2022 ජුනි 26 වන ඉරිදා

නොරොච්චෝලේ මොකද වෙන්නේ?

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 135

නොරොච්චෝලේ තරම් කචල් වූ විදුලි බලාගාරයක් මෙරට තවත් නොවේ. කලින් කලට නොරොච්චෝලේ කචල් වන බව දැන් මෙරට සියලු නොදරුවෝ පවා දනිති. මෙවරද නොරොච්චෝලේ දෙසින් ඇසෙන ආරංචි එතරම් සුභදායක නොවේ. එම නිසාම අගමුල සහිතව අප නොරොච්චෝලේ කචල් පිළිබඳ කතාව සොයා බැලීමට තීරණය කළෙමු.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට තවත් දින 75ක පමණ කාලයක් ගතවනු ඇතැයි ඉකුත් සතියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය පසුගිය සෙනසුරාදා සිට අක්‍රිය කිරීමත් සමඟ එය ප්‍රකාශයට පවත්විය. අනිවාර්ය නඩත්තු කටයුතු සඳහා යැයි කියමින් මෙම අක්‍රීය කිරීම සිදුවුණි. ආසන්න වශයෙන් නොරොච්චෝ පිළිබඳ මෙම කතාබහ ආරම්භ වූයේ එතැනිනි.

මේ අතර මෙම වසා දැමීම පිළිබඳ විදුලි ඉංජිනේරුවෝ වෙනස්ම කතාව කීහ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් (මෙගාවොට් 300) නතර කර දැමුවේ සීමිත ගල් අඟුරු සංචිත ආරක්‍ෂා කර ගැනීමේ උපක්‍රමයද අනුගමනය කරමින් යැයි ඔවුහු කියා සිටියහ. මේ අනුව පොදු මහජනතාවට පැන නැගුණේ බරපතල පැනයකි. මෙම වසා දැමීමට සැබෑ හේතුව අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්ද? නැතිනම් ගල් අඟුරු හිඟයද?

කෙසේ වෙතත් ඉකුත් සතියේ පළවූ වාර්තාවන්ට අනුව  නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැව් වාර 14ක් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම නිසා ගල්අඟුරු සංචිත ලබන අගෝස්තු මස වනවිට අවසන් වනු ඇතැයි කියැවේ. නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් අවශ්‍ය වන බවට බලාගාර භාර ඉංජිනේරුවන් ගල්අඟුරු සමාගමට මීට පෙරාතුව දැනුම් දී ඇත. නමුත් අප්‍රේල් ආරම්භ වූ වාරකන් කාලයට පෙරාතුව බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රුගෙන ඒමට ඔවුහු අපොහොසත් වූහ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ගල්අඟුරු සැපයුම් සමාගම් මිල ගණන් ඉදිරිපත් නොකිරීම හා අදාළ ටෙන්ඩර් කිහිපයක් අවලංගු කිරීම ආදී හේතු රුසක් මේ පිටුපස ඇති බව කියැවේ. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් යන්නද මුසාවක් ලෙස සැලකිය නොහැකිය. විදුලි ඉංජිනේරුවන් සඳහන් කරන පරිදි මෙවැනි පද්ධතියක් තුළ අලුත් වැඩියාවන් සිදුකිරීම අනිවාර්ය කටයුත්තකි. කෙසේ වෙතත් නොරොච්චෝලේ අලුත්වැඩියාවන්ට සහ බිඳවැටීම්වලට ප්‍රකට බව අපි දනිමු.

වර්තමාන අර්බුදය පිළිබඳ කවරාකාරයේ කතා කියවුණද නොරොච්චෝලේ නාටකීය ජවනිකා හේතුවෙන් අප හැම වරින්වර වික්ෂිප්ත වූ සැටි අමතක නැත. එනිසාම වරින්වර විවිධ බිඳවැටීම් මැද ඉදිරියට ඇදෙන නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය පිළිබඳ ඉතිහාස කතාවට සංෂිප්තය කියවා ගැනීම වටියි. මන්ද ක්ෂණික විසඳුමකට වඩා රටවැසියන් බලාපොරොත්තු වන්නේ ස්ථිරසාර විසඳුමකි. එවන් විසඳුමකට යාම සඳහා ඉතිහාසය අතිශය වැදගත්ය.

නොරොච්චෝලේ ඉදිකිරීම සම්බන්ධ යෝජනාව 1995දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූවකි. මෙහි ඉදිකිරීම් 2007 වසරේ ආරම්භ කරනු ලැබූ අතර අදියර 3 කින් ඉදිකිරීම් සිදුවිය. 2014 සැප්තැම්බර් වනවිට ඉදිකිරීම් සම්පූර්ණ කරන ලද අතර, සම්පූර්ණ විදුලි උත්පාදනය මෙගාවොට් 900ක් ලෙස කියැවුණි. එහෙත් බලාගාරයේ බිඳවැටීම් ඉකුත් දශකය පුරා රට පුවත් මැවූයේය. මේ සම්බන්ධව පළවී ඇති වාර්තා අනුව මේ දක්වා නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම් 20 කට වඩා සිදුව ඇති බව කියැවේ. මේ හරහා ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ මූල්‍යමය පාඩුව සුළුපටු නොවේ. කෙසේ වෙතත් මෙම බිඳවැටීම සාමාන්‍යකරණය කරන ඉංජිනේරුවන්ද සිටින බව කිවයුතුය. ඊට හේතුව වෙනම සොයා බැලිය යුතුය.

ඉතිහාසයේ අවස්ථා කිහිපයක් අපි සිහිපත් කරමු. 2010 ඔක්තෝබර් මාසයේදී මෙම බලාගාරයේ ගින්නක් ඇතිවීම එකකි. 2012 ජුලි මාසයේදී බොයිලේරු අතර ජලය ගෙන යන දහස් ගණනක නළවලින් එකක ඇති වූ කාන්දු වී ගැටලුවක් මතුවුණි. ඒ අතර 2013 ජනවාරි මාසයේ අවස්ථාවක දින විදුලි බලාගාරය එහි සැලසුම් කළ පරිමාව ඉක්මවා යාමෙන් සම්පූර්ණයෙන්ම බලාගාරය වසා දැමීමට සිදුවිය. 2014 ජනවාරියේ සිදුවූයේ වාෂ්ප කාන්දුවකි. බලාගාරයේ අතීතයේ පිළිබඳ මේ ආදී ඇති අඳුරු මතකයන් රුසකි. මෑතකාලීන උදාහරණද ඕනෑ තරම්ය. 2020 අගෝස්තු මාසයේදීද බලාගාරයේ ‘තාක්ෂණික දෝෂයක්’ හේතුවෙන් රටපුරා විදුලිය ඇනහිටීම පිළිබඳ ඔබට හොඳ හැටි මතක ඇතුවා නිසැකය.

මෙම සිදුවීම්වලට කමිටු පත්කොට විසඳුම් යෝජනා වූ නමුත් එම විසඳුම් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදුවිය යුතුමය. කෙසේ වෙතත් එය අපට මෙහිදී කිරීමට ඇති අවකාශ සීමිතය. ඒ නිසාම වර්තමාන කතාවට අපි නැවත එළඹෙමු. නොරොච්චෝලේ ගල් අඟුරු හිඟයක් පවතින බැවින් විදුලිය විසන්ධි වන අතර අහඹු ලෙස විදුලිය කැපීම් අපේක්ෂා කරන බවට පළමු සමාජගත වූයේ 2021 වසරේදීය. කලින් කලට මේ ආදී කතා කියැවුණු නමුත් පසුගිය වසරේ තදින්ම සාකච්ඡාවට බඳුන් විය.

එහෙත් එය නිශ්චිතවම යථාර්ථයක් බවට පත්වූයේ ඉකුත් සතියේය. විදුලි ජනක යන්ත්‍ර දෙකක දෝෂ වර්ධනය වී ඇති බවද සඳහන් කරමින්, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍රයක් 2022 ජූනි 17 වැනි දින වසා දැමුණි. එහෙත් එය පිටුපස ඇති හේතුව ගල්අඟුරු හිඟය බවද අදාළ පාර්ශ්වයන් පිළිගෙන තිබේ. ජනන යන්ත්‍රයේ ඇති වූ දෝෂය හෝ අලුත්වැඩියාව පිළිබඳ කතාව මුසාවක් යැයි නොකියමු. එහෙත් ගල් අඟුරු අර්බුදය මෙහි ගැඹුරේ ඇති යථාර්ථයයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු සහ ඩොලර් අර්බුදය පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබේ. ඒ අනුව පසුගිය කාලය පුරාවට ගල්අඟුරු නැව් වාර 38ක් සඳහා ණයවර ලිපි නිකුත් කරීමට ගල්අඟුරු සමාගම කටයුතු යොදා තිබේ. එහෙත් මහජන බැංකුව අදාළ ණයවර ලිපි 22ක් විවෘත කර ඇතැමුත් ඉතිරි ණයවර ලිපි 16ක් නිකුත් කර ගැනීමට ඩොලර් හිඟය හරස් වී ඇත. ඉංජිනේරුවන් පෙන්වා දෙන පරිදි අවසාන මොහොතේ ණයවර ලිපි දෙකක් නිකුත් කළද අවශ්‍ය ගල්අඟුරු නැව් වාර 14ක්ම ඒ වනවිට අවලංගු වී හමාරය. ඒ අතර ලබන වසරේ විදුලිය නිපදවීම සඳහා ගල් අඟුරු ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 640ක් පමණ අවශ්‍ය වන කියැවේ. එහෙත් ඊට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමද සැබැවින්ම අභියෝගයකි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉදිරි කාලය තුළ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට සපයනු ලබන විදුලිය 45% සිට 30% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. නවතම වසාදැමීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි වන බවද වාර්තා වෙයි. ඩීසල් සපයා ගැනීමද දුෂ්කර වී ඇති පසුබිමක මෙම හිඟය පියවා ගැනීම පහසු නැත. ඉදිරි මාස කිහිපය පුරාවටම දිනකට නිශ්චිත පැය ගණනක අඛණ්ඩ විදුලි කප්පාදුවකට ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවන බව මේ සියලු කරුණු හරහා පැහැදිලි වෙයි. ඩොලර් ලැබුණද මෙම අර්බුදය නිමාකර ගැනීම පහසු නැත. ඒ උදෙසා දීර්ඝකාලීන ඵලදායි වැඩපිළිවෙළකට විදුලිබල ක්ෂේත්‍රය ගමන් කළ යුතුමය.

■   චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05