2022 ජුනි 26 වන ඉරිදා

නීතිය අතට ගත් මිනිස්සු ළඟ නීතිය නවන පොලීසිය!

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 121

ඉන්ධන අර්බුදය මුළුරටම අකර්මණ්‍ය කර තිබේ. පාසල් වැසිලාය. රජයේ සේවය අඩපණය. ආහාර බෙදාහැරීමට නොහැකිය. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඉන්ධන පෝලිම්වල බැවින් රෝගීන්ට බෙහෙත් නැත. ඉන්ධන ලබා ගැනීමට සැතපුම් ගණනින් දිගු පෝලිම්ය. ඇතැමුන් දින ගණන් පෝලිම්වලය. ඉන්ධන පෝලිම්වලින් මරණද වාර්තා වෙමින් පවතී. මේ  වනවිට එය 14කි. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට දින ගණන් ඉන්ධන ලැබෙන්නේ නැත. මේ වනවිට ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවයක් බවට සඳහන් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ. එහෙත් ඉන්ධන බෙදාහරින බවුසර් ධාවනය කිරීම සඳහාද ඉන්ධන  ලැබෙන්නේ නැති බව අසන්නට ලැබේ. මේ වනවිට රටම උඩු යටිකුරු වී තිබේ. මේ හේතුවෙන් ආණ්ඩුව පිළිබඳව රටේම ජනතාව පසුවන්නේ කෝපයෙනි. ඔවුන්ගේ ඉවසීමේ සීමාව රතු කට්ට පැන තිබේ. ඔවුන් තම කෝපය කා මතින් හෝ පිටකර හැරීමට උත්සාහ කරති. එහි ප්‍රතිඵලය වන්නේ බොහෝ ස්ථාවලින් වාර්තා වන ගැටුම්කාරී තත්ත්වයන්ය.  

පසුගිය දින කිහිපය පුරාම ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් අතර මෙන්ම  ආරක්ෂක අංශ සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් අතරද, ඉන්ධන හල් සේවකයන් අතරද ගැටුම් නිර්මාණය වූ බවට වාර්තා විය. අත්‍යවශ්‍ය සේවා බව පවසමින් පොලිස් නිලධාරීන් හා රජයේ සේවකයන් පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශයන්හි ගැටුම් නිර්මාණය විය. ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් සේවකයන්ගේ වැරුදි ක්‍රියා හේතුවෙන් ගැටුම් ඇති විය. ජනතාව චෝදනා කළේ ඔවුන් ඉන්ධන සඟවාගෙන ඉන්ධන අවසන් බවට ප්‍රකාශ කරන බවටය. 

ඇතැම් මැර කල්ලිද මේ වනවිට වීදි බැස තිබේ. මාවනැල්ල බෙලිගම්මන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි එක්තරා මැර කල්ලියක් බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කර තිබේ. එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ටද ඔවුන් පහර දී තිබේ. ඉන්ධන නොලැබීම හේතුවෙන් ජනතාව විරෝධතා පැවැත්වූ අතර විවිධ ප්‍රදේශවල මාර්ග අවහිර කරමින් සාමාන්‍ය ජනතාව අසීරුවට පත් කිරීමටද ඔවුහු කටයුතු කළහ. 

බොහෝවිට මෙම විරෝධතා පොලිසියේ හා හමුදාවේ මැදිහත් වීමෙන් සමථයකට පත් කෙරුණද ඇතැම් ප්‍රදේශයන්හි ජනතාව නීතිය අතට ගැනීමට කටයුතු කළ බවක් දැකිය හැකි විය. අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගැටුමකින් පොලීසියේ හය දෙනකුට තුවාල සිදු වූ අතර අත්අඩංගුවට පත් 8 දෙනෙක් රිමාන්ඩ් භාරයට පත්වූහ. මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ප්‍රදේශවාසීන් හා ආරක්ෂක හමුදාව අතර ගැටුමක් ඇති විය. ඒ ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු යුද හමුදාවේ රාජකාරිවලට බාධා පැමිණවීම හේතුවෙනි. බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඒ අසල සිටි පුද්ගලයන් එයට විරෝධය දැක්වීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය විය. තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාවට අහසට වෙඩි තැබීමට සිදු විය. ගැටුමින් යුද හමුදා සෙබළුන් තිදෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

තමන්ගේ දෛනික කටයුතු කර ගැනීමට නොහැකි වීමෙන් ජනතාව පත්ව ඇති පීඩාව හේතුවෙන් නීතිය අතට ගැනීමට යන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. තමන්ට එදිනෙදා වේල සරිකරගත නොහැකිව ඔවුහු දැඩි කෝපයට මෙන්ම කම්පනයටද පත්ව සිටිති. ඇතැම් පිරිසකට දිනකට එක් ආහාර වේලකින් යැපීමට සිදුව ඇත්තේ ඉන්ධන නොමැතිකමින් තම රුකියාව කරගත නොහැකි වීමෙනි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රචණ්ඩත්වය ඉදිරියට පැමිණීමය. වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දක්වන්නේ මෙවැනි අදහසකි.

දහස් ගණන් ජනයා පෙට්‍රල් සහ ඩීසල් ලබා ගැනීමට පැය ගණන් හෝ දින ගණන් කිලෝමීටර ගණනක් දිගු පෝලිම්වල රුඳී සිටිනවා. ගෑස් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලද දැඩි හිඟයකට ඔවුන් මුහුණ දී සිටිනවා. මෙම තත්ත්වය මත ජනතාවගේ අපේක්ෂා සුන්වන  තත්ත්වයක් තුළ ඔවුන් දැඩිසේ කෝපයට හා අසහන තත්ත්වයට පත්ව සිටිනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා මහජනයා අතර නිර්මාණය වෙමින් පවතින දැඩි අවිශ්වාසය නිසා රටටම බලපාන භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි වන අතර එමඟින් නැවත සැකසිය නොහැකි දැඩි හානි සිදුවිය හැකියි. මහජනතාව මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටු කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පවතින තත්ත්වයේ බැරූරුම්කම ජනතාවට හෙළිදරව් කරනවාට අමතරව රට දේශපාලනික, ආර්ථික හා සමාජ අර්බුදයෙන් මුදාගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද ආණ්ඩුව නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කළ යුතුයි. එම ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සහ ඉන්ධන, ගෑස් සහ වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා සකස්කර ඇති සැලසුම් හා ඒවායේ ප්‍රගතිය ජනතාවට දැනුම් දිය යුතුයි. මෙම අර්බුද විසඳීමට කටයුතු කිරීමේදී ජනතාව තුළ විශ්වාසය නැවත ගොඩනැඟීම සහ තහවුරු කිරීමට රජය ක්‍රියා කළ යුතුයි.

ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරීන් තම සීමාව ඉක්මවා ජනතාවට නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අයුරුද දැකගත හැකිවිය. කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම ඊට උදාහරණයකි. ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකුට පොලිස් නිලධාරියකු විසින් අතින් පයින් පහර දී ඔහු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් ආකාරය ඉතා අශෝභන සිදුවීමක් විය. පොලිස් නිලධාරියකු එම පුද්ගලයාගේ ගෙල සිරවන ලෙස අල්ලා ගෙන සිටින අයුරුද පොලිසියේ තරු තුනේ නිලධාරියකු එම පුද්ගලයාට තම පිස්තෝලය එල්ල කරන ආකාරයද මාධ්‍ය මගින් විකාශය විය. ජීවත් වීම සඳහා තෙල් ලබා ගැනීමට පැමිණ පිරිසකට අවසානයේ සිදු වූයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමටය.

පොලීසිය නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියකු පිස්තෝලයක් අතැතිව පුද්ගලයකුට පහරදීම සහ ඉන් පසු ඇතිවූ බහින්බස් වීම මෙන්ම අතුරුගිරිය ඉන්ධන පිරවුම්හල අසල ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා තුළින් රටපුරා තිබෙන ආතතික තත්ත්වයන් නිරෑපණය වන බවයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනතාව සමඟ කටයුතු කිරීම වැදගත්බවද එම නිවේදනයේ දැක්වේ.
&පොලිසිය හා ත්‍රිවිධ හමුදාවට සේවය කිරීමට සිදුවී ඇත්තේ දුෂ්කර පසුබිමකයි. ඔවුන් හා ඔවුන්ගේ පවුල්ද සෙසු මහජනතාව මුහුණ දෙන පීඩාවන්ට මුහුණ දෙන බව දනිමු. කෙසේ වුවත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනයා සමඟ කටයුතු කිරීම වැදගත්. රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් මහජනයා මුහුණ දෙන දැඩි පීඩාව සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් හා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඔවුන් සැමවිටම සාධාරණ හා අපක්ෂපාතී විය යුතුයි. පක්ෂපාතී හා අසාධාරණ ලෙස පෙනෙන ඕනෑම ක්‍රියාවක් හේතුවෙන් දැනටද ගොඩනැඟෙමින් පවතින ජනතා අවිශ්වාසය තවදුරටත් වර්ධනය විය හැකියි යනුවෙනි.

නීතිය අවභාවිත කරන පොලිස් නිලධාරින්ට මෙන්ම කලහකාරි ලෙස හැසිරෙන ජනතාවටද එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය. කිසියම් පොලිස් නිලධාරියෙක් ඔහුගේ රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් තම බලය ඉක්මවා කටයුතු කරන්නේ නම් එමෙන්ම තම නිලඇඳුම තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අනවශ්‍ය ආකාරයෙන් භාවිත කරන්නේ නම් එවැනි අවස්ථා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් මෙම සමාජය තවදුරටත් පරිහානියට ලක්විය හැකියි. එබැවින් නීතිය හා සාමය රුකගෙන කටයුතු කරන ලෙසට මහජනතාවගෙන්ද ඉල්ලා සිටිනවා.* යනුවෙන් ඔහු සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හනා සිංගර් මහත්මිය තම ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් යොදා තිබේ. එහි දැක්වෙන්නේ ජනතාව ඉන්ධන පෝලිම්වල රුඳී සිටියදී පොලිසිය සහ හමුදාව ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවටය. ආරක්ෂක අංශ බලය භාවිත කිරීමේදී සීමාව දැන කටයුතු කළ යුතු බවත් ආරක්ෂක අංශ බලය ඉක්මවා භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවත් ඇය එහි සඳහන් කර තිබේ.

■  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05