හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා රුපියල පා කරවීමට ගන්නා ලද තීරණය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන් වේ.
2022 මාර්තු 7 වැනි දින සිට ශ්‍රී ලංකා රුපියල නම්‍යශීලී වීමට ඉඩ හැරීමට ගත් තීරණය, ඇතැම් පුද්ගලයන් විසින් එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඒකපාර්ශ්වික තීරණයක් ලෙස හඳුන්වනු ලබන බැවින්, මෙම ප්‍රකාශය සිදුකරනු ලබන්නේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමටය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ එවකට නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා (මහින්ද සිරිවර්ධන මහතා, ධම්මික නානායක්කාර මහතා සහ ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය) අධ්‍යක්ෂ - ආර්ථික පර් යේෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යක්ෂ - ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ 2022 මාර්තු 7 දිනැති මුදල් මණ්ඩල පත්‍රිකාවකින් යෝජනා කරන ලද විනිමය අනුපාතිකය නම්‍යශීලී කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එදින අනුමත කරන ලදී. බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 140කට ආසන්න වීම සහ රුසියානු - යුක්රේන යුද්ධය අයහපත් අතට හැරීම ඇතුළු ගෝලීය වශයෙන් අහිතකර තත්ත්වයක් වර්ධනය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ඒ වනවිටත් අර්බුදයට ලක්ව තිබූ ගෙවුම් ශේෂය යහපත් අතට හැරවීමට &කම්පන අවශෝෂකයක්* (Shock – absorber) ලෙස විනිමය අනුපාත ප්‍රතිපත්තිය වහා වෙනස් කිරීමේ අවශ්‍යතාව එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් අවධාරණය කරන ලදී.
එම මුදල් මණ්ඩල පත්‍රිකාව සහ පැවති සාකච්ඡාව මත පදනම්ව, මුදල් මණ්ඩලය තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසන* ලෙසත් විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමකට පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බවට සන්නිවේදනය කරන ලෙසත්ය.
ඒ අනුව, වෙළෙඳපොළ මාර්ගෝපදේශනයක් ලෙස විදේශ විනිමය ගනුදෙනු සිදුවිය යුත්තේ කුමන මට්ටමක යන්න පිළිබඳව මූල්‍ය මණ්ඩලයේ අපේක්ෂාව ප්‍රකාශ කරන අතරම, විදේශ විනිමය වෙළෙඳපළෙහි රුපියලේ නම්‍යශීලීභාවයට ඉඩ සැලසීමට පැහැදිලි තීරණයක් ගෙන ඇති බව පැහැදිලිය. ඉහත තීරණයට අනුකූලව මාධ්‍ය වෙත නිවේදනයක් එදිනම නිකුත් කරන ලදී. තවද, රුපියල පාවීමට ඉඩ හැර සතියක පමණ කාලයක් ඇතුළත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා නිල වශයෙන් නිවේදනය කළේය.
ඉන් අනතුරුව, එවකට මහා බැංකු අධිපති කබ්රාල් මහතා 2022 අප්‍රේල් 4 වැනි දින ඉල්ලා අස්වූ අතර, මුදල් මණ්ඩලය ප්‍රකාශයට පත් කළ නව නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තියට අනුව එදින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 289.73/299.99 අතර පරතරයෙහි ගනුදෙනු වුණි. ඉන්පසුවද නව මහා බැංකු අධිපති ආචාර්ය වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මුදල් මණ්ඩලය නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යන ලද අතර, 2022 අප්‍රේල් 8 සිට රජය සහ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තියුණු ලෙස පදනම් අංක 700කින් ඉහළ නැංවීම සහ 2022 අප්‍රේල් 12 සිට විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම අත්හිටුවීම ඇතුළු බරපතල තීරණ කීපයක්ද ගන්නා ලදී.
මේ අතර, 2022 මැයි 12 වන දින වනවිට, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.364.23/ 377.50 දක්වා අවප්‍රමාණය වී තිබූ අතර, මුදල් මණ්ඩලය විසින් නැවත වරක් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 355.00/365.00 අතර නව පරාසයක &ස්ථාවර* අගයකට අධිප්‍රමාණය කිරීමට තීරණය කරන ලදී. විනිමය අනුපාතිකය &ස්ථාවර* කිරීමට යැයි ගන්නා ලද එම ක්‍රියාමාර්ගය, 2021 සැප්තැම්බර් 6 වැනි දින සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199.00/ 203.00 පරාසයක &ස්ථාවර* මට්ටමක පවත්වාගෙන යෑමට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියට බෙහෙවින් සමාන බවද පෙනේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලබන්නේ එම ආයතනයේ වෘත්තීය සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින්ය. ඔවුන් එසේ තීරණ ක්‍රියාත්මක කරද්දී, එවන් ප්‍රතිපත්ති තීරණ නිසි ආකාරයට එම තීරණ ගැනීමේ අධිකාරිය වන මුදල් මණ්ඩලයේ තීරණ මත මිස තනි පුද්ගලයකුගේ ඒකපාර්ශ්වික තීරණය මත නොවන බවද, අප තේරුම් ගත යුතුය.