ආර්ථික අර්බුදයේ අන්තිම කොණට මේ මොහොතේ රට පත්ව සිටී. බොහෝ දෙනකුට ජනතාව තෙල් පෝලිම්වල සිටින අවස්ථාව පමණක් ප්‍රධාන ප්රශ්නය ලෙස පෙනුණත් රට අභ්‍යන්තරය ඊටත් වඩා ප්‍රශ්න කෝටියකින් වෙලී ඇත. ජනතාව කන්න බොන්න පමණක් නොව දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී පවා අසීරුතාවයකට පත්ව සිටී. ඒ ඒ ක්ෂේත්රවල විවිධාකාරයෙන් ප්‍රශ්නවලින් ගිලී සිටින ජනයා රට හැර යන්නටත්, ඇතැම් අය ජීවිතය අත්හැර දමන්නටත් තීරණය කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ ඉතාම බරපතළ තත්ත්වය බවට පත්ව තිබුණේ තෙල් අර්බුදයයි. එය මේ ලියන මොහොත වන විටද රට පුරා එක සේ වද දෙන ප්‍රශ්නයක් බවට පත්වී ඇති අතර ඇතැම් තෙල් පෝලිම්වල ජනතාව දින 5 ක් පමණ නිදිමරමින් ගත කරති. එකී තෙල් පෝලිම්වල කනගාටුදායකම ප්රශ්නය වී ඇත්තේ ඇතැම් පුද්ගලයන් විවිධ හේතු මත මිය යාමයි. මේ ලිපිය ලියන මොහොත වන විට එවැනි මරණ 13 ක් රට තුළ සිදුවී හමාරය. ඊට අමතරව තෙල් පෝලිම්වල ගහමරා ගැනිලිද එමටය. විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවස්ථා හමුවේ ඇතැම් පිරිස් අනිසි ලෙස තෙල් ලබාගැනීම ජනතාව කුපිත කරවන තැනකට පත්කර තිබේ. මේ නිසා දිනකට එක් තෙල් පෝලිමක ගහමරා ගැනීමක් නියතය. මේ හේතුවෙන් අවට පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ට රූ නොනිදා තෙල් පෝලිම්වල ආරක්ෂාව සපයන්නට සිදුවී ඇති අතර ඒ නිසා පොලිස් ස්ථානවල සාමාන්‍ය රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් අඩුවීමේ තත්ත්වයක් ද උද්ගතව තිබේ.
එහෙත් පසුගිය සතියේ ඩීසල් නිසි පරිදි පෝලිමේ සිට ලබාගැනීම නිසා එළවළු මිල යම්තාක් දුරකට පහළ ගියේය. එයට හේතු වූයේ දුර සිට පැමිණෙන ලොරි නිසි වෙලාවට කොළඹට සේන්දු වීමය. කෙසේ වෙතත් තොග වෙළෙඳුන් පවසන්නේ ඉදිරියේදී නැවත තෙල් අර්බුදයක් ඇතිවුවහොත් සුපුරුදු ලෙස එළවළු මිල ගණන් ඉහළ යා හැකි බවයි. ඊටත් වඩා කනගාටුදායකම සිද්ධිය වන්නේ එසේ තෙල් නොමැති වුවහොත් ප්‍රවාහනය කර ගැනීමට නොහැකිව එළවළු විශාල වශයෙන් විනාශ වීමයි. ඒ නිසා වහාම මේ එළවළු ප්‍රවාහනය සඳහා උපරිම සාධාරණයක් රජය සිදු කරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු සහගතව බලා සිටිති.
සිතා ගැනීමට නොහැකි ලෙස වැඩි වශයෙන් මිල ගණන් ඉහළ යාමක් සිදුවූයේ මත්ස්‍ය වෙළෙඳපොළ තුළය. ජීවිතේ කිසි දවසක සාලයාට ලංසු නොවූ මිලක් ලංසු තැබිණි. ඒ සාලයා කිලෝව 950 දක්වා ඉහළ නංවමිනි. ඒ මිල ගණන්වලට පහුගිය කාලයේ තලපත් ආහාරයට ගැනුණද අද සාලයා පවා කන්නට නොහැකි වන තැනට ජනතාව පත්ව සිටිති. මෙලෙස මාළු මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන ලෙස හේතු වූයේ ඉන්ධන ප්රශ්නයයි. මුහුදු යාමට අවශ්‍ය තෙල් මෙන්ම අවශ්‍ය මාළු කොළඹට ප්‍රවාහනය කිරීමට තෙල් හිඟවීම හේතුවෙන්ද මාළු මිල උසුලා ගැනීමට නොහැකි තරමින් ඉහළ ගියේය. එහෙත් ධීවර සංගම් පවසන්නේ හැකි ඉක්මනින් මේ තත්ත්වය පහළ යනු ඇති බවය.
මීට අමතරව වෙළෙඳපොළේ රෝල්ස්, පැටිස් මෙන්ම තේ එකක මිල පවා මේ වන විට ඉහළ ගොස් තිබේ. රෝල්ස්, පැටිස්, මාළුපාන් එකක මිල මීට මාස හතරකට පෙර තරුපහේ හෝටලයක මිල ගණන් හා සමානය. ඒ තරමට පිටි ආශ්රිත නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුව නම් ගෑස් අර්බුදය බව අමුතුවෙන් කිවයුතු නැත. මෙහි ඛේදජනකම සිදුවීම වන්නේ ගෑස් අර්බුදය නිසා විශාල වශයෙන් ආහාර සපයන ආපනශාලා වැසී යාමය. මේ නිසා ජනතාවට ආහාර ගැනීමට කඩයක් පමණක් නොව ඒ ඔස්සේ ආදායම් ලැබූ සුළු පරිමාණ ව්‍යවසායකයන් රුසක් ද පාරට ඇද වැටී හමාරය.
මේ අතර පසුගියදා ජනතාව ඉදිරියේ තවත් අපූරු නාඩගමක් ඉදිරිපත් කළේ හාල්මෝල් හිමියන්ය. ඒ ඩඩ්ලි සිරිසේන මහතාගේ හැසිරීමය. රජයේ පවතින මිලට හාල් ලබාදෙන බවත් මාස තුනකට අවශ්‍ය හාල් මෝල් තුළ ඇති බවත් ඩඩ්ලි කීවේය. මේ නිසා කිසිම හාලක් රජයේ පවතින මිල ගණන්වලට වඩා වැඩි මුදලට නොගන්නා ලෙස ඩඩ්ලි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ මාධ්‍ය හමුවෙන් පසුව ඔහු තවත් මාධ්‍ය හමුවක් මෝල් හිමියන් කිහිප දෙනෙකු සමඟ පසුගියදා පැවැත්වීය. එහිදී නිව් රත්න සහල් හිමිකරු රජයේ පවතින මිලට හාල් දීමට නොහැකි බව කී සැණින් ඩඩ්ලි මැදට පැන යකා නැටුවේය. නිව් රත්න සහල් සහ සිරිසේන පවුල සමඟ ඇති හිතවත්කම සුළු පටු නැති බව පොළොන්නරු ජනතාවම දන්නා ප්‍රසිද්ධ රහසකි. ඒ නිසා ඒ ගැටුම බොහෝ දෙනාට පුදුමය ගෙන දෙන්නක් විය. එලෙස හාල් ගැන කතා කීවත් අවසානයේ එතැන සිටි හාල් මෝල් හිමියෙක් දෙයියන්ගේ හාල් පේන කතාවක් කීවේය. ඒ ඩඩ්ලි මහත්තයා මේ රටේ ජනාධිපති විය යුතු බවය. මේවා අපූරු කතාය, අපූරු සිදුවීම්ය. විශේෂයෙන් ජනතාව වෙනුවෙන් හාල්මෝල් හිමියන්ගේ හදවත උණුවීමම සිතාගත නොහැකි තරම් ප්රශ්නයකි. ගමේ කතාවට කියන්නේ වැඩි සෙනෙහේ මහා විනාශයකට අත ළඟ බවය. ඒ නිසා වැඩි කතාවක් අවශ්‍ය නැත.
අනෙක් අතින් මේ මොහොතේ නිසි පාලනයක් නැතිකම හේතුවෙන් ජනතාව එක් පැත්තකින් තැලෙන විට අනෙක් පැත්තෙන් කළුකඩ මුදලාලිලා ජනතාවගේ අන්තිම සතයෙත් හූරා ගනිමින් සිටිති. කෑම බීමෙන් පමණක් නොව එදිනෙදා ගමන් යන ත්‍රීරෝද රථයෙන් පවා ගසාකන තැනට සමාජය පත්ව ඇත. දැන් ත්‍රීරෝද රථවල ගණන් විවිධාකාරය. එපමණක් නොව මීටරය පවා සැකසී ඇත්තේ තත්ත්පරයට මුදල් ගිලින ලෙසය. ඒ තරමට මේ ආර්ථික තත්ත්වය විසින් ජනතාව සම්පූර්ණයෙන් සූරාකමින් සිටී.
මේ කිසිවක් සොයන්නට බලන්නට කෙනෙක් නැත. සොයන්නට බලන්නට සිටින අය පවා තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගන්නේ එකී කළුකඩ හෝ මාෆියාකාරයන් මාර්ගයෙනි. පිරවුම්හලට ලැබෙන තෙල් දීම නොදීම අද වන විට තීරණය කරන්නේ ගමේ චණ්ඩි සහ පාතාලයන්ය. කිසිවකු ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැත. මන්ද කතා කළහොත් තමන්ට වැඩ වරදින බව බොහෝ දෙනා දනිති. දැන් පිරවුම්හල්වලින් තෙල් ගන්නා විට පොම්පකරුට රුපියල් 500ක් මිට මෙලවීමටත්, ගෑස් පෝලිමේ සිටින විට ගෑස් සිලින්ඩරය වැඩිපුර 1000-2000ක් දී ගැනීමත් දක්වා ජනතාව කළුකඩ ව්‍යාපාරවලට හුරු වී සිටිති. ඒ නිසා රට සල්ලි උණ්ඩියල් කිරීම ගැන පුදුම විය යුතු නැත. එසේ නම් රටක් ගොඩගන්නේ කෙසේද? එය ලේසි පහසු නැත. අවුල් ජාලාවක් වු රටක සිස්ටම් හැදිලි ලේසි නැත. ඒ නිසා සැමදෙනාටම රුල්ලේ යාමටත් එසේ යාමට නොහැකි අයට ජීවිතය අතරමග අත්හැරීමටත් දැන් කාලය එළැඹ තිබේ. එය රටක් පත්විය හැකි බරපතළම තත්ත්වයයි.
ගයාන් ගාල්ලගේ