහත් විය යුතුය. මේ කාරණා නොපමාවම ක්‍රියාත්මක කළ යුතුව ඇති බව මේ වෛද්‍යවරු අවධාරණය කර සිටිති.
සුගත් පී. කුලතුංග ආරච්චි